ආණ්ඩුකාර කුසලානය බෙදා ගත් වීරයෝ

SLC Governors Trophy 2025

227
SLC Governors Trophy 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Governors Trophy 2025 තරගවාරයේ සම ශූරයන් බවට පත් වීමට Unichela SC සහ Saracens SC කණ්ඩායම් පසුගියදා සමත් වුනා. කොළඹ BRC පිටියේ දී පැවැති තරගාවලියේ අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාදා එල්ල වීම හේතුවෙන් තරගය අතර මඟ දී විසඳුමකින් තොරව අවසන් වුනා. ඒ අනුවයි මෙවර ශූරතාව කණ්ඩායම් 2 අතරේ බෙදී යන්නේ. 

අවසන් මහා තරගය, BRC, ජුනි 14, 2025, Governors Trophy

o කාසියේ වාසිය – Unichela SC

Unichela SC කණඩායම

රත්සර විතාන (නායක), කලන සංදීප්, ජනක සම්පත්, ගිම්හාන් ආශිර්වාද, තෙනුක දේවප්‍රිය, තරිඳු දිලංක (කඩුලු රකින්නා), බෝමෙත් පෙරේරා, චතුර හේමකුමාර පීරිස්, දුලිත් ගයාන්, ඩිල්ශාන් මෙන්ඩිස්, ධනුශ්ක රණසිංහ.

Saracens SC කණ්ඩායම

විනුජ රණසිංහ (නායක), ගිහාන් ලක්ෂිත, මලිත පෙරේරා, රශ්මික මෙවන්, ගවින් බොතේජු (කඩුලු රකින්නා), අචල පෙරේරා, පසිඳු මුණසිංහ, සිනෙත් දිසානායක, කමලරාසන් ඉයලරාසන්, ඔමේෂ් උදාර, මදුශික සඳරුවන්.

වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 40කට සීමා වෙන අතර කාසියේ වාසිය දිනා ගත් Unichela කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරනවා. ඒ අනුව පිටියට පිවිසෙන ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 200ක් ලබා ගැනීමට සමත් වෙනවා.

එම ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 4කට දැවී ගිය ද අනතුරු ව 2 වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් එක් කිරීමට කලණ සංදීප් සහ ගිම්හාන් ආශිර්වාද සමත් වෙනවා. එහි දී කලණ සංදීප් පන්දු 54කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා ගන්නවා. ගිම්හාන් ආශිර්වාද ලබා ගත් ලකුණු සංඛ්‍යාව 33ක්. පන්දු 50කින් එක් වූ එම ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් ඇතුලත් වෙනවා.

Unichela ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ තරිඳු දිලංක. ඔහු ඉනිම අවසන් වන විට පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 63ක් ලබා සිටියා.

ඊට අමතර ව තෙනුක දේවප්‍රිය පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී කමලරාසන් ඉයලරාසන් කඩුලු 2ක් ලබා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඔහුට අමතර ව අචල පෙරේරා, ඔමේෂ් උදාර, සිනෙත් දිසානායක සහ රශ්මික මෙවන් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Saracens කණ්ඩායමට වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 9.1ක දී ලබා ගැනීමට හැකි ව තිබුණේ කඩුලු 4ක් දැවී ලකුණු 44ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් නායක විනුජ රණසිංහ පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ඩිල්ශාන් මෙන්ඩිස් ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ධනුශ්ක රණසිංහ ද එක් කඩුල්ලක් දවා ගත්තා.

