ශ්‍රී ලංකා රග්බි පිටියේ ඔහු පිළිබඳ බොහෝ කතාබහ නිර්මාණය වුවද, ඔහු කතාබහ අඩු පුද්ගලයෙකි. අනෙකුත් රග්බි ක්‍රීඩකයන්ට මෙන් ඔහුට ෆේස්බුක් පිටුවක් හෝ සමාජ ජාලා ගිණුම් නැත.
අඩි 6යි අඟල් 1ක උසකින් සහ කිලෝ ග්‍රෑම් 98ක බරකින් යුත් ඔහුට මඳක් රළු පරළු මුහුණක්ද ඇත. ඔහු ඉතා නිහඬ පුද්ගලයෙකු වන අතර පිටියේදීත් සිය හැඟීම් දැනීම් ප්‍රදර්ශනය කරන අවස්ථා විරලය.
පිටියේදී සිය කර මත පටවාගන්නා කාර්යභාරය හේතුකොටගෙන, තමා ක්‍රීඩා කරන සෑම කණ්ඩායමකම මුල්පෙලේ ක්‍රීඩකයන් කිහිපදෙනා අතරට එක්වීමට ඔහු සමත් වී ඇත. සුහිරු, 15න් පහල රග්බි ක්‍රීඩකයෙකු ලෙස සාන්ත පීතර විද්‍යාලයෙන් රග්බි ක්‍රීඩාවට අත්පොත් තබන්නේ ශාන්ත ධර්මරත්න මහතාගේ අනුදැනුම යටතේය. රග්බි ක්‍රීඩකයෙකු වීමේ සිහිනය පාසල් ක්‍රීඩකයෙකු වූ කාලයේ සිටම රඳවාගත් ඔහුගේ පාසල් රග්බි වීරයා වූයේ CH & FC කණ්ඩායමේද ක්‍රීඩා කළ ආදි පීතරයෙකු වූ ෆ්ලෑන්කර් ක්‍රීඩක ඩිලංක විජේසේකර ය. ඔහු, “ගල් යුගයේ මිනිසා” ලෙස ප්‍රකඨ ප්‍රංශ රග්බි ක්‍රීඩක, සෙබස්තියන් චබාල්ගේ ද දිගුකාලීන අනුගාමිකයෙකි.

ThePapare.com සමඟින් විශේෂ අදහස් දැක්වීමක නිරත වූ ඔහු පවසා සිටියේ සෑම තරඟයක්ම තරඟකාරීව ක්‍රීඩා කරනු වස් තමා මෙහෙයවූ සනත් මාටිස් සහ කොලින් ඩෙනිෂ් යන ආදි පුහුණුකරුවන් දෙදෙනා තමාට පූර්වාදර්ශයක් වූ බවයි.
පාසල් විය අවසන් වූ පසුද රග්බි ක්‍රීඩාවේ නිරත වූ සුහිරු, 2011 වර්ෂයේදී නාවික හමුදා ක්‍රීඩා සමාජයට එක්විය. එහිදී ඔහුගේ පළමු පුහුණුකරු වූයේ රොනී ඊබ්‍රාහිම් මහතා වන අතර සුහිරුගේ මූලික දක්ෂතාවයන් ඔපමට්ටම් කර ඔහුව ජාතික තලයේ ලීගයකට සරිලන පරිදි සූදානම් කිරීමේ ගෞරවය හිමිවන්නේද ඊබ්‍රාහිම් මහතාටයි.

නාවික හමුදා කණ්ඩායමේ සිටියදී ඔහුගේ අභ්‍යාසක වූ මොතිලාල් ජයතිලක සහ පුහුණුකරු ලෙනාඩ් සිල්වා ව සිහිපත් කිරීමටද ඔහු අමතක නොකළේය.
චීනයේදී පැවති ෂැන්හයි සෙවන්ස් තරඟාවලියටත් පසුව ඉන්දියාවේ මුම්බායි නුවරටත් සංචාරය කළ ශ්‍රී ලංකා සත්සාමාජික කණ්ඩායම නියෝජනය කරන විට සුහිරුගේ වයස අවුරුදු 21කි.
2015 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියක් ලෙස පැවති ආසියානු ෆයිව් නේෂන්ස් (Asian 5 Nations) තරඟාවලියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පළමු පහළොස්දෙනා ඇතුලත ක්‍රීඩා කරන විට සුහිරුගේ වයස අවුරුදු 22කි. ශ්‍රී ලංකාව, කසකස්තානයට එරෙහිව පැහැදිලි ජයක් ලබන්නට සමත් වූ එම තරඟය ගැන ඔහු අදත් සිහිකරන්නේ සතුටිනි. පසුගිය වසර කිහිපය තුළදීම ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට ඔහු පත්විය.

මේ දක්වා ඔහුගේ රග්බි දිවිය ගැන සලකා බැලීමේදී සටහන් කළහැකි වන්නේ ඔහු, පාසල් හෝ අන්තර් සමාජ තරඟයකදී කිසිවිටෙක කහ හෝ රතු කාඩ්පතක් ලබා නැති ක්‍රීඩකයෙකු බවයි. තම පාසල හෝ සමාජය නියෝජනය කරන ඕනෑම ක්‍රීඩකයෙකුට, ප්රමුඛ පෙලේ රග්බි සමාජ දෙකක් නියෝජනය කළ ඔහුගේ නිරවද්‍ය ක්‍රීඩා ශෛලියෙන් ගතහැකි ආදර්ශය වන්නේ පිටියේදී හා ඉන් පිටතදී කුමන චරිතයක් විය යුතුද යන වගයි.
පරිවර්තනය කළ ලිපියකි: The Silent Assassin in Sri Lankan Rugby – Suhiru Anthony





















