ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ 2017 සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගිය සෙනසුරාදා අවසන් වූ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවති අවසන් මහා තරගයේ දී ගාල්ල කණ්ඩායම පරදවමින් ශූරතාවට හිමිකම් කීවේ දිනේෂ් චන්දිමාල් ප්රමුඛ කොළඹ කණ්ඩායමයි.
චන්දිමාල්ගේ ශතකය කොළඹට කිරුළු පළන්දයි!
අත්දැකීම් වලින් සහ තාක්ෂණයෙන් සන්නද්ධ මැදපෙළ පිතිකරුවෙකුගේ භූමිකාව අකුරටම රඟ දැක්වූ..
සති තුනක් පුරා ඉහළ මට්ටමේ ක්‍රීඩා දස්කම් ප්‍රකට කෙරුණු මෙම තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් හතරේ ක්‍රීඩකයන් 60කට අධික පිරිසක් අතරින් තරගාවලියේ කණ්ඩායම තෝරා ගැනීමට අප දැරූ .උත්සාහයක් මේ.
සධීර සමරවික්‍රම – ගාල්ල

සධීර මෙම තරගාවලියේ වැඩිම හතරේ පහර සංඛ්‍යාවේ (39) වාර්තාවට ද හිමිකම් කියන අතර ඔහුගේ පිතිකරණ දක්ෂතා වලට අමතරව කඩුල්ල පසුපස සිට උඩ පන්දු 9ක් සහ ස්ටම්ප් කිරීම් 8කට දායක වී තිබේ. එබැවින් මෙම කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කරන්නේ ද සධීර සමරවික්‍රමයි.
කුසල් ජනිත් පෙරේරා, ලහිරු මලින්ත සහ සඳුන් වීරක්කොඩි වැනි කඩුලු රකින ආරම්භක පිතිකරුවන්ගෙන් විශාල අභියෝගයක් එල්ල වුව ද, තම ස්ථානය රැක ගන්නට සධීර සමත්ව සිටින්නේ වෙසෙසින්ම ඔහුගේ සුපිරි දක්ෂතා පදනම් කර ගනිමිනුයි.
ඩිල්ශාන් මුණවීර – කොළඹ

තරගාවලිය ආරම්භයේ දී අසාර්ථක ඉනිම දෙකක් අවසන් කළ ද, අවසානයේ තරගාවලියේ 6 වන වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වූ මුණවීර අගනා අර්ධ ශතක 3ක් රැස් කර තිබේ. ගාල්ල කණ්ඩායමට එරෙහිව මූලික වටයේ තරගයක දී ඔහු පන්දු 54කින් ලකුණු 86ක් ලබා ගත්තේ විදුලි ආලෝක මධ්‍යයේ ලකුණු 299ක් හඹා ගොස් තරගාවලියේ සාර්ථකම හඹා යාම වාර්තා කිරීම සඳහා කොළඹ කණ්ඩායමට මග විවර කර දෙමිනුයි.
දිමුත් කරුණාරත්න – ගාල්ල

විශිෂ්ට තාක්ෂණයකින් හෙබි මේ වමත් පිතිකරුවා තරගාවලිය තුල අගනා අර්ධ ශතක 3ක් වාර්තා කරමින් ගාල්ල කණ්ඩායම අවසන් තරගය දක්වා ගෙන එන්නට ඉහළ දායකත්වයක් ලබා දෙන ලදි. තරගාවලියේ තුන්වන වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වෙමින් දිමුත් දැක්වූ ස්ථාවරත්වය හේතුවෙන් භානුක රාජපක්ෂ, කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක වැන්නවුන් අභිබවා මෙම කණ්ඩායමේ අංක 3 ස්ථානය ඔහුට හිමි වීමට හේතු වී ඇත.
දිනේෂ් චන්දිමාල් (නායක) – කොළඹ

