ශ්‍රී ලංකා A කණ්ඩායම දැවැන්ත ජයක් කරා!

30
Sri Lanka A Tour Of UAE 2025

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම අතර පැවැත්වුණු සිව් දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 308ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම ඊයේ (02) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සමත් වුනා.

පසුගිය අප්‍රේල් 29 වැනි දා අබුඩාබි හිදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජය ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා පළමු ඉනිම

තරගයේ පළමු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු දිනය නිමා වන තෙක් සිය ඉනිම පවත්වා ගනිමින් ලකුණු 345ක් ලබා ගැනීමට සමත් වූ අතර, තරගයේ දෙවැනි දිනය තුළ ඔවුන් එම ලකුණු සංඛ්‍යාව 406ක් දක්වා ඉහළට රැගෙන යාමට සමත් වුනා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු උදාරගේ පිත්තෙන් ලකුණු 107ක් වාර්තා වූ අතර, පන්දු 148ක් තුළ වාර්තා වූ මෙම ඉනිම හතරේ පහර 14කින් වර්ණවත් වුනා. ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ලහිරුට අමතරව සොනාල් දිනූශ ද ශතකයක් කරා යමින් පන්දු 121ක් තුළ නොදැවුණු ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 10ක් සහ හයේ පහර 03ක් ද සමඟයි.

මීට අමතරව සදීර සමරවික්‍රම ලකුණු 44ක් සහ කමිල් මිශාර ලකුණු 35ක් ලබමින් ඉනිමට දායක වුනා. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් Bashir Ahmad කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

ඇෆ්ගන් පළමු ඉනිම

තරගයේ දෙවැනි දිනය තුළ ඇෆ්ගනිස්ථාන ද සිය පළමු ඉනිම ආරම්භ කළ නමුත්, එදින ම ඔවුන්ගේ ඉනිම සම්පූර්ණයෙන්ම නිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

පන්දුවාර 46 පන්දු 5ක් තුළ ඇෆ්ගන් ඉනිම ලකුණු 168කට සීමා වූ අතර, මෙහි දී ඇෆ්ගනිස්ථාන වෙනුවෙන් Afsar Zazai ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වුනා. මේ අතර ඇෆ්ගන් ඉනිමට මාරකයක් වූ ඉසිත විජේසුන්දර විසින් ලකුණු 35කට කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වූ අතර, තරිඳු රත්නායක කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් අතරට පිවිසුණා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම

තරගයේ දෙවැනි දිනය තුළ ම ශ්‍රී ලංකා පිතිකරුවන් සිය දෙවැනි ඉනිම ද ආරම්භ කළා. දිනය නිමා වන විට ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු 98ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, තරගයේ තෙවැනි දිනය තුළ ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 376ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක ත්‍රිත්වයක් වාර්තා වීම විශේෂත්වයක්. නුවනිඳු ප්‍රනාන්දු පන්දු 123කින් ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟයි. මේ අතර පසිඳු සූරියබණ්ඩාර පන්දු 133කින් නොදැවී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 08ක් අන්තර්ගත වුනා.

එමෙන්ම පවන් රත්නායක ද පන්දු 106ක් තුළ නොදැවී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහු විසින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ඉනිමට එක් කර ගැනීමට සමත් වුනා. මීට අමතරව කමිල් මිශාර විසින් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී ශ්‍රී ලංකා ඉනිමේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් පවන් සහ පසිඳු ලකුණු 189ක නොබිදිණු සබඳතාවක් ද ගොඩ නැංවීමට සමත් වීම විශේෂත්වයක්.

ඇෆ්ගන් දෙවැනි ඉනිම

මේ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 615ක දැවැන්ත ඉලක්කයක් හිමි වුනා. තරගයේ තෙවැනි දිනයේ දී ඔවුන් මෙම හඹා යාම ආරම්භ කළ අතර, දිනය නිමා වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

කෙසේ වෙතත් තරගයේ සිව්වැනි සහ අවසන් දිනය තුළ ඇෆ්ගන් ඉනිම ලකුණු 306කට සීමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මෙහි දී ඇෆ්ගන් දෙවැනි ඉනිම වෙනුවෙන් නායක Darwish Rasooli ලකුණු 121ක් ලබා ගැනීමට සමත් වූ අතර, Afsar Zazai විසින් ලකුණු 84ක් ලබා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවතත් පන්දුවෙන් සාර්ථක වූ ඉසිත විජේසුන්දර කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර, ඩිල්ශාන් මදුශංක, වනුජ සහන් සහ තරිඳු රත්නායක කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායමට තරගයෙන් ලකුණු 308ක ජයක් උරුම වූ අතර, තරගයේ වීරයා ලෙස ඉසිත විජේසුන්දර සම්මාන දිනා ගත්තා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<