සුපිරි වීරයෙකු වන්නට දිගු සාළුවක් සහ කලිසමට උඩින් ඇඳ ගැනීමට ජම්පරයක් අවශ්‍ය නොවන බව අද වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලෝකයක් හමුවේ ඔප්පු කර සිටියේය. ඒ කලක් තිස්සේ ජයග්‍රහණවලින් තොරව වියැලී ඉරිතැලී ගොස් තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කතර මල් වැස්සකින් නිවා සනහාලමිනි.
ප්‍රතිමල්ලවයින්ගේ විවිධ උසුළු විසුළු සහ විනිසුරුවරුන්ගේ නොපනත්කම් මැද කුසල් ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (16) ප්‍රබල දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගය ජය ගත්තේ එක් කඩුල්ලකිනි!
විශ්ව – ලසිත් ජය සොයද්දී මුල්පෙළ නැවතත් නායයයි!
ශ්‍රී ලංකා පිළට අලුතින් එක්වුණු වමත් පන්දු යවන්නා දෙදෙනා වන ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව…
පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරය පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකා පිළ දකුණු අප්‍රිකානු මහද්වීපය බලා පියාසර කරන්නේ තම නිත්‍ය ටෙස්ට් නායකයා ද රහිතවයි. නවකයින් පිරුණු ශ්‍රී ලංකා පිළට නායකත්වය දීමේ වගකීම පැවරෙන්නේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නටයි. මීට පෙර නම ගිය ක්‍රීඩකයින් පිරිවරා ගෙන දකුණු අප්‍රිකාව බලා ගිය ඉන්දියානු කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම ද එහි දී බඩ කට පුරා පහර කෑ නිසා ශ්‍රී ලංකා පිළ මේ අලුත් කොලු ගැටවුන් සමඟ මෙවන් පෙළහරක් පානු ඇතැයි කිසිවෙකු බලාපොරොත්තු වූයේ ද නැත. නමුත් තරග ආරම්භයේ සිටම එහි මූලිකත්වය ගන්නේ කිසිවෙකු ගණනකට නොගත් ඒ නවකයින් රෑනයි.
කාසියේ වාසිය දිනූ වැඩ බලන නායක දිමුත් කරුණාරත්නගේ තීරණයට හිස නමා ගරු කළ ඔවුන් ප්‍රබල දකුණු අප්‍රිකානුවන්ව ලකුණු 235කට සීමා කරන්නේ සටනේ පළමු වෙඩිමුරය දල්වාලමිනි. ඒ වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් බිඳ හෙලද්දී තවමත් ටෙස්ට් තරග 5කට පමණක් සහභාගි වී ඇති කසුන් රාජිතගේ දායකත්වය කඩුලු 3කි. “අප ශ්‍රී ලංකා නවක පන්දු යවන්නන් ගැන යන්තම්වත් දැන සිටියේ නෑ” ඒ මෙම අනපේක්ෂිත ප්‍රහාරයෙන් තිගැස්මට ලක්වුණු දකුණු අප්‍රිකානු නායකයාගේ ප්‍රකාශයයි. මෙවන් අඩු ලකුණු සංඛ්‍යාවකට ප්‍රතිවාදීන් සීමා කළ ද නැවතත් පීඩනය අප සොයා එන්නේ මුල්පෙළ කඩුලු ඉක්මනින් බිඳ වැටීම නිසයි.
ඒ මොහොතේ ද නැවතත් ශ්‍රී ලංකා පිළේ පිහිටට එන ලසිත් ඇඹුල්දෙනිය සහ කසුන් රාජිත 9 වැනි කඩුල්ලට ලකුණු 32ක් එක් කරමින් ලකුණු 191ක් දක්වා ශ්‍රී ලංකා ඉනිම ඉදිරියට ඇදගෙන යන්නට සමත් වූහ. මෙම ඉනිම වෙනුවෙන් අපගේ කතා නායකයා වන කුසල් පෙරේරාගේ දායකත්වය ලකුණු 51කි. ඒ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමඟිනි. තම මංගල තරගයට ක්‍රීඩා කරන ඕෂධ ප්‍රනාන්දු ද ලකුණු 19ක් රැස්කළේ ඔහුගේ ක්‍රීඩා විලාශය තුල ධනාත්මක ලක්ෂණ රැසක් පෙන්නුම් කරමිනි. ඒ අනුව ලකුණු 44ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ ප්‍රතිවාදීන් එක් අවස්ථාවක දී ලකුණු 400කට වැඩි ඉලක්කයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හමුවේ තබන බවක් පෙනෙන්නට තිබුණි.
