කමිල් මිෂාර සහ කුසල් පෙරේරා සිම්බාබ්වේ වනසා දමයි

Sri Lanka tour of Zimbabwe 2025

18

සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ අඩුම ලකුණු ප්‍රමාණයකට දැවී ගොස් පැය 24ක් ගෙවීමට මත්තෙන්, ඔවුන්ට එරෙහි ව වාර්තා කරන ලද ඉහළ ම ඉනිම නිමා කරමින් ලක් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථක ම හඹා යෑම් අතර 2 වැනි ස්ථානය පත් ජයග්‍රහණය ද සමඟින් සිම්බාබ්වේ තරග සංචාරය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවා. 

Harare නුවර දී (07) නිමා වූ මෙම තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය කරන්නේ ලකුණු 191ක් හඹා යමිනුයි. එහි දී ඔවුන් කඩුලු 2ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙන ලද අතර තවත් පන්දු 14ක් ද ඉතිරි කර ගත්තා.  

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් ලබා ගන්නවා.  

සිම්බාබ්වේ කණ්ඩායම ලබා ගත් එම ලකුණු ප්‍රමාණය දෙරට විස්සයි විස්සයි තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය බවට පත් වුණා. ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙතයි. ඔවුන් 2012 වසරේ දී සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 182ක් ලබා ගනිමින් වසර 13ක් තිස්සේ එම වාර්තාව රැක ගෙන සිටියා. ඒ සියලු වාර්තා තරගය නිමා වන විට නැවත තමන් සතු කර ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වූවා.  

ශ්‍රී ලංකාව හඹා ගිය මෙම ඉනිම දෙවැනි වන්නේ 2018 වසරේ පෙබරවාරියේ දී Mirpur හි දී බංග්ලාදේශයට එරෙහි ව ලබා ගත් ලකුණු 194ක ජයග්‍රහණයටයි.  

ජයග්‍රාහී මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයට එක් වූ නුවනිඳු ප්‍රනාන්දු වෙනුවට කුසල් පෙරේරාත් සහ මහීෂ් තීක්ෂණ වෙනුවට මතීෂ පතිරණත් එක් කර තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ඒ ලෙසින් වෙනස්කම් ද්විත්වයක් සිදු කර තිබුණත් සත්කාරක ක්‍රීඩකයෝ මෙම තරගයට එක් වූයේ පෙර ජයග්‍රාහී තරගයට එක් වූ කණ්ඩායම ම එක් කර ගනිමින්.  

ශ්‍රී ලංකා කණ්ඩායම 

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), කුසල් පෙරේරා, කමිල් මිෂාර, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, දුශාන් හේමන්ත, මතීෂ පතිරණ,  දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍රනාන්දු.  

 

සිම්බාබ්වේ කණ්ඩායම 

Sikandar Raza (නායක), Brian Bennett, Tadiwanashe Marumani (කඩුලු රකින්නා), Sean Williams, Ryan Burl, Tashinga Musekiwa, Tony Munyonga, Brad Evans, Richard Ngarava, Blessing Muzarabani, Tinotenda Maposa. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු පන්දුවාර 10 අවසන් වන විට පන්දු යවන්නෝ 6 දෙනෙක් ම සේවයේ යෙදවීමට ශ්‍රී ලංකා නායකයාට සිදු වූවා. සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයේ දී ලබා ගත් ලකුණු ප්‍රමාණය 9 වැනි පන්දුවාරයේ දී පසු කරන ලද අතර තරගයේ හරි අඩක් ගත වෙද්දී ඔවුන්ගේ ඉනිම දැක් වුණේ කඩුලු 2ක් දැවී ලකුණු 94ක් ලෙසයි. පළමු Power Play හෙවත් පළමු පන්දුවාර 6 දී ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය පන්දු වාරයකට ලකුණු සාමාන්‍ය 9.66ක් බවට පත් ව තිබුණා.  

කෙසේ වෙතත් ඒ අතර කාලයේ දී Brian Bennett ලකුණු 13කට ද සහ Sean Williams ලකුණු 23ක ද දවා ගැනීමට දුෂ්මන්ත චමීර සහ දුශාන් හේමන්ත සමත් ව සිටියා. එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ප්‍රවේගකාරී ඉනිමක නිරත වූ Tadiwanashe Marumani පළමු කඩුලු ද්විත්වය දැවී යද්දී Brian Bennett හා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 15ක දී ලකුණු 26ක් ද සහ Sean Williams හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 26ක දී ලකුණු 39ක සබඳතාවක් ද එක් කර තිබුණා.  

අනතුරු ව ඔහුගේ ගමන් සගයා වූයේ නායක Sikandar Raza. ඔහු හා එක් වූ Tadiwanashe Marumani  3 වැනි කඩුල්ලට පන්දු 36ක දී ලකුණු 56ක සබඳතාවක් ගොඩ නගනවා.  