චන්දිමාල් මෙම තරගාවලිය තුල ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් පිතිකරණ ස්ථාවරත්වයක් පෙන්නුම් කළා පමණක් නොව පිටියේ දී තම නායකත්ව ගුණාංග ද ඉතා ඉහළින්ම පෙන්වීමට සමත් විය.
ඔහු මෙම කණ්ඩායමේ නායකත්වය සඳහා අනෙක් තරගකරුවන් වන උපුල් තරංග සහ චාමර කපුගෙදර පහසුවෙන් පරාජය කරන්නේ අංක 4 පිතිකරණ ස්ථානය ද හිමි කර ගනිමිනුයි. ලබන මාසයේ දී එංගලන්තයේ පැවැත්වෙන ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියට සූදානම් වීමේ කාල සීමාව තුල චන්දිමාල් පෙන්වූ පිතිකරණ දක්ෂතා නොඅනුමානවම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට මෙන්ම ක්‍රිකට් බලධාරීන් හට ද මහත් සැනසිල්ලක් වනු ඇත.
චාමර කපුගෙදර – මහනුවර

ඔහු මෙම තරගාවලිය තුල ක්‍රීඩා කලේ තරග 4ක් පමණක් වුව ද එහි දී තරග ජයග්‍රහණ සඳහා හේතු වූ ශතක දෙකක් ලබා ගන්නට චාමර සමත් විය. තරග කිහිපයක් අඩුවෙන් ක්‍රීඩා කළ ද තරගාවලියේ සිව්වන වැඩිම ලකුණු ලාභියා ලෙස ඔහු වාර්තා වන්නේ තරග 4 දී ලකුණු 287ක් සමඟ 95.67ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. චාමරගේ ප්‍රහාරාත්මක වේගය 140 ඉක්මවන අතර ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 105 රැස් කරන්නට වැය කර තිබෙන්නේ පන්දු 50ක් පමණි. එම ඉනිම හතරේ පහර 14කින් සහ හයේ පහර 2කින් වර්ණවත් විය.
පාදයේ ආබාධයක් හේතුවෙන් පළමු වටයේ අවසන් තරග දෙකම චාමරට අහිමි වූ අතර ඔහු සමඟින්ම මහනුවර කණ්ඩායමට අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව ද අහිමි විය. කෙසේ වෙතත් තරග දිනවන්නෙකු ලෙස දක්වන දස්කම් හේතුවෙන් සම්මු අශාන්, කිතුරුවන් විතානගේ සහ හර්ෂ කුරේ අභිබවා තීරණාත්මක අංක 5 ස්ථානය හිමි කර ගන්නට චාමර කපුගෙදර සමත්ව තිබේ.
ෂෙහාන් ජයසූරිය – කොළඹ

ෂෙහාන් තම උපක්‍රමශීලී පිට දඟ පන්දුවෙන් කඩුලු 11ක් දවා ගන්නට සමත් වූ අතර එම දක්ෂතාව ඔහුව තරගාවලියේ 3 වන වැඩිම කඩුලු ලාභියා බවට ද පත් කරන්නට හේතු විය. ඔහුගේ හොඳම පන්දු යැවීම දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 29කට කඩුලු 4ක් දවා ගැනීමයි. වේගයෙන් පන්දුවට පහර එල්ල කරන්නෙකු ලෙස නම් දරා සිටිය ද ෂෙහාන් අවසන් තරග දෙකේ දී ම ඉතා මුහුකුරා ගිය මට්ටමේ පිතිකරණ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම කැපී පෙනුණි. දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ස්ථානය සඳහා ෂෙහාන් හට අහියෝග කළ අනෙක් ක්‍රීඩකයන් වන්නේ අශාන් ප්‍රියන්ජන් සහ චතුරංග ද සිල්වා යි.
දසුන් ශානක – ගාල්ල

