කොදෙව් යන නැගී එන තරු රෑන

Sri Lanka Emerging Cricket Team Tour of West Indies

11
Sri Lanka Emerging Team Tour of West Indie

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය එළැඹෙන මස 7 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. කොදෙව් නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමඟින් පැවැත්වෙන මෙම තරග සංචාරයේ දී සිව් දින තරග ද්විත්වයකින් සහ එක්දින තරග 3කින් සමන්විතයි.

තරගාවලිය සඳහා එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නම් කෙරුණ අතර එහි නායකත්වය 26 වැනි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් වෙත පැවැරී තිබෙනවා.

තරග කාලසටහන

1 වැනි සිව් දින තරගය

  • ජුනි මස 07 වැනිදා සිට 10 වැනිදා දක්වා Coolidge Cricket Ground

2 වැනි සිව් දින තරගය

  • ජුනි මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා Coolidge Cricket Ground

1 වැනි එක්දින තරගය

  • ජුනි මස 21 වැනිදා Sir Vivian Richards Stadium

2 වැනි එක්දින තරගය

  • ජුනි මස 24 වැනිදා Sir Vivian Richards Stadium

3 වැනි එක්දින තරගය

  • ජුනි මස 26 වැනිදා Sir Vivian Richards Stadium

මේ මෙම තරගාවලිය සඳහා එක් වෙන කණ්ඩායමේ ක්‍රීඩකයන් පිළිබඳ ව තැබෙන සටහනක්.

ධනංජය ලක්ශාන්

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ජාතික ක්‍රිකට් පිටියට දායාද වූ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ධනංජය ලක්ශාන් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමකට නායකත්වය දෙන පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 3කට සහභාගී වී ඇති ධනංජය ලක්ශාන් පළමු පෙළ තරග 62ක ක ඉනිම් 93කදී ශතක 5ක් සහ අර්ධ ශතක 18ක් සමඟින් ලකුණු 3034ක් සහ කඩුලු 75ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.

එමෙන් ම පළමු පෙළ එක්දින තරග 72ක දී ශතකයක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1590ක් ද සහ කඩුලු 46ක් ද, විස්සයි විස්ස තරග 68ක අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 738ක් සහ කඩුලු 48ක් ද ලබා සිටින ක්‍රීඩකයෙක්.

Colts ක්‍රිකට් සමාජය නියෝජනය කරන ධනංජය ලක්ශාන් නිමා වූ ජාතික සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ දී කොළඹ කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 230ක් සහ කඩුලු 10ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

මේ වෙද්දී Colts ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඔහු Abu Dhabi T10 සහ LPL තරගාවලියන් ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

ජනිශ්ක පෙරේරා

ඉදිරි පෙළ දකුණත් පිතික‍රුවෙක් ලෙසින් දක්ෂතා දක්වන ජනිශ්ක පෙරේරා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ ක්‍රීඩකයෙක්.

 කොළඹ Moors ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිසි ඔහු මේ වන විට තරග 24කට සහභාගී වෙමින් ශතක 3ක් සහ අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 1516ක් ලබා තිබෙන අතර පළමු පෙළ එක්දින තරග 28කදී ලකුණු 589ක්ද සහ විස්සයි විස්ස තරග 13කදී ලකුණු 167ක් ද ලබා ඇති ක්‍රීඩකයෙක්.

ඔහු නිමාවූ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී මහනුවර කණ්ඩායම නියෝජනය කරමින් තරග 3ක ඉනිම් 6කදී අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 281ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

ෂෙවෝන් ඩැනියෙල්

21 හැවිරිදි වියේ පසුවෙන ඉදිරිපෙළ වමත් පිතිකරු ෂෙවෝන් ඩැනියෙල් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය බැගින් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්.

මේ දක්වා පළමු පෙළ තරග 29කට ක්‍රීඩා කර ඇති ෂෙවෝන් ඩැනියෙල් ඉනිම 41ක දී ද්විත්ව ශතකයක්, ශතක 3ක් සහ අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1587ක් ලබා ඇති ක්‍රීඩකයෙක්. එමෙන් ම පළමු පෙළ එක්දින තරග 29ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 570ක් ද සහ විස්සයි විස්ස තරග 37ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුනු 736ක් ලබා ගැනීමට ද ඔහු සමත් ව සිටිනවා.