Sikandar Raza පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා සිටිය දී දුශාන් හේමන්ත ගේ පන්දුවකට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.  

ඒ වෙද්දී Tadiwanashe Marumani තම විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිව් වැනි අර්ධ ශතකය ලබා සිටියා. කෙසේ වෙතත් ඊට පසුව ඔහුට මුහුණ දීමට හැකි වෙන්නේ තවත් පන්දු 4කට පමණයි. දුශාන් හේමන්ත ගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් ගේ ඉක්මන් කඩුලු බිඳ දැමීමකින් ඔහුගේ ඉනිම අවසන් වෙද්දී පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.  

අනතුරු ව පිටියේ එක් වූ Ryan Burl පන්දු 15ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ද, Tashinga Musekiwa පන්දු 11ක දී හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ද සහ සිම්බාබ්වේ ඉනිම නිමා වෙද්දී Tony Munyonga පන්දු 9ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 13ක් ලබා සිටියා.  

ඒ ලෙසින් ඔවුන් පළමු පන්දුවාර 10 දී රැස් කළා සේ ම අවසන් පන්දුවාර 10 දී පන්දුවාරයකට ලකුණු 9ක සමාන්‍යයක් ඉක්මවා ලබා ගැනීමට සමත් වෙනවා.  

පන්දු යැවීමේ දී දුශාන් හේමන්ත තම විස්සයි විස්ස 3 වැනි ජාත්‍යන්තර තරගයට එක් වෙමින් තම තරග දිවියේ හොඳම පන්දු යැවීම ලකුණු 38කට කඩුලු 3ක් දවා ගනිමින් අවසන් කරනවා. ඔහුට අමතර ව  දුෂ්මන්ත චමීර ලකුණු 33කට කඩුලු 2ක් ද, මතීෂ පතිරණ සහ බිනුර ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දවා ගන්නවා.  

පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට සුපුරුදු ලෙසින් ම පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පිටියට පිවිසියා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 32ක දී ලකුණු 58ක් ලබා ගනිමින් කදිම ආරම්භයක් තම කණ්ඩායමට ලබා දුන්නා.  

කුසල් මෙන්ඩිස් පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා. ඉන් අනතුරු ව පිටියට පිවිසියේ කමිල් මිෂාර. ඔහුගේ පැමිණීමෙන් අනතුරු ව යැවුණ 11 වැනි පන්දුවේ දී පැතුම් නිස්සංක ගේ ඉනිම ද අවසන් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.  

ශ්‍රී ලංකා හඹා ගිය ඉනිමේ පළමු පන්දුවාර 10 අවසන් වන විට පන්දුවාරයකට ලකුණු 10.1ක සාමාන්‍යයක් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවා. පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ගේ දැවී යෑමෙන් අනතුරු ව තරගයේ පාලනය සියතට ගැනීමට කමිල් මිෂාර සමත් වූයේ පළපුරුදු ප්‍රවේගවත් ඉනිම් ක්‍රීඩා කිරීමේ කුසලතාවයෙන් යුත් කුසල් ජනිත් ප්‍රතිවාදී අන්තයේ සිටියදීයි.  

ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 63ක දී නොදැවුණ ලකුණු 117ක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා ගෙන ගියා. එහි දී කමිල් මිෂාර පන්දු 33ක දී තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ මංගල අර්ධ ශතකය වාර්තා කරන ලද අතර තරගය නිමා වන විට පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ලබා සිටියා.  

තම කනිෂ්ඨ සගයාට අනගි සහයෝගයක් ලබා දෙමින් තම කඩුල්ල ද ආරක්ෂා කර ගනිමින් අත්‍යවශ්‍ය ම ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා ඉනිම රැගෙන ගිය කුසල් පෙරේරා තරගය අවසන් වන විට පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 193ක් ලබා සිටියා. 

කඩුලු දවා ගැනීමේ දී  Brad Evans සහ Sikandar Raza කඩුල්ල බැගින් බෙදා ගත්තා. 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

සිම්බාබ්වේකඩුලු 8ක් දැවී 191 (20.0) Tadiwanashe Marumani 51, Sean Williams 23, Sikandar Raza 28, Ryan Burl 26, දුෂ්මන්ත චමීර 2/33, දුශාන් හේමන්ත 3/38

ශ්‍රී ලංකාව – කඩුලු 2ක් දැවී 193 (17.4) පැතුම් නිස්සංක 33, කුසල් මෙන්ඩිස් 30, කමිල් මිෂාර නොදැවී 73, කුසල් පෙරේරා නොදැවී 46

 

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක ජයක්.  

  • තරගයේ වීරයා කමිල් මිෂාර (ශ්‍රී ලංකාව
  • තරගාවලියේ වීරයා – දුෂ්මන්ත චමීර (ශ්‍රී ලංකාව)

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<