Photo Album : Sri Lanka vs South Africa 1st Test 2019 | Day 4
එම අවස්ථාවේ දී තත්ත්වය පාලනය කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නායකයා නැවත වරක් භාර දෙන්නේ මංගල තරගයට ක්‍රීඩා කරන ලසිත් ඇඹුල්දෙනියට සහ සිව්වැනි තරගයට ක්‍රීඩා කරන විශ්ව ප්‍රනාන්දුටයි. එම අභියෝගය ජය ගන්නා ඔවුන් දකුණු අප්‍රිකානුවන්ගේ අවසන් කඩුලු 5ම ලකුණු 8ක් තුල බිඳ දමන්නේ ක්‍රිකට් ලොවම විශ්මයට පත් කරමිනි. නළල රැළි ගන්වා ගනිමින් අවසන් දකුණු අප්‍රිකානුවත් ක්‍රීඩාගාරයට පිය මනින විට ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 5ක් ද, විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් ද තමන් නමින් ලියා ගන්නට සමත් වී තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවෙන් අවසානයේ හිමි වන්නේ ලකුණු 304ක ඉලක්කයකි.
මේ වෙනුවෙන් මුල්පෙළ පිතිකරුවන් කිහිප දෙනා කෙටි ඉනිම් ගොඩ නගමින් යම් දායකත්වයක් දැක්වූවද සිව්වැනි ඉනිමේ ලකුණු තුන්සියයක් හඹා යන්නට එය ප්‍රමාණවත් නොවන බව පෙනෙන්නට තිබුණි. තත්ත්වය තවත් භයානක කරමින් කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හැරී යන්නේ පිතිකරුවන් ලෙස ඔවුන් සතු වගකීම පැහැර හරිමිනි. කෙසේ වෙතත් ධනංජය ද සිල්වා ලකුණු 48ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට හිඟ ලකුණු සංඛ්‍යාව ඉලක්කම් දෙකේ ඉලක්කයක් බවට පරිවර්තනය කරන්නට සමත් විය. නමුත් එක්වරම ක්‍රියාත්මක වන කේශව් මහරාජ් තණතිල්ලේ ඇති පළුදු වලින් උපරිම ප්‍රයෝජන ගන්නේ ධනංජය, ලක්මාල් සහ රාජිත යන ක්‍රීඩකයින් තිදෙනාම දවා ගනිමිනි.
නවක වේග පන්දු යවන්නෙකු වන ඔලිවියර් ලසිත් ඇඹුල්දෙනියව ද ඉක්මනින් ක්‍රීඩාගාරයට හරවා යවන්නේ මුල් ඉනිමේ නැටූ නැටුම් දෙවැනි ඉනිමට රැගෙන එන්නට ඉඩ නොදෙමිනි. සියලු සිහින බොඳවී කඩුලු 9ක් දැවී ගිය ශ්‍රී ලංකාවට ඒ වන විට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 78ක් අවශ්‍ය කර තිබුණි. එක් අන්තයක තනිවුනු කුසල් පෙරේරාගේ සහයට සිටියේ පිතිකරණයේ අවම හැකියාවක් ඇති විශ්ව ප්‍රනාන්දු පමණි. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් මෙන්ම, ක්‍රීඩාගාරයේ සිටි ක්‍රීඩකයින් ද මේ වන විටත් තරගය අත්හැර ඇති අයුරු පෙනුණ ද කුසල් පෙරේරාගේ සිතේ ඒ වන විටත් බලාපොරොත්තුවේ ගිනි පුලිඟුවක් දැල්වෙමින් තිබූ බව කිසිවෙකුත් දැන සිටියේ නැත.
විසිහය වසරකට පෙර මෙරටටම පැමිණ අප අසරණ කළ දකුණු අප්‍රිකානුවෝ
2019 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය හෙට (13) ඩර්බන් නුවර කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේ දී…
ඇතිවී තිබෙන තත්ත්වය නිවැරදිව කියවූ කුසල් පෙරේරා පළමුවෙන්ම කළේ සහය පිතිකරු විශ්වව හැකිතාක් පන්දු යවන්නාගේ අන්තයේම සැඟවීමයි. ඒ වෙනුවෙන් ලකුණු ලබා ගත හැකි පහරවල් රැසකට තනි ලකුණ නොලබා ඔහු අධිෂ්ඨානයෙන් පිතිකරණ අන්තයේ රැඳී සිටියේය. මෙම අවස්ථාවේ පන්දුවක් තම ඇඟිල්ලේ තදින් වැදීම නිසා කුසල් දැඩි වේදනාවකට පත් වුවද ඔහුගේ සිතේ තිබූ ජය පිපාසය එම වේදනාවට වඩා වැඩි වූ නිසා ඔහු තීරණය කළේ දිගටම කඩුල්ලේ රැඳී සිටීමටයි. ඉඳහිට තමන්ට ලැබුණු පන්දු හමුවේ කඩුල්ල බේරාගත් විශ්ව ප්‍රනාන්දු ලබා දුන් සහයෝගයෙන් උපරිම ප්‍රයෝජන ගත් කුසල් මුලින්ම තම ටෙස්ට් දිවියේ දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගත්තේ ක්‍රීඩාංගණයට රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ගේ අත්පොළසන් නාදය මැදයි.