SLC Governors

තරගයේ කෙටි ලකුණු පුවරුව

Unichela SC – කඩුලු 7ක් දැවී 200 (40.0) කලන සංදීප් 37, ගිම්හාන් ආශිර්ද 33, තෙනුක දේවප්‍රිය 30, තරිඳු දිලංක නොදැවී 63, කමලරාසන් ඉයලරාසන් 2/35

 

Saracens SC – කඩුලු 4ක් දැවී 44 (9.1) විනුජ රණසිංහ 23, ඩිල්ශාන් මෙන්ඩිස් 3/14

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – නිසංජය හෙට්ටිආරච්චි (Kurunegala SC)

මෙවර තරගාවලියේ වඩාත් දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර වෙන්නේ Kurunegala SC කණ්ඩායමේ නිසංජය හෙට්ටිආරච්චි. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඔහු පිතිකරුවෙක් ලෙසින් ඉනිම 5ක දී ලකුණු 132ක් ද සහ පන්දු යවන්නෙක් ලෙසින් ඉනිම 6ක දී ලකුණු 100කට කඩුලු 12ක් දවා ගැනීමට සමත් වෙනවා.

පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසෙමින් ඔහු ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ Crusaders SC කණ්ඩායමට එරෙහිව පන්දු 61ක දී ලබා ගත් ලකුණු 45යි. ඊට අමතර ව ඔහු Sandalankawa CC කණ්ඩායමට එරෙහි ව පන්දු 35කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 38ක් ද ලබා ගන්නවා.

පන්දු යැවීමේ දී ඔහුගේ හොඳම දක්ෂතාව බවට පත් වෙන්නේ Old Dharmapalians කණ්ඩායමට එරෙහි ව ලකුණු 33කට දවා ගත් කඩුලු 4යි. ඊට අමතර ව Kandy YCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 8කට කඩුලු 2ක්, Hettipola SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 6කට කඩුලු 2ක් සහ Sandalankawa CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 18කට කඩුලු 2ක් ද ඒ අතර තිබෙනවා.

තරගාවලියේ දක්ෂතම පිතිකරු – ගවින් බොතේජු (Saracens SC)

තරගාවලිය පුරා දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතුරින් ගවින් බොතේජු මෙම සම්මානයට හිමිකම් කියන්නේ තරග 8ක දී ලබා ගත් ලකුණු 301ක් හේතුවෙනුයි. ඔහුගේ මෙම දක්ෂතාවේ දී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 60.20ක් ලෙසින් ද රඳවා ගැනීමට සමත් වෙනවා.

ඔහු මෙම ලකුණු ලබා ගැනීමේ දී Air Force කණ්ඩායමට එරෙහි ව පන්දු 77ක දී නොදැවී ලකුණු 81ක්, Old Servatians කණ්ඩායමට එරෙහි ව පන්දු 77කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 65ක් සහ පළමු වටයේ දී Unichels කණ්ඩායමට එරෙහි ව පන්දු 79කට මුහුණ දෙමින් ලකුණු 53ක් ද ලෙසින් අර්ධ ශතක ත්‍රිත්වයක් ද වාර්තා කරනවා.

තරගාවලියේ ඉනිම වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ Kandukara CC කණ්ඩායමේ චේතක දෙනුවන්. ඔහු Kandy CC කණ්ඩායමට එරෙහි ව පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 11ක් සමඟින් ලකුණු 118ක් ලබා ගන්නවා. ඊට අමතර ව තරගාවලියේ ශතක වාර්තා කිරීමට එම කණ්ඩායමේ ම රුසිර රාජපක්ෂ (111), Kurunegala SC කණ්ඩායමේ මුදිත ප්‍රේමදාස (104*) සහ Old Zahiriance SC කණ්ඩායමේ මදුශාන් ගුණසිංහ (104) සමත් වෙනවා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා

  Player Team M Runs Balls HS Ave 100 50
1 ගවින් බොතේජු Saracens SC 8 301 415 81* 60.2 0 3
2 තේනුක දේවප්‍රිය Unichela SC 8 259 349 88 32.4 0 1
3 නෙලුක හේශාන් Old Dharmapalians 8 256 400 64 32.0 0 2
4 මුදිත ප්‍රේමදාස Kurunegala SC 6 244 274 104* 48.8 1 0
5 ගිහාන් ලක්ෂිත Saracens SC 9 241 343 81 34.4 0 2

නිමා වූ තරගාවලියේ දී හතරේ පහර 1209ක් වාර්තා වූ අතර ඒ අතුරින් වැඩිම හතරේ පහර ලබා ගත් කණ්ඩායම බවට පත් වෙන්නේ Saracens SC කණ්ඩායමයි. ඔවුන් තරගාවලිය පුරා හතරේ පහර 117ක් එල්ල කරනවා.

