පළමු පෙළ ක්‍රීඩකයින් සහ සහය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට රක්ෂණ ආවරණයක්

108
Sri Lanka Cricket

2025/26 තරග වාරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරනා ක්‍රීඩකයින් සහ සහය කණ්ඩායම් කාර්ය මණ්ඩල සාමාජිකයින් 350 දෙනෙකුට රක්ෂණ ආවරණ ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පියවර ගෙන තිබෙනවා.

ක්‍රීඩා සමාජ 14ක් නියෝජනය කරන ක්‍රීඩකයින් 280ක් සහ සහය කාර්ය මණ්ඩල සාමාජිකයින් 70ක් (එක් ක්‍රීඩා සමාජයකින් ක්‍රීඩකයින් 20ක් සහ සහය කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙක්) මෙම රක්ෂණ පහසුකම් ලබා තිබෙනවා.

සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ තීරණයක් අනුව හිමි වන මෙම රක්ෂණාවරණය මගින් මෙවර තරග සමයේ දී සෑම ක්‍රීඩකයකුගේ මෙන්ම, සහය කණ්ඩායම් සාමාජිකයකුගේ ම ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු වී තිබෙනවා.

මෙමගින් සෑම අයකුට ම අනතුරු සහ වෛද්‍ය ආවරණයක් හිමි වන අතර, ඊට අමතරව තෝරා ගත් ක්‍රීඩකයින් පස් දෙනෙකුට බරපතළ රෝගාබාධ සඳහා ද ආවරණයක් ලබා දී තිබීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පළමු පෙළ ක්‍රීඩා සමාජ සඳහා අඛණ්ඩව මෙම පහසුකම් සලසා දෙන තෙවැනි වසර මෙය වන අතර, 2023 වසරේ දී ක්‍රීඩා සමාජ 23ක 550 දෙනෙකුට ද, 2024 වසරේ දී ක්‍රීඩා සමාජ 18ක 450 දෙනෙකුට ද මෙම පහසුකම හිමි වුනා.

මෙමගින් ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සහය කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා හොඳම පහසුකම් සපයමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වා ගෙන යාම අරමුණ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලදාරී ඈශ්ලි ද සිල්වා මහතා විසින් සඳහන් කර තිබුණා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<