ඔහු LPL තරගාවලිය නියෝජනය කරමින් Dambulla Aura සහ Colombo Strikers කණ්ඩායම් ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

රවිඳු රසාන්ත

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්-පොත් තබා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට තම දක්ෂතා එක් කළ රවිඳු රසාන්ත නිමා වූ ජාතික සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂත ම පිතිකරු ලෙසින් සම්මානයට පත් ක්‍රීඩකයායි.

එම තරගාවලියේ දී ඔහු තරග 4ක ඉනිම් 7කදී ද්විත්ව ශතකයක්, ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 543ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 90.5ක් ලෙසින් පවත්වා ගැනීමට ද ඔහු සමත් වෙනවා.

පළමු පෙළ තරග 22ක ඉනිම් 30ක දී ද්විත්ව ශතක 2ක්, ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1340ක් ලබා ඇති ඔහු පළමු පෙළ තරග 34කදී අර්ධ ශතකය 5ක් සමඟ ලකුණු 725ක් ද සහ විස්සයි විස්ස තරග 15කදී ලකුණු 231ක් ද ලබා තිබෙනවා.

රවිඳු රසාන්ත වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

අහන් වික්‍රමසිංහ

කොළඹ රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි අහන් වික්‍රමසිංහ ඉදිරිපෙළ දකුණත් පිතිකරුවෙක් ලෙසයි දැක් වෙන්නේ.

ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම, ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කර ඇති 23 හැවිරිදි වියේ පසුවෙන අහන් වික්‍රමසිංහ මීට පෙර ද ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා එක් ව තරග සංචාරවල නිරත වී තිබෙනවා.

මේ වන විට NCC කණ්ඩායම නියෝජනය කරන අහන් වික්‍රමසිංහ පළමු පෙළ තරග 43ක ඉනිම 70ක දී ද්විත්වය ශතකයක් සමඟින් ශතක 6ක් සහ අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 2544ක් ද, පළමු පෙළ එක්දින තරග 48ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1052ක් ද සහ විස්සයි විස්ස තරග 29ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 461ක් ද ලබා ඇති ක්‍රීඩකයෙක්.

ඔහු LPL තරගාවලියේ Colombo Strikers සහ Jaffna Kings කණ්ඩායම ද නියෝජනය කිරීමට වරම් ලැබූ ක්‍රීඩකයෙක්.

නිපුන් ධනංජය

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සහ ශ්‍රී ලංකා A කණ්ඩායමේ ද නායකත්වයේ කටයුතු කළ නිපුන් ධනංජය මෙම තරගාවලිය හා එක් වෙද්දී පළමු පෙළ තරග 53ක ඉනිම් 80කට සහභාගී වෙමින් ද්විත්ව ශතකයක් ද සමඟින් ශතක 7ක් සහ අර්ධ ශතක 16ක් සමඟින් ලකුණු 3057ක් සහ කඩුලු 19ක් ලබා ගෙන තිබෙනවා.

එමෙන් ම පළමු පෙළ එක්දින තරග 50ක දී ශතක 4ක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලකුනු 1678ක් සහ කඩුලු 16ක් ද සහ විස්සයි විස්ස තරග 24ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 446ක් සහ කඩුලු 2ක් ද ඔහු සන්තකයේ තිබෙනවා.

ඔහු නිමා වූ LPL තරගාවලියන්වල දී Colombo Strikers සහ Jaffna Kings කණ්ඩායම් ද නියෝජනය කළා.

අංජල බණ්ඩාර

21 හැවිරිදි වියේ පසුවෙන අංජල බණ්ඩාර 2022 වසරේ පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් ව ඇති ක්‍රීඩකයෙක්. මේ වන විට CCC කණ්ඩායම නියෝජනය කරන ඔහු පළමු පෙළ තරග 13ක ඉනිම් 19ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 734ක් ද, පළමු පෙළ එක්දින තරග 10ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුනු 278ක් ද සහ විස්සයි විස්ස තරග 2ක දී ලකුණු 47ක් ද ලබා ඇති ක්‍රීඩකයෙක්.

