මීට හරියට ම වසර 21කට පෙර, එනම් 2003 අගෝස්තු 21 වැනිදා ද එංගලන්ත කණ්ඩායම ලෝක වාර්තාගත ටෙස්ට් තරගයකට සත්කාරකත්වය දක්වනවා. ඒ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන්.
තරග 5කින් යුත් එම ටෙස්ට් තරගාවලියේ සිව් වැනි ටෙස්ට් තරගය එදින ආරම්භ වෙන්නේ Leeds හී Headingley ක්‍රීඩාංගණයේ දීයි. එම තරගයේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට එවකට 21 වැනි වියේ පසු වූ පසු වූ Monde Zondeki සමත් වෙනවා.
පන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ Monde Zondeki පිටියට පිවිසෙද්දී දකුණු අප්‍රිකානු ඉනිම කියැවුණේ කඩුලු 7කට ලකුණු 142ක් ලෙසයි. ඒ වෙද්දී තරගාවලිය 1-1ක් ලෙස සම ව තිබූ බැවින් සත්කාරකයෝ තව තවත් ජවය යොදමින් දකුණු අප්‍රිකාව පාලනය කරමින් තරගයේ වැඩි වාසි ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි මොහොතක්.
ඒ වෙනුවෙන් Andrew Flintoff, James Anderson වැනි නම ගිය පන්දු යවන්නෝ ද සිටියා. නමුත් ඔවුන් පාලනය කරමින් තම මංගල ටෙස්ට් තරගයේ දී කෝඩුකාර අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කිරීමට Monde Zondeki සමත් වෙනවා.
ඔහු 8 වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට දකුණු අප්‍රිකා ඉනිම ලකුණු 292ක් ව තිබූ අතර Monde Zondeki ගේ ඉනිම පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 59කින් සමන්විත ව තිබුණා.
එම ඉනිම ලෝක ටෙස්ට් තරග ඉතිහාසයට එක් වෙන්නේ අංක 9 පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර 3 වැනි ස්ථානය හිමි කර ගනිමින්.
එම වාර්තාව ඒ ලෙසින් යාවත්කාලීන වීමෙන් අනතුරු ව ගෙවී ගිය 2024 අගෝස්තු 21 වැනිදා එංගලන්තයට එරෙහිව ම ටෙස්ට් ක්‍රිකට් වරම් හිමි කර ගත් 28 හැවිරිදි වියේ පසුවෙන මිලාන් රත්නායක එම වාර්තාවේ හිනි පෙත්තට ම නැගීමට සමත් වෙනවා. ඒ එතෙත් එහි තෙවැනි ස්ථානයේ රැඳී සිටි Monde Zondeki සිව් වැනි තැනට ඇද දමමිනුයි.
පන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ මිලාන් තම කෝඩුකාර ඉනිමේ දී අංක 9 පිතිකරු ලෙසින් පිටියට පිවිස ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ අංක 9 ස්ථානයෙන් පිටියට පිවිසි පිතිකරුවන්ගේ දක්ෂතා ලැයිස්තුවේ නවතම යාවත්කාලීන කරන්නා බවට පත් වුනා.
ඒ වසර හරියට ම වසර 21කට පසු ව වසර 41ක වාර්තාවක් බිඳ දමමිනුයි.
ඔහු එම යාවත්කාලීන කිරීම් සිදු කරන්නේ ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ අංක 9න් පිටියට පිවිසි කෝඩුකාර පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ හිමිකාරීත්වය ද ලබා ගනිමිනුයි.
ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 113කට කඩුලු 7 දැවී තිබිය දී පිටියට පිවිසි මිලාන් රත්නායක තමන් මුහුණ දුන් 96 වැනි පන්දුවේ දී හයේ පහරක් එල්ල කරමින් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය තම කෝඩුකාර ඉනිමේ දී වාර්තා කළ අතර ඔහු දැවී යන විට පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 72ක් ලබා සිටියා.
මිලාන් රත්නායකගේ එම ඉනිම ලෝක ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ අංක 9යෙන් පිටියට පිවිසි, කෝඩුකාර ඉනිමක දී ලැබූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ එවකට 28 හැවිරිදි වියේ පසු වූ ඉන්දියාවේ Balwinder Sandhu 1983 වසරේ දී පාකිස්තානයට එරෙහි ව Hyderabad හි දී පැවැති තරගයේ දී ලකුණු 71ක් ලබා ගනිමින් වසර 41ක් පුරාවට ම හිමිකම් කී වාර්තාව අභිබවා යමිනුයි.