මේ වන විටත් ජයග්‍රහණය තවත් බොහෝ දුර වූ නිසා කුමන මොහොතේ හෝ මෙම පිතිකරුවන් අතින් වරදක් සිදුවනු ඇති බවට සිතූ දකුණු අප්‍රිකානුවන් ද සිනාමුසු මුහුණින් පන්දු යැවීමේ නිරත වූහ. නමුත් ගෙවෙන මොහොතක් මොහොතක් පාසා තම ආත්ම ශක්තිය වර්ධනය කර ගත් කුසල් පෙරේරා තරගයේ අවසන් කොටසේ දී පැරණි “පොඩි සනා” බවට පරිවර්තනය වූයේ ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා වන රබාඩාට මෙන්ම හිටපු අංක එකේ පන්දු යවන්නා වන ඩේල් ස්ටේන්ට අති දැවැන්ත හයේ පහරවල් රැසකින් සංග්‍රහ කරමිනි. අවසාන මොහොත දක්වා නැණවත්ව පිත්ත හැසිර වූ කුසල් ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණය ස්ථිර කළේ ද රබාඩා යැවූ පන්දුවක් ස්ලිප් කලාපය ඔස්සේ හතරේ සීමාව කරා ගලා යන්නට ඉඩ සලස්වමිනි.
අලුත් තුරුම්පුවල වැඩ පෙන්වන පළමු තරගය
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පුරා මාසයකට ආසන්න කාලයක්…
තරගය නිමා වෙද්දී කුසල් පෙරේරා නොදැවී ලකුණු 153ක් රැස් කර සිටියේ මනරම් හතරේ පහර 12ක් සහ දැවැන්ත හයේ පහර 5ක් සමඟයි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 200කදී ප්‍රබල දකුණු අප්‍රිකානු පන්දු බල ඇණිය සමඟ පොර අල්ලා තිබුණි. මෙම ඉනිම අතරතුරේ කුසල් තමාව දවා ගැනීමට කිසිදු අවස්ථාවක් ප්‍රතිවාදීන්ට ලබා නොදීම ද සුවිශේෂී කරුණකි. තරගය නිමා වෙද්දී ඔහු විශ්ව ප්‍රනාන්දු සමඟ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක නොබිඳුණු සබඳතාවයක් ගොඩ නගන්නට සමත්ව තිබුණි. ඒ වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු දැවැන්ත පීඩනයක් හමුවේ පන්දු 27කට මුහුණ දෙමින් දැක්වූ සහයෝගය ද අප අගය කළ යුතුමය.
ශ්‍රී ලංකා ක්‍රිකට් හෘදයාබාධ ඇති කරවන සුළු බව කාලයක් තිස්සේ ප්‍රේක්ෂකයින් අතර ඇති මතයකි. නමුත් එම බොහෝ තරග නිමාවට පත් වන්නේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ ඇස් රතු කරමින් වන නිසා ඔවුන් ක්‍රම ක්‍රමයෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව යමින් පැවතුණි. නමුත් අහඹුවක් නොවන මෙම ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය නැවතත් ඔවුන්ව රූපවාහිනී තිරය ඉදිරියට කැඳවීමට සමත් වනු ඇත. දෙපිළ අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 21 වැනිදා පෝර්ට් එලිසබෙත් හිදී ඇරඹෙන අතර මෙම තරගයේ වීරයා ගැන අමුතුවෙන් අටුවා ටීකා ලියන්නට අවශ්‍ය නොවන බව අපගේ හැඟීමයි.
දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 59.4)
ක්වින්ටන් ඩි කොක් 80, ටෙම්බා බවුමා 47, ෆැෆ් ඩු ප්ලෙසිස් 35, කේශව් මහරාජ් 29, ඩේල් ස්ටේන් 15, ඒඩන් මාර්ක්‍රම් 11, විශ්ව ප්‍රනාන්දු 4/62, කසුන් රාජිත 3/68, සුරංග ලක්මාල් 1/29.
ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 191 (පන්දුවාර 59.2)
කුසල් පෙරේරා 51, දිමුත් කරුණාරත්න 30, ලසිත් ඇඹුල්දෙනිය 24, ධනංජය ද සිල්වා 23, ඕෂධ ප්‍රනාන්දු 19, කුසල් මෙන්ඩිස් 12, ඩේල් ස්ටේන් 4/48, වර්නන් ෆිලැන්ඩර් 2/32, කාගිසෝ රබාඩා 2/48, ඩුවාන් ඔලිවියර් 1/36.
දකුණු අප්‍රිකා (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 259 (පන්දුවාර 79.1)
ෆැෆ් ඩු ප්ලෙසිස් 90, ක්වින්ටන් ඩි කොක් 55, ඩීන් එල්ගාර් 35, ඒඩන් මාර්ක්‍රම් 28, වර්නන් ෆිලැන්ඩර් 18, ලසිත් ඇඹුල්දෙනිය 5/66, විශ්ව ප්‍රනාන්දු 4/71, කසුන් රාජිත 1/54.
ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 304 (පන්දුවාර 85.3)
කුසල් පෙරේරා 153*, ධනංජය ද සිල්වා 48, ඕෂධ ප්‍රනාන්දු 37, ලහිරු තිරිමාන්න 21, දිමුත් කරුණාරත්න 20, කේශව් මහරාජ් 3/71, ඩේල් ස්ටේන් 2/71, ඩුවාන් ඔලිවියර් 2/35.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