සොහාන් ද ලිවේරා

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් ජාතික ක්‍රිකට් පිටිය ආක්‍රමණය කළ සොහාන් ද ලිවේරා දක්ෂ වමත් ආරම්භක පිතිකරුවෙක් මෙන් ම දක්ෂ කඩුලු රකින්නෙක් ලෙසින්ද හැඳින්වෙනවා.

ඔහු මේ වන විට පළමු පෙළ තරග 39ක ඉනිම් 60කට සහභාගී වෙමින් ශතක 5ක් සහ අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 2411ක් ලබා තිබෙනවා.

එමෙන් ම පළමු පෙළඑක්දින තරග 51කදී අර්ධ ශතක 6ක් සමඟ ලබා ගත් ලකුණු 978ක් ද සහ විස්සයි විස්ස ලකුණු 500ක් ද ඔහුගේ ලකුණු මල්ලේ එකතු වී තිබෙනව.

නිමා වූ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දී මහනුවර කණ්ඩායම නියෝජනය කළ ඔහු තරග  4ක ඉනිම 6ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 334ක් ලබා ගන්නා ලද අතර එහි සාමාන්‍ය 66.8ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඔහු සමත් වෙනවා.

මේ වන විට Moors ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඔහු LPL තරගාවලියේ Galle Titans කණ්ඩායම ද නියෝජනය කළා.

සහන් කෝසල

22 හැවිරිදි වියේ පසුවෙන සහන් කෝසල නිමා වූ Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මානයට පත් ක්‍රීඩකයායි.

මේ වන විට පළමු පෙළ තරග 32ක ක ඉනිම් 56කට සහභාගී වී ඇති ඔහු ශතක 3ක් සහ අර්ධ ශතක 11ක් සමඟින් ලකුණු 1935ක් සේ ම පළමු පෙළ එක්දින තරග 25ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 489ක් ද සහ විස්සයි විස්ස තරග 15ක ලකුණු 203ක් ද ඔහු සතුයි.

එමෙන් ම නිමා වූ ජාතික සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ දී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරමින් තරග 3ක ඉනිම් 5කදී ලකුණු 113ක් ලබා ගන්න්වා.

CCC කණ්ඩායම නියෝජනය කරන ඔහු කඳාන ද මැසිනොද් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායාද වූ ක්‍රීඩකයෙක්.

රවිඳු ප්‍රනාන්දු

නිමා වූ Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනූ රවිඳු ප්‍රනාන්දු මෙම සංචිතය හා එක් වෙන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසයි.

Bloomfield කණ්ඩායම නියෝජනය කරන ඔහු මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක් විස්සයි විස්ස තරගයකට ද ක්‍රීඩා කර තිබෙනවා. පළමු පෙළ තරග 49ක ඉනිම් 75ක දී ශතක 6ක් සහ අර්ධ ශතකය 17ක් සමඟින් ලකුණු 2606ක් සහ කඩුලු 150ක් ලබා ඇති ඔහු පළමු පෙළ එක්දින තරග 69ක දී ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1221ක් සහ කඩුලු 45ක් ද සහ විස්සයි විස්ස තරග 31ක දී ලකුණු 288ක් සහ කඩුලු 14ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

LPL තරගාවලියේ දී Colombo Stars සහ Dambulla Aura කණ්ඩායම්වලට ද ඔහුගේ දක්ෂතා ලබා දී තිබෙනවා.

චමිඳු විජේසිංහ

මීට පෙර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම, ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම ද නියෝජනය කර ඇති චමිඳු විජේසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් බිහි වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්වෙනවා.

මේ වන විට CCC කණ්ඩායම නියෝජනය කරන චමිඳු විජේසිංහ පළමු පෙළ තරග 43ක ඉනිම 63ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1832ක් සහ කඩුලු 44ක් ද, පළමු පෙළ එක්දින තරග 47ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 589ක් සහ කඩුලු 36ක් ද සහ විස්සයි විස්ස තරග 28ක දී ලකුණු 110ක් සහ කඩුලු 15ක් ද දවා ගැනීමට ඔහු සමත් ව තිබෙනවා.