හයේ පහර 20ක් එල්ල කරමින් මෙවර තරගාවලියේ වාර්තා පොත් අතරට ද එක්වූ දසුන් පන්දුවෙන් ද හොඳ දායකත්වයක් ලබා දීමට සමත් වුනේ දඟ පන්දු බල ඇණියක් වූ ගාලු කණ්ඩායමට තම වේග පන්දුවෙන් කඩුලු 7ක් බිඳ දමා දෙමිනුයි. මේ අනුව වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස තිසර පෙරේරා අභිබවමින් කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීමට දසුන්ට හැකිව තිබේ.
සචිත්ර සේනානායක – කොළඹ

පන්දු වාරයකට ලකුණු 4.42ක විශිෂ්ට ගණයේ දල ලකුණු වේගයක් රඳවා ගත් සචිත්ර ප්‍රතිවාදී පිතිකරුවන් පාලනය කරන්නට දිගින් දිගටම සමත්කම් දැක්වීය. පසු පෙළ පිතිකරුවෙකු ලෙස වරින් වර එල්ල කළ වේගවත් පහර කිහිපයකින් ද කොළඹ කණ්ඩායමේ ශූරතා ගමනට සවියක් වූ ඔහු ගාලු කණ්ඩායමේ අකිල ධනංජය සහ දඹුල්ලේ දිල්රුවන් පෙරේරා අභිබවමින් කණ්ඩායමට ඇතුලත්ව සිටියි.
නුවන් ප්‍රදීප් – මහනුවර

පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවල දී අවසන් පන්දු වාර තුල ඔහු ක්‍රියාත්මක කරන වේගය අඩාල කළ පන්දු සහ යෝකර් පන්දු ඉතා ප්‍රයෝජනවත් විය. එමෙන්ම අවශ්‍ය විට වේගවත් බවුන්සර් පන්දු මගින් පිතිකරුවන් භීතියට පත් කළ නුවන් ප්‍රදීප් ඔහුගේ ටෙස්ට් ආරම්භක පන්දු යැවීමේ සගයා වන සුරංග ලක්මාල් අභිබවමින් මෙම කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු තුරුම්පුව බවට පත්ව සිටියි.
මාලින්ද පුෂ්පකුමාර – ගාල්ල

30 හැවිරිදි පුෂ්පකුමාර පන්දු වාරයකට ලකුණු 4.11ක විශිෂ්ට දල ලකුණු වේගයක් රඳවා ගෙන ඇති අතර බොහෝ පිතිකරණ බල ඇණි වලට අභියෝගයක් වූ ඔහු මූලික අදියරේ තරගයක දී කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 29කට කඩුලු 5ක් දවා ගැනීම මෙම තරගාවලිය තුල දී පන්දු යවන්නෙක් ඉනිමක දී කඩුලු 5ක් බිඳ හෙලූ එකම අවස්ථාවයි. පුෂ්පකුමාර තම විශිෂ්ටත්වයෙන් සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන් සහ අමිල අපොන්සු වැනි ජාතික කණ්ඩායම ද නියෝජනය කළ සියලු වමත් දඟපන්දු යවන්නන් අභිබවා යන්නට සමත් විය.
අසිත ප්‍රනාන්දු – දඹුල්ල

මදක් පැරණි පන්දුව රිවර්ස් ස්වින්ග් කිරීමට සහ පිතිකරු තුලට දෝලනය වන යෝකර් පන්දු යොමු කිරීමේ හැකියාව නිසා ඉනිම පුරාවටම පිතිකරුවන්ට හිසරදයක් බවට පත් වන්නට අසිතට හැකියාව ලැබුණි. ඉහළම මට්ටමේ දී වුවද තමන්ට ඇති හැකියාව ප්‍රදර්ශනය කළ අසිත වඩාත් අත්දැකීම් ඇති ලහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර අභිබවා කණ්ඩායමේ අවසන් ස්ථානය තමන් සතු කර ගෙන තිබේ.
මේ අපේ කණ්ඩායමයි, ඔබේ තේරීම කුමක් ද? ඔබේ ‘තරගාවලියේ කණ්ඩායම’ පහතින් නම් කරන්න.
තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න





