කෙසේ වෙතත් ක්‍රීඩකයන් අතුරින් වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ Kandukara CC කණ්ඩායමේ නුවන් මෙන්ඩිස් ඔහු හතරේ පහර 30ක් එල්ල කරනවා. Saracens SC කණ්ඩායමේ ගිහාන් ලක්ෂිත හතරේ පහර 29ක් ද සහ එම කණ්ඩායමේ ම ගවින් බොතේජු හතරේ පහර 25ක් ද එල්ල කරමින් එම ලැයිස්තුවේ 2 වැනි සහ 3 වැනි ස්ථානවලට පත් වෙනවා.

එමෙන් ම සමස්ත තරගාවලියේ හයේ පහර 369ක් වාර්තා වන අතර ඒ අතුරින් වැඩිම හයේ පහර සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ Unichela SC කණ්ඩායමයි. එම ලැයිස්තුව ක්‍රීඩකයන් ලෙසින් පෙළ ගැස්වීමේ දී පළමු ස්ථානය හයේ පහර 16ක් එල්ල කළ Kandukara CC කණ්ඩායමේ චේතක දෙනුවන් වෙත ද සහ ඉන් අනතුරු ව හයේ පහර 10ක් බැගින් එල්ල කළ Air Force කණ්ඩායමේ ලෙස්ටර් ජයවීර, Kandukara CC කණ්ඩායමේ නුවන් මෙන්ඩිස් සහ Saracens SC කණ්ඩායමේ බිහඟ මෙන්ඩිස් ලැයිස්තු ගත වෙනවා.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ඩිල්ශාන් මෙන්ඩිස් (Unichela SC)

Unichela SC කණ්ඩායමේ ඩිල්ශාන් මෙන්ඩිස් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වෙන්නේ ඉනිම 8ක දී කඩුලු 18ක් දවා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙනුයි. ඔහුගේ මෙම පන්දු යැවීම් අතර Narammala SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 33කට දවා ගත් කඩුලු 6ක් ද ඇතුලත්.

ඊට අමතර ව ඔහු Saracens SC කණ්ඩායමට එරෙහිව ලකුණු 14කට කඩුලු 3ක් ද සහ Lankan CC කණ්ඩායමට එරෙහිව ලකුණු 21කට කඩුලු 3ක් ලෙසින් ද දවා ගන්නවා. තරගාවලිය අවසන් වන විට ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය ලෙසින් 11.44ක් සටහන් වෙනවා.

තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නන් 5 දෙනා

      M Ov M Runs Wkts Best 4
1 ඩිල්ශාන් මෙන්ඩිස් Unichela SC 8 60.0 3 206 18 6/33 1
2 ඔමේෂ් උදාර Saracens SC 7 46.0 1 218 15 4/32 2
3 සමිත් ඉසුරු Singhe SC 6 41.0 2 230 15 5/42 2
4 රත්සර විතාන Unichela SC 6 46.0 1 209 13 5/31 1
5 නිසංජය හෙට්ටිආරච්චි Kurunegala SC 6 34.0 3 100 12 4/33 1

තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ Old Dharmapalians කණ්ඩායමේ රුචිර සිල්වා. ඔහු Unichela SC කණ්ඩායමට එරෙහි ව පන්දුවාර 9ක් යවමින් ලකුණු 32කට කඩුලු 6ක් දවා ගන්නවා. ඉන් අනතුරු ව එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය ලකුණු 33කට කඩුලු 6ක් දවා ගත් Unichela SC කණ්ඩායමේ ඩිල්ශාන් මෙන්ඩිස් ද සහ 3 වැනි ස්ථානය ලකුණු 35කට කඩුලු 6ක් දවා ගත් Kandy CC කණ්ඩායමේ ඔමේෂ් විද්‍යාරත්න ට ද හිමි වෙනවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<