ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති පළමු සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ජය පරාජයකින් තොරව අවසන් වූවා.
මෙම තරගය Darwin හී Marrara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 272ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසිත් සත්කාරක ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 486ක් ලබා ගත්තා. ඒ අනුව ලකුණු 214ක් පිටු පස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 280ක් ලබා සිටියා.
තරගයේ සිව් වැනි දිනය ආරම්භ වෙන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 49ක් ලබා සිටි අතර අද දවසේ දී ඔවුන් සියලු ගෞරව දිනා ගැනීමට සමත් විම කැපී පෙණුනා. එහි දී නුවනිඳු ප්‍රනාන්දු පන්දු 218කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 104ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ කැපි පෙණෙන පිතිකරු බවට පත් වූවා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 14 වැනි ශතකයයි.
ඔහුට අමතර ව නායක පසිඳු සූරියබණ්ඩාර සහ පවන් රත්නායක ලකුණු 56ක් බැගින් ලබා ගැනීමට ද සමත් වූවා.
- ශ්‍රී ලංකාව ලකුණු 165ක් පිටුපසින්
- ඔස්ට්‍රේලියාව සාර්ථක ආරම්භයක් ලබා ගනී
- බංග්ලාදේශය තරගාවලිය 1-1ක් සේ සම කරයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වලට ප්‍රහාරාත්මක පිතිකරණය පිළිබඳ පුහුණුවක්
- එක්දින තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
දිනය ආරම්භ වෙද්දී කමිල් මිෂාර පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද සහ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 22කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 4ක් ද ලබා සිටියා.
ඔවුන් අතුරින් අද දවසේ පළමු කඩුල්ල ලෙසින් තම ඉනිම අවසන් කර ගන්නේ කමිල් මිෂාර. ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35කට දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 60ක් ලෙසින් දැක් වුණා.
ඉන් අනතුරු ව පිටියට පිවිසි නායක පසිඳු සූරියබණ්ඩාර හා එක් වූ නුවනිඳු ප්‍රනාන්දු 3 වැනි කඩුල්ල සඳහා ලකුණු 113ක සබඳතාවක් එක් කරනවා. පසිඳු සූරියබණ්ඩාර 3 වැනි කඩුල්ල ලෙසින් පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා සිටිය දී දැවී ගියා. එය ඔහුගේ පළමු පෙළ 20 වැනි අර්ධ ශතකයයි.
අනතුරු ව පිටියේ එක් වූ නුවනිඳු ප්‍රනාන්දු සහ පවන් රත්නායක තරගය නතර කරන විට සිව් වැනි කඩුල්ලට නොදැවී ලකුණු 97ක සබඳතාවක් එක් කළා. එහි දී පවන් රත්නායක පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ 10 වැනි අර්ධ ශතකය ලෙසයි තම ලකුණු ගොන්නට එක් වූවේ.
කඩුලු දවා ගැනීමේ දී Liam Scott, Mitchell Perry සහ Henry Thornton අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 272 (82.0) නුවනිඳු ප්‍රනාන්දු 34, පසිඳු සූරියබණ්ඩාර 20, සොනාල් දිනූෂ නොදැවී 105, විශාද් රන්දික 27, ඉසිත විජේසුන්දර 33, Liam Scott 2/27, Henry Thornton 2/31, Nathan McSweeney 2/51
- ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 486 (161.4) Jake Weatherald 54, Nathan McSweeney 94, Liam Scott 94, Josh Philippe 85, Mitchell Perry 61, Zanden Jeh 27, නිශාන් පීරිස් 2/137, ප්‍රමෝද් මදුශාන් 3/82, සොනාල් දිනූෂ 4/97
- ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 280 (81.0) කමිල් මිෂාර 35, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 104, පසිඳු සූරියබණ්ඩාර 56, පවන් රත්නායක නොදැවී 56
තරගයේ විසඳුමක් නෑ.
දෙරට අතර පැවැත්වෙන් 2 වැනි සහ අවසන් සිව් දින නිල නොලත් ටෙස්ට් තරගය මේ මස 20 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ උණුසුම් තරග තොරතුරු මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<