- අංක 9 ස්ථානයෙන් පිටියට පිවිස වැඩිම ලකුණු ලබා ගත් කෝඩුකාරයෝ
| Player | Team | Runs | Balls | 4s | 6s | Opposition | Year | |
| 1 | මිලාන් රත්නායක | ශ්‍රී ලංකාව | 72 | 135 | 6 | 2 | එංගලන්තය | 2024 |
| 2 | Balwinder Sandhu | ඉන්දියාව | 71 | 88 | 9 | 2 | පාකිස්තානය | 1983 |
| 3 | Darren Gough | එංගලන්තය | 65 | 126 | 10 | 0 | නවසීලනතය | 1994 |
| 4 | Monde Zondeki | දකුණු අප්‍රිකාව | 59 | 128 | 10 | 0 | එංගලන්තය | 2003 |
| 5 | Wilf Ferguson | බ.ඉ. කොදෙව් | 56* | – | – | – | එංගලන්තය | 1948 |
- ලෝක වාර්තාවක් වෙත ගිය මිලාන් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක දෙයි!
- ශූරතාව අයර්ලන්තයට – ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට
- එංගලන්තය සමඟ පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
- දශකයක ජය සොයන එංගලන්ත සංචාරය
- සූරි T10 ශූරතාව ගාල්ලට ගෙන යයි
ටෙස්ට් තරග පිටියේ නවතම ලෝක වාර්තා හිමිකාර මිලාන් රත්නායක පාසල් ගියේ වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයට. එවකට ඔවුන් ක්‍රීඩා කරන්නේ පාසල් ක්‍රිකට් සංගමයේ තෙවැනි පෙළ තරගාවලියේ. මේ නිසා පාසල් කාලයේ දී මිලාන්ලාගේ දක්ෂතා එතරම් ම කරලියට පැමිණෙන්නේ නැහැ.
මිලාන් ගේ මෙම දක්ෂතා හේතුවෙන් ඔහුට වෙනත් පහසුකම් සපිරි පාසල් කරා යෑමට ඕනෑ තරම් අවස්ථා ලැබී තිබෙනවා. නමුත් ඔහු වාරියපොළින් එපිට ට යන්නට කැමැත්තක් දක්වලා ම නැහැ.
ඒ අනුව මිලාන් ශ්‍රී සුමංගල විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිට වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම දක්වා ම ක්‍රීඩා කරනවා. වරෙක වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා ගෙන යෑමටත් සහ තවත් වරෙක වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය දක්වා රැගෙන යෑමටත් මිලාන් ගේ දක්ෂතා හේතු වෙනවා. වසර කිහිපයක් ම වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට තම දක්ෂතා මුදා හැරි මිලාන් 2016 වසරේ දී ශ්‍රී සුමංගල විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වෙනවා.
එම තරගාවලියේ දී මිලාන් පන්දු යවන්නෙක්ට අමතර ව පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන්නට සමත් වෙනවා. ඒ අනුව නාරම්මල මයුරපාද විද්‍යාලයට එරෙහිව ලකුණු 152ක්, ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයට එරෙහිව ලකුණු 100ක් සහ ඉබ්බාගමුව ආදර්ශ විද්‍යාලයට එරෙහිව ලකුණු 76ක් ද සමඟින් ලකුණු 800කට ඉහළ ලකුණු සංඛ්‍යාවක් එම පාසල් තරග සමයේ දී වාර්තා කරනවා. පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 70 සීමාව පසු කිරීමට ද මිලාන් සමත් වෙනවා.
මිලාන් රත්නායක වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩා කරද්දී.
මේ කාලයේ ම මිලාන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 23න් පහළ තරගාවලියට එක් වෙමින් දක්ෂතා දක්වනවා. එම දක්ෂතා හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන්නන්ගේ පුහුණු සංචිතය හා එක්වීමට අවස්ථාව උදා වෙනවා.
එම කාලයේ දී අනූෂ සමරනායක, චමිල ගමගේ, චමින්ද වාස්, දර්ශන ගමගේ, රවින්ද්‍ර පුෂ්පකුමාර සහ චම්පක රාමනායක යන මහත්වරුන් යටතේ පුහුණුවීම් ලැබීමට ඔහුට අවස්ථාව සැලසෙනවා.