LPL පිටියේ දී Galle Marvels සහ Kandy Falcons කණ්ඩායම්වලට ද ඔහුගේ දක්ෂතා මුසු කළා.

දුලාජ් සමුදිත

වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි දුලාජ් සමුදිත කණ්ඩායම හා එක් වෙන්නේ වමත් මඳ වේග පන්දු යවන්නේ ලෙසිනුයි. ඔහු මේ වන විට පළමු පෙළ තරග 9ක දී කඩුලු 12ක් ලබා තිබෙනවා.

මේ දිනවල Bloomfield කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි විස්ස තරගාවලිය හා එක් ව සිටින ඔහු ජාතික සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ දී දඹුල්ල කණ්ඩායම ද නියෝජනය කළා.

ගරුක සංකේත්

20 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන ගරුක සංකේත් 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයෙක්. මේ වන විට Moors  කණ්ඩායම හා එක් ව සිටින ගරුක සංකේත් LPL ක්‍රිකට් තරගාවලියේ දී Colombo Strikers කණ්ඩායම ද, Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් Chennai Braves සහ Dubai Capitals කණ්ඩායම් ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

සිතුම් දිසානායක

පළමු පෙළ තරග 23ක දී කඩුලු 44ක්, පළමු පෙළ එක්දින තරග 33ක දී කඩුලු 35ක් සහ විස්සයි විස්ස කඩුලු 35ක් දවා ගෙන ඇති සිතුම් දිසානායක මෙම කණ්ඩායම හා එක් වෙන්නේ දකුණතින් මඳ වේග පන්දු යවන්නෙක් ලෙසයි.

දිලුම් සුදීර

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් අත්-පොත් තබා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට තම දක්ෂතා මුසු කළ දිලුම් සුදීර වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

ඔහු නිමා වූ Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ද සම්මානය පත් වූවා.

මේ වෙද්දී පළමු පෙළ තරග 46කට මුහුණ දෙමින් කඩුලු 188ක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1052ක් ලබා ඇති දිලුම් සුදීර, පළමු පෙළ එක්දින කඩුලු 116ක් ද සහ විස්සයි විස්ස කඩුලු 17ක් ද ලබා ඇති ක්‍රීඩකයෙක්.

LPL ක්‍රිකට් තරගාවලියේ Dambulla Aura කණ්ඩායම නියෝජනය කර ඇති දිලුම් සුදීර මේ දිනවල තම දක්ෂතා මුසු කරන්නේ Police කණ්ඩායම වෙතයි.

ට්‍රෙවින් මැතිව්

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි 20 හැවිරිදි වියේ පසුවෙන ට්‍රෙවින් මැතිව් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

ඩුබායි International League T20 ක්‍රිකට් තරගාවලියේ දී Sharjah Warriors සහ Abu Dhabi Knight Riders කණ්ඩායම් නියෝජනය කළ ඔහු LPL ක්‍රිකට් තරගාවලියේ දී Dambulla Aura කණ්ඩායම ද නියෝජනය කළා.

අශේන් ඩැනියෙල්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම ද නියෝජනය කර ඇති අශේන් ඩැනියෙල් LPL ක්‍රිකට් තරගාවලියේ දී Galle Gladiators සහ Kandy Falcons කණ්ඩායම් ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

දකුණතින් පිට දඟ පන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දක්වන ඔහු මේ වෙද්දී පළමු පෙළ තරග 49කට ක්‍රීඩා කරමින් කඩුලු 157ක් ද, පළමු පෙළ එක්දින තරග 58ක දී කඩුලු 79ක් ද සහ විස්සයි විස්ස තරග 24ක දී කඩුලු 27ක් ලබා තිබෙනවා.

පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ ඔහු පළමු පෙළ අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 787ක් ලබා ඇති මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායාද වූ ක්‍රීඩකයෙක්.

මෙලන් හංසක

කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි 20 හැවිරිදි වියේ පසුවෙන පා දඟ පන්දු යවන මෙලන් හංසක මේ දක්වා පළමු පෙළ තරග 4කට පමණක් මුහුණ දෙමින් කඩුලු 17ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

ඔහු මේ දිනවල තම දක්ෂතා මුසු කරන්නේ Chilaw Marians කණ්ඩායම වෙතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<