ෂෙහාන්ගෙන් ශතකයක් සහ කඩුලු දෙකක්

810

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (05) නිමා වූ අතර එහි දී පිට පිටම ලත් දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ නුවර කණ්ඩායම ලකුණු 58කින් පරාජය කරමිනි.

මේ අතර පැවති අනෙක් තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 11ක ජයක් ලබා ගැනීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වූහ. ඔවුන් වෙතින් පරාජයට පත් වූයේ දඹුල්ල ක්‍රීඩකයෝ ය.

දවසේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වීමට කොළඹ කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය සමත් විය. ඔහු පිතිකරණයේ දී ශතකයක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී කඩුලු 2ක් දවා ගත්තේ ය. මීට අමතරව දඹුල්ල කණ්ඩායමේ අශාන් ප්‍රියන්ජන් ශතකයක් ලබා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්විය.

උඩවත්ත නුවරටත්, තිරිමාන්න කොළඹටත් ශතක රැස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කරළියේ වර්තමාන සහ අනාගත තරු එකිනෙකා තම දක්ෂතා මුදාහරිනු ලබන අන්තර්……

කොළඹ සහ නුවර අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 299ක් රැස් කළහ. පිළිතුරු ලෙසින් නුවර කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 241කි.

තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූයේ ෂෙහාන් ජයසූරිය ය. ඔහු ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිස පන්දු 100කට මුහුණ දී හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 110ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී ලකුණු 55කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

කොළඹ කණ්ඩායම වෙනුවෙන් චාමර සිල්වා පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 87ක් වාර්තා කළේය. පන්දු යැවීමේ දී ජීවන් මෙන්ඩිස් ලකුණු 38කට කඩුලු 4ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිමේ කැපී පෙනෙන ක්‍රීඩකයා වූයේ මහේල උඩවත්ත ය. ඔහු පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තේය. ඊට අමතරව නිරෝෂන් දික්වැල්ල ද ඔහුට අනගි සහයෝගයක් ලබා දෙමින් පන්දු 62ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තේ ය.

ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් දිස්ත්‍රික් තරගාවලිය මැයි මාසයේ

ලෝකය තුළ ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ක්‍රිකට් ආකෘතියේ 2018….

නුවර ක්‍රීඩකයන්ගේ ඉලක්ක ගත ඉනිමේ දී මහේල උඩවත්ත සහ නායක ඇන්ජලෝ මැතිව්ස් (27) එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 99ක සබඳතාවක් එක් කිරීම කැපී පෙණුන ද ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 15ක් තුළ බිඳ හෙළීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ.

කඩුලු ලබා ගැනීමේ දී ලක්ෂාන් සඳකැන් ලකුණු 59කට කඩුලු 4ක් ලබා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී, දිල්රුවන් පෙරේරා සහ ෂෙහාන් ජයසූරිය කඩුලු 2 බැගින් බෙදා ගත්හ.

කොළඹ කණ්ඩායම; සියලුම දෙනා දැවී 299 (49.2) ෂෙහාන් ජයසූරිය 110, ලහිරු තිරිමාන්න 25, චාමර සිල්වා 87, ජීවන් මෙන්ඩිස් 4/38

නුවර කණ්ඩායම; සියලුම දෙනා දැවී 241 (43.4)  නිරෝෂණ දික්වැල්ල 60, පැතුම් නිශ්ශංක 22, මහේල උඩවත්ත 71, ඇන්ජලෝ මැතිව්ස් 27, ප්‍රියමාල් පෙරේරා 23, දිල්රුවන් පෙරේරා 2/34, ෂෙහාන් ජයසූරිය 2/55, ලක්ෂාන් සඳකැන් 4/59


දඹුල්ල සහ ගාල්ල අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 257ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම වෙනුවෙන් ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 250ක් ලබා ගනිමින් තරගය ජය ගත්හ. ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තීරණය වූ ලකුණු 11ක ජයග්‍රහණයකි.

තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත 46 වැනි පන්දුවාරයේ දී නතර කිරීමට පිටියේ විනිසුරුවන් කටයුතු කළ අතර එහි දී ගාලු ක්‍රීඩකයන්ගේ ඉලක්කය වී තිබුණේ ලකුණු 240කි.

කාසියේ වාසිය දිනූ ගාලු ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් අශාන් ප්‍රියංජන් පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 101ක් ලබා ගැනීමට සමත් විය.

කඩුලු 4ක් දැවී ලකුණු 52ක්ව තිබූ ඉනිම ගොඩ ගැනීමට 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක සබඳතාවක් එක් කිරීමට අශාන් ප්‍රියංජන් සහ මිලින්ද සිරිවර්ධන සමත් වූහ. මිලින්ද පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේය.

කඩුලු ලබා ගැනීමේ දී දසුන් ශානක ලකුණු 42කට කඩුලු 3ක් දවා ගත් අතර සුරංග ලක්මාල් සහ නිසල තාරක කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි පිතිකරුවන් අතරින් උපුල් තරංග පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 86ක් ලබා ගත්තේය.

කඩුලු ලබා ගැනීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 63කට කඩුලු 3ක් දවා ගත් අතර අමිල අපෝන්සු හිමිකර ගත් කඩුලු සංඛ්‍යාව 2කි.

දඹුල්ල කණ්ඩායම; කඩුලු 8ක් දැවී 257 (50.0) අශාන් ප්‍රියංජන් 101, මිලින්ද සිරිවර්ධන 45, කෝසල කුලසේකර 30, සුරංග ලක්මාල් 2/38, නිසල තාරක 2/47, දසුන් ශානක 3/42

ගාල්ල කණ්ඩායම; කඩුලු 8ක් දැවී 250 (46.0) රමිත රඹුක්වැල්ල 29, උපුල් තරංග 86, රොෂේන් සිල්වා 24, දසුන් ශානක 26, සම්මු අශාන් 26, අසිත ප්‍රනාන්දු 3/63, අමිල අපෝන්සු 2/34

තරගාවලියේ මීළඟ තරග මැයි මස 8 වැනිදා පැවැත්වෙන අතර ඒ අනුව කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ද, දඹුල්ල සහ නුවර කණ්ඩායම් අතර තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ද පැවැත්වීමට නියමිත ය.

මේ තරග අතරින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය සජීවී ව ඔබ වෙත සමීප කරවීමට ThePapare.com කටයුතු යොදා ඇති අතර එම විකාශයන් ඊට සමගාමීව Dialog TV 1 සහ MyTV වෙතින් ද ඔබට නැරඹිය හැකි ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<