ගාල්ල මහින්ද විද්‍යාලය පරාජය කළ කැළණිය ගුරුකුල විද්‍යාලය, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ Tier A කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
අද (16) අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගනිමින් පිටියට පිවිසි අතර එහි දී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 124ක් පමණයි. ඊට පිළිතුරු ලෙසින් ගුරුකුල විද්‍යාලය තම ඉනිම අවසන් වීමට තවත් පන්දු 28ක් ඉතිරි ව තිබිය දී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 128ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලය ලබා ගන්නේ අසාර්ථක ආරම්භයක්. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 18කට දැවී යනවා. එසේ වෙද්දී 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක සබඳතාවක් ගොඩ නැගීමට දිනෙත් පැහැසර සහ රන්දුල මාබරණ සමත් වුණා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ දිනෙත් පැහැසර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවි යන විට පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා සිටියා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව එම ඉනිමට තවත් ලකුණු 2ක් පමණක් එක් වෙද්දී රන්දුල මාබරණ ද තම ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.
ඔවුන්ගෙන් පසුව මානිත රාජපක්ෂ පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා ගනිමින් මහින්ද විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූවා.
අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ඉඩ නොදුන් ගුරුකුල විද්‍යාලයීය පන්දු යවන්නන් අතුරින් හොඳම පන්දු යැවීම වාර්තා කළේ නෙතුප සංදිව්. ඔහු ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තා.
ඊට අමතර ව ඉඳුවර ඔෂද සහ දෙනෙත් දේශාන් කඩුලු ද්විත්වය බැගින් ද සහ ඔහස් සදෙව් කඩුල්ලක් ද දවා ගත්තා.
- මහානාම විද්‍යාලය අවසන් මහා තරගයට
- මිනුවන්ගොඩ ජනාධිපතිවරුන් ජය ගනී
- ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරුවන් දෙදෙනෙකු කැඳවයි
- ඕස්ට්‍රේලියා යෞවනියෝ ඇප නැතිව ගෙදර යයි
- 19න් පහළ යෞවනයෝ කොදෙව් හී පෑ දක්ෂතා
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගුරුකුල විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 11ක් වෙද්දී දවා ගැනීමට ප්‍රතිවාදී මහින්ද විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වෙනවා. එලෙසින් අමාරුවේ වැටි සිටි ඉනිම යම් තරමකින් ගොඩ ගන්නේ ශාන් ජුමත් (8) සහ නායක දෙනුර දිමන්සිත්. ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 66ක දී ලකුණු 29ක සබඳතාවක් ගොඩ නගනවා.
අනතුරු ව 5 වැනි කඩුල්ලට පන්දු 24ක දී ලකුණු 32ක් එක් කරමින් තරගයේ ජය මාවත ළඟා කිරීමට දෙනුර දිමන්සිත් සහ ජනිත් මිහිරංග සමත් වෙනවා. ඔවුන්ගේ සබඳතාව බිඳ වැටෙන්නේ දෙනුර දිමන්සිත් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියා.
තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී ජනිත් මිහිරංග පන්දු 88කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ද සහ දෙනෙත් දේශාන් පන්දු 44කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා 8 වැනි කඩුල්ලේ දී තරගය ජයග්‍රහණය කරා රැගෙන යන්නේ පන්දු 87ක් වැය කරමින් නොදැවුණ ලකුණු 37ක සබඳතාවක් එක් කරමිනුයි.
කඩුලු දවා ගැනීමේ දී සදෙව් නෙත්මිණ ලකුණු 36කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව විශ්මිත සත්සර කඩුලු 2ක් ද සහ මානිත රාජපක්ෂ කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– සියලුම දෙනා දැවී 124 (40.3) රන්දුල මාබරණ 25, මානිත රාජපක්ෂ 36, දෙනෙත් දේශාන් 2/36, නෙතුප සංදිව් 4/23, ඉඳුවර ඔෂද 2/10
- ගුරුකුල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– කඩුලු 7ක් දැවී 128 (10.5)දෙනුර දිමන්සිත් 36, ජනිත් මිහිරංග නොදැවී 45, දෙනෙත් දේශාන් නොදැවී 18, සදෙව් නෙත්මිණ 4/36, විශ්මිත සත්සර 2/20
කැළණිය ගුරුකුල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.