ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ප්‍රබල SSC කණ්ඩායම පරාජය කරමින් 2025 වසරේ ශූරයන් බවට පත් වීමට Malay CC කණ්ඩායම සමත් වෙනවා.
කොළඹ Colts ක්‍රිකට් සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් SSC කණ්ඩායම ලකුණු 100කට සීමා කිරීමට Malay CC පන්දු යවන්නෝ සමත් වූ අතර ඔවුන් එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගන්නවා.
Malay CC කණ්ඩායම
සුදාර දක්ශින (නායක), හිරන්ත ජයසිංහ, කාවින්ද ඊශ්වර, කවීෂ සත්සර, බුද්ධික හසරංග, කෙවින් සැමුවෙල්, වෝෂිත අමරසිංහ, පුලස්ති අතපත්තු (කඩුලු රකින්නා), ටෙරන් බාස්කරන්, තිමිර මල්ශාන් සහ චානක දේවින්ද.
SSC කණ්ඩායම
අවිශ්ක ප්‍රනාන්දු (නායක), ක්‍රිශාන් සංජුල (කඩුලු රකින්නා), චමිඳු වික්‍රමසිංහ, දසුන් ශානක, දිනුර කළුපහන, චරිත් අසලංක, නුවනිඳු ප්‍රනාන්දු, කවිඳු නදීශාන්, මල්ශාන් ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන් සහ ගිහාන් බාලසූරිය.
කාසියේ වාසිය දිනා ගත් Malay CC කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව SSC කණ්ඩායම සතු කළ අතර ඒ අනුව එම ඉනිම ආරම්භ කරන්නේ චමිඳු වික්‍රමසිංහ සහ ක්‍රිශාන් සංජුල විසිනුයි. ඔවුන්ට සිතූ දෙයක් කරන්නට Malay CC කණ්ඩායම ඉඩ ලබා දුන්නේ නැහැ.
පළමු පන්දු වාරයේ තෙවැනි පන්දුවේ දී ක්‍රිශාන් සංජුල (0) ගේ කඩුල්ල දවා ගනිමින් තරගය තමන්ගේ පාලනයට නතු කර ගැනීමට Malay CC ක්‍රීඩකයෝ සමත් වෙනවා. එම කඩුල්ලෙන් අනතුරු ව යැවුණ 14 වැනි පන්දුවේ දී අනෙක් ආරම්භක පිතිකරු චමිඳු වික්‍රමසිංහ ද ඔවුන්ගේ ගොදුරක් බවට පත් වෙනවා. ඒ වෙද්දී චමිඳු වික්‍රමසිංහ ලබා සිටියේ ලකුණු 9ක් පමණයි.
ඉන් අනතුරු ව දසුන් ශානක, දිනුර කළුපහන, චරිත් අසලංක සහ නුවනිඳු ප්‍රනාන්දු SSC ඉනිම ගොඩ ගැනීමට උත්සාහ කළ ද ඔවුන්ට ද සිදු වූයේ Malay CC පන්දු යවන්නන් හමුවේ අසරණ වීමටයි.
දසුන් ශානක පන්දු 12කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 16කට ද, දිනුර කළුපහන පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19කට ද, චරිත් අසලංක පන්දු 4කට මුහුණ දෙමින් ලකුණු 2කට ද සහ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 6කට ද තම ඉනිම නිමා කර ගත්තා.
SSC කණ්ඩායමේ ලකුණු පුවරුව වරෙක කඩුලු 5කට ලකුණු 55ක් ලෙසින් ද සටහන් වුනා. එලෙසින් අසරණ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක අවිශ්ක ප්‍රනාන්දු. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.
මල්ශ ප්‍රනාන්දු (3), ප්‍රමෝද් මදුශාන් (0) සහ ගිහාන් බාලසූරිය (0) ද අඩු ලකුණුවලට සීමා වෙද්දී, ඉනිමේ තවත් පන්දු 2ක් ඉතිරි ව තිබිය දී කවිඳු නදිශාන් පන්දු 12කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 8ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී තිමිර මල්ශාන් ලකුණු 21කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව චානක දේවින්ද සහ කාවින්ද ඊශ්වර කඩුලු ද්විත්වය බැගින් දවා ගනිද්දී කවීශ සත්සර ද කඩුල්ලක් දවා ගත්තා.
- Major Clubs T20 තරගාවලියේ පළමු වටය නිමාවෙයි
- SSC සහ Malay අවසන් මහා තරගයට
- ක්‍රිකට් නීති රැසක් වෙනස් කිරීමට ICC සූදානම් වෙයි!
- මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි!
- NSL පිටියේ රණ ශූරයෝ
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Malay CC ක්‍රීඩකයෝ වඩාත් විශ්වසනීය ඉනිමක් ගොඩ නගනු දක්නට ලැබුණා. ඉනිම ආරම්භ කළ හිරන්ත ජයසිංහ සහ කාවින්ද ඊශ්වර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 29ක දී ලකුණු 32ක සබඳතාවක් ගොඩ නගනවා.
කාවින්ද ඊශ්වර පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. අනතුරු ව Malay CC ලකුණු පුවරුවට ලකුණු 50 එක් වූ සැනෙකින් හිරන්ත ජයසිංහ ගේ කඩුල්ල ද බිඳ වැටෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා සිටියා.
3 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 2ක් පමණක් වෙද්දී කවීශ් සත්සර ලකුණු 4කට දැවී ගිය අතර ඉන් අනතුරු ව සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47ක දී ලකුණු 34ක සබඳතාවක් ගොඩ නගමින් තරගය ජයග්‍රහණය ආසන්නයට ගෙන ඒමට බුද්ධික හසරංග සහ කෙවින් සැමුවෙල් සමත් වෙනවා.
කෙවින් සැමුවෙන් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18කට දැවී යන අතර අනතුරු ව පිටියට පිවිසි වෝෂිත අමරසිංහ හා එක් වූ බුද්ධික හසරංග Malay CC ඉනිමේ තවත් පන්දු 10ක් ඉතිරි ව තිබිය දී තරගය ජයග්‍රහණය කරා ගෙන ගියා.
ඒ වෙද්දී බුද්ධික හසරංග පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද සහ වෝෂිත අමරසිංහ පන්දු 7කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 7ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී චරිත් අසලංක, කවිඳු නදිශාන් සහ දසුන් ශානක කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- SSC– සියලුම දෙනා දැවී 100 (19.4) දසුන් ශානක 16, දිනුර කළුපහන 19, අවිශ්ක ප්‍රනාන්දු 35, තිමිර මල්ශාන් 3/21, කාවින්ද ඊශ්වර 2/21, චානක දේවින්ද 2/14
- Malay CC– කඩුලු 4ක් දැවී 101 (18.2) හිරන්ත ජයසිංහ 19, කාවින්ද ඊශ්වර 26, බුද්ධික හසරංග නොදැවී 25, කෙවින් සැමුවෙල් 18
Malay CC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
- අවසන් මහා තරගයේ වීරයා – කාවින්ද ඊශ්වර (Malay CC)
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – අමිත කෞශල්‍ය (Galle CC)
- තරගාවලියේ දක්ෂතම පිතිකරු – දෙනුවන් රාජකරුණා (United Southern CC)
- තරගාවලියේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු(SSC)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.