එහි පුහුණුවීම් කරන අවදියේ දී මිලාන්ට, චමිල ගමගේ මහතාගේ මැදිහත් වීම මත ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම හා එක් වීමට අවස්ථාව උදා වෙනවා. ඒ අනුව 2016 වසරේ සිට 2019 වසර දක්වා ම මිලාන් තම දක්ෂතා මුදා හරින්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කණ්ඩායමට.
අනතුරුව මිලාන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් හා එක් වීමට ගුවන් හමුදාවෙන් ඉවත් ව මෙරටින් පිට වෙනවා.
“පුතාට ලොකු බලාපොරොත්තුවක්, අධිෂ්ඨානයක් තිබුණා ශ්‍රී ලංකා කණ්ඩායමට ගහන්න ඕන කියලා. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා. ඕස්ට්‍රේලියාවට ගිය වෙලාවෙත් ගොඩක් දෙනෙක් එහේ නතර වෙන්න කියද්දී ලංකාවට ආවේ, අම්මේ මට ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරන්න ඕන ඒ නිසා එනවා කියලා.” මේ මිලාන්ගේ මව රීටා රත්නායක මහත්මිය කලකට ඉහත දී ThePapare.com සමඟ මිලාන්ගේ බලාපොරොත්තු සම්බන්ධයෙන් පැවැසූ අයුරුයි.
මිලාන් මීට පෙර අවස්ථාවක දී ද ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙමින් තරග සංචාරයක යෙදුණා. ඒ නවසීලන්තයේයි. නමුත් එම සංචාරයේ දී ඔහුට තරගයකට එක් වීමට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ.
ඒ වෙද්දී ඔහුගේ දක්ෂතා මුදා හැරුණේ මූවර්ස් ක්‍රීඩා සමාජය වෙත. ඔහු එතැන් සිට ද තමන්ගේ සිහිනය වෙනුවෙන් මූවර්ස් ක්‍රීඩකයන් සමඟ එක් වී වෙහෙසෙනවා. මේ කාලයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම, ජාතික සුපර් ලීග් තරගාවලියේ ගාල්ල කණ්ඩායම, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Galle Titans සහ Kandy Falcons යන කණ්ඩායම් හා එක් ව ද දක්ෂතා දැක්වීමට මිලාන් සමත් වෙනවා.
| මිලාන් රත්නායක ගේ පන්දු යැවීමේ දක්ෂතා | |||||||||
| Mat | Inns | Balls | Runs | Wkts | BBI | BBW | 4w | 5w | |
| First Class | 40 | 68 | 4391 | 2599 | 81 | 5/36 | 8/80 | 3 | 1 |
| List A | 45 | 44 | 1541 | 1300 | 47 | 4/31 | 4/31 | 3 | 0 |
| T20s | 22 | 22 | 429 | 429 | 24 | 6/12 | 6/12 | 0 | 1 |
| මිලාන් රත්නායක ගේ පිතිකරු දක්ෂතා | |||||||||
| Mat | Inns | NO | Runs | HS | Ave | 50s | 4s | 6s | |
| First Class | 40 | 52 | 11 | 660 | 59 | 16.09 | 2 | 63 | 11 |
| List A | 45 | 26 | 5 | 111 | 24* | 5.28 | 0 | 6 | 1 |
| T20s | 22 | 10 | 5 | 52 | 16 | 10.40 | 0 | 2 | 2 |
මිලාන් රත්නායකගේ ලෝක වාර්තා ගත මෙම ඉනිමේ දී ඔහු නායක ධනංජය ද සිල්වා සමඟ එක් වෙමින් 8 වැනි කඩුල්ලට ලකුණු 63ක සබඳතාවක් සේ ම 9 වැනි කඩුල්ල වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු සමඟ එක් වෙමින් ලකුණු 50ක සබඳතාවක් ද ගොඩ නගනවා.
මෙම ඉනිමේ දී සීරු මාරුවෙන් පන්දු හඳුනාගනිමින් ඔහු පෑ දක්ෂතාවන් පරිනත පිතිකරුවෙක් ගේ දක්ෂතා විදහා පෙන්වන්නක්. ඉනිමේ වැඩිම පන්දු ප්‍රමාණයකට මුහුණ දුන් පිතිකරු ලෙසින් ද ඔහු පත් වෙනවා.
පන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එක් වී අවශ්‍ය ම මොහොතක තමන්ගෙන් කණ්ඩායමට ඉටු විය යුතු සේවය ඉටු කළ ඔහුට ThePapare.com හි සුබ පැතුම්!
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















