Greens ක්‍රීඩකයෝ විස්සයි විස්ස ශූරතාව දිනා ගනී

119
SLC T20 League 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ විස්සයි විස්ස League ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Greens කණ්ඩායම අද (16) සමත් වුණා. ඔවුන් මෙම ජයග්‍රහණය ලබා ගන්නේ තරගාවලියේ අපරාජිත ව සිටිමින් වීම විශේෂත්වයක්.

Green කණ්ඩායම සහ Greys කණ්ඩායම අතර කොළඹ SSC පිටියේ පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් Greys කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Green ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 189ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි Greys ක්‍රීඩකයෝ තම ඉනිමට කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 166ක් පමණයි.

Team Greys

චරිත් අසලංක (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), ලහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, චමිඳු වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු සහ එශාන් මාලිංග.

Team Greens

කමිඳු මෙන්ඩිස් (නායක), කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), පවන් රත්නායක, දුශාන් හේමන්ත, ට්‍රෙවින් මැතිව්, නුවන් තුෂාර, දුශ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Greens කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවේ දී ම දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා. ඒ කමිල් මිෂාර තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම  දුවද්දී දවා ගනිමිනුයි.

නමුත් ඒ අවාසනාවන්ත තත්ත්වය මඟ හරවා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ සහ භානුක රාජපක්ෂගේ දක්ෂතා ඉවහල් වුණා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 41ක දී ලකුණු 56ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ භානුක රාජපක්ෂ පන්දු 16ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟිනුයි.

ඉන් අනතුරු ව කුසල් මෙන්ඩිස් හා එක් වූ සදීර සමරවික්‍රම 3 වැනි කඩුල්ලට පන්දු 33ක දී ලකුණු 55ක සබඳතාවක් එක් කරනවා. එම සබඳතාව බිඳ වැටෙන්නේ කුසල් මෙන්ඩිස් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 77ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ සිව් වැනි පන්දුවේ දී පවන් රත්නායක එක් ලකුණකට දැවී යනවා.

අනතුරු ව ඉනිම අවසන් වන විට තම කඩුලු ආරක්ෂා කර ගෙන සිටීමට සදීර සමරවික්‍රම සහ නායක කමිඳු මෙන්ඩිස් සමත් වෙනවා. ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ලට පන්දු 41ක දී නොදැවුණ ලකුණු 77ක සබඳතාවක් ගොඩ නගනවා.

Greens ඉනිම අවසන් වන විට සදීර සමරවික්‍රම පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබා සිටියා. කමිඳු මෙන්ඩිස් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 42ක්. ඒ සඳහා ඔහු පන්දු 23කට මුහුණ දී සිටි අතර ඊට හතරේ පහර 6ක් සහ හයේ පහරක් එක් කරගෙන තිබුණා.

කඩුලු දවා ගැනීමේ දී විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 45කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව රමේෂ් මෙන්ඩිස් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Greys ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 70ක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ දිනේෂ් චන්දිමාල් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියා.

ඉන් අනතුරු ව ලහිරු උදාර එක් ලකුණකට දැවී යන අතර ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් නිරෝෂන් දික්වැල්ල දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව Greys ඉනිමට වැඩිම ලකුණු ප්‍රමාණයක් එක් කළ පිතිකරු වූයේ නායක චරිත් අසලංක. ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගන්නවා. ඊට අමතර ව රමේෂ් මෙන්ඩිස් පන්දු 12කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 14ක් සහ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සමගින් ලකුණු 13ක් ලබා ගන්නවා.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි චමිඳු වික්‍රමසිංහ (1) සහ මහීෂ් තීක්ෂණ (7) අඩු ලකුණුවට සීමා වූ අතර Greys ඉනිම අවසන් වන විට විජයකාන්ත් වියස්කාන්ත් නොදැවී ලකුණු 9ක් ද සහ බිනුර ප්‍රනාන්දු නොදැවී ලකුණු 4ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී චාමික කරුණාරත්න ලකුණු 24කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර කමිඳු මෙන්ඩිස් සහ දුශ්මන්ත චමිර කඩුලු 2ක් බැගින් ද සහ කමිල් මිෂාර කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Greens – කඩුලු 4ක් දැවී 189 (20.0) කුසල් මෙන්ඩිස් 77, භානුක රාජපක්ෂ 18, සදීර සමරවික්‍රම නොදැවී 49, කමිඳු මෙන්ඩිස් නොදැවී 42, විජයකාන්ත් වියස්කාන්ත් 2/45

 

Team Greys – කඩුලු 8ක් දැවී 166 (20.0) දිනේෂ් චන්දිමාල් 36, නිරෝෂන් දික්වැල්ල 50, චරිත් අසලංක 21, දුෂ්මන්ත චමීර 2/26, කමිඳු මෙන්ඩිස් 2/25, චාමික කරුණාරත්න 3/24

Team Greens කණ්ඩායමට ලකුණු 23ක ජයක්.

  • අවසන් මහා තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස් (Team Green)
  • තරගාවලියේ වීරයා – චාමික කරුණාරත්න (Team Green)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<