දික්වැල්ල සහ කමිල් අර්ධ ශතක ලබා ගනී

SLC T20 League 2025

57
10th August

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන විස්සයි විස්ස League ක්‍රිකට් තරගාවලියේ 3 වැනි තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Greens ක්‍රීඩකයෝ අද (08) සමත් වුණා.

කොළඹ SSC පිටියේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Greens කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Greys ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 163ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි Greens කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 165ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

Team Greens

 

කමිඳු මෙන්ඩිස් (නායක), කමිල් මිෂාර (කඩුලු රකින්නා), ලසිත් කෲස්පුල්ලේ, භානුක රාජපක්ෂ, සදීර සමරවික්‍රම, චාමික කරුණාරත්න, දුශාන් හේමන්ත, ට්‍රෙවින් මැතිව්, නුවන් තුෂාර, දුශ්මන්ත චමීර සහ පවන් රත්නායක.

 

Team Greys

 

චරිත් අසලංක (නායක), නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), දිනේෂ් චන්දිමාල්, ලහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, චමිඳු වික්‍රමසිංහ, රමේෂ් මෙන්ඩිස්, විජයකාන්ත් වියස්කාන්ත්, මහීෂ් තීක්ෂණ, එශාන් මාලිංග සහ බිනුර ප්‍රනාන්දු.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Greys කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණා. ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ලේ දී ම පන්දු 27කට ලකුණු 39ක සබඳතාවක් එක් කිරීමට දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල සමත් වෙනවා. එහි දී දිනේෂ් චන්දිමාල් පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමගින් ලකුණු 14ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

අනතුරු ව 2 වැනි කඩුල්ල සඳහා පන්දු 26ක දී ලකුණු 42ක් එක් කිරීමට නිරෝෂන් දික්වැල්ල සහ ලහිරු උදාර සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ලහිරු උදාර ගේ දැවී යෑමත් සමඟිනුයි. ලහිරු උදාර පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ගන්නවා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව දැවී යන්නේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නිරෝෂන් දික්වැල්ල. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නුවනිඳු ප්‍රනාන්දු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ද, චරිත් අසලංක පන්දු 17කට මුහුණ දෙමින් ලකුණු 12ක් ද සහ චමිඳු වික්‍රමසිංහ පන්දු 11ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ද ලබා ගන්නවා.

 Greys ඉනිම අවසන් වෙද්දී රමේෂ් මෙන්ඩිස් පන්දු 9කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද සහ විජයකාන්ත් වියස්කාන්ත් පන්දු 2ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 8ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී කමිඳු මෙන්ඩිස් සහ නුවන් උදාර කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව ට්‍රෙවින් මැතිව් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Greens ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 9ක් වෙද්දී දවා ගැනීමට ප්‍රතිවාදී Greys ක්‍රීඩකයෝ සමත් වූවා. නමුත් එතැන් සිට තරගයේ පාලනය තමන් සතු කර ගනිමින් තරගය අවසන් වීමට තවත් පන්දු 17ක් සහ කඩුලු 5ක් ද ඉතිරි ව තබා ගනිමින් ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගැනීමට Greens ක්‍රීඩකයෝ සමත් වෙනවා.

එහි දී වැඩි කාර්යභාරයක් සිදු කරන්නේ ආරම්භක පිතිකරු කමිල් මිෂාර. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා. ඔහු 2 වැනි කඩුල්ලට භානුක රාජපක්ෂ සමඟ එක් වෙමින් පන්දු 30ක දී ලකුණු 58ක් ද සහ 3 වැනි කඩුල්ලට සදීර සමරවික්‍රම සමඟ එක් වෙමින් පන්දු 32ක දී ලකුණු 55ක් ද තම ඉනිමට එක් කරනවා.

භානුක රාජපක්ෂ පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ද සහ සදීර සමරවික්‍රම පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා ගන්නවා.

ඔවුන්ට අමතර ව පවන් රත්නායක පන්දු 15ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 17ක් ද සහ නායක කමිඳු මෙන්ඩිස් පන්දු 3ක දී ලකුණු 2ක් ද ලබා ගත් අතර තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී චාමික කරුණාරත්න පන්දු 2කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 7ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී විජයකාන්ත වියස්කාන්ත් ලකුණු 24කට කඩුලු 2ක් ද සහ චරිත් අසලංක, බිනුර ප්‍රනාන්දු සහ මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් ද ලබා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Greys – කඩුලු 6ක් දැවී 163 (20.0) නිරෝෂන් දික්වැල්ල 52, ලහිරු උදාර 18, නුවනිඳු ප්‍රනාන්දු 22, චමිඳු වික්‍රමසිංහ 14, නුවන් තුෂාර 2/42, කමිඳු මෙන්ඩිස් 2/14
  • Team Greens – කඩුලු 5ක් දැවී 165 (20.0) කමිල් මිෂාර 52, භානුක රාජපක්ෂ 38, සදීර සමරවික්‍රම නොදැවී 36, පවන් රත්නායක 17, විජයකාන්ත් වියස්කාන්ත් 2/24

Greens කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

මෙම තරගාවලියේ Blues සහ Greens අතර තරගය මේ මස 11 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<