Hayleys පරාජය කරමින් Maliban Biscuits ජය ගනී

32nd Singer - MCA Super Premier League 2025

96
32nd Singer - MCA Super Premier League 2025

Hayleys Group A කණ්ඩායමට එරෙහි ව කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගත් Maliban Biscuits A කණ්ඩායම MCA Super Premier League ක්‍රිකට් තරගාවලියේ 2025 වසරේ ශූරයන් බවට පත් වීමට සමත් වුණා.

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 32 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ Hayleys Group A කණ්ඩායම සහ Maliban Biscuits A කණ්ඩායම අතර පැවැති අවසන් මහා තරගය (30) කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැතියා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Hayleys Group A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 235ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් Maliban Biscuits A කණ්ඩායම තවත් පන්දු 23ක් ඉතිරි ව තිබිය දී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 239ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.

Hayleys Group A කණ්ඩායම

 

රමේෂ් මෙන්ඩිස් (නායක), නිමේෂ් මදුශ්ක, රොන් චන්ද්‍රගුප්ත, මිනෝද් භානුක (කඩුලු රකින්නා), අහන් වික්‍රමසිංහ, ඉනුක කරන්නාගොඩ, රවිඳු ප්‍රනාන්දු, ලහිරු සමරකෝන්, කවිශ්ක අංජුල, නිසල අබේරත්න සහ ප්‍රභාත් ජයසූරිය.

 

Maliban Biscuits A කණ්ඩායම

 

මිලින්ද සිරිවර්ධන (නායක), හිරාන් ජයසුන්දර, සංගීත් කුරේ, ධනංජය ලක්ෂාන්, දුශාන් විමුක්ති, සහන් ආරච්චිගේ, සනෝජ් දර්ශික, දුශාන් හේමන්ත, රනේෂ් සිල්වා (කඩුලු රකින්නා), උදිත මදුශාන් සහ වනුජ සහන්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Hayleys Group A කණ්ඩායම තම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. එහි දී ආරම්භක පිතිකරුවන් වූ නිශාන් මදුශ්ක සහ රොන් චන්ද්‍රගුප්ත ලකුණු 97ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී පළමුවෙන් ම දැවී යන්නේ නිශාන් මදුශ්ක. ඔහු පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ලබා ගන්නවා.

රොන් චන්ද්‍රගුප්ත ලබා ගත් ලකුණු සංඛ්‍යාව 55ක්. ඒ සඳහා ඔහු පන්දු 56කට මුහුණ දෙන අතර හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් එම ඉනිමට ඇතුලත් කරනවා.

ඊට අමතර ව ඉනුක කරන්නාගොඩ පන්දු 36ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද, අහන් වික්‍රමසිංහ පන්දු 38ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින්ල කුණු 28ක් ද, රවිඳු ප්‍රනාන්දු පන්දු 22ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද සහ නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 47ක දී ලකුණු 22ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී දුශාන් හේමන්ත ලකුණු 45කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවිම වාර්තා කළ අතර ඊට අමතර ව ධනංජය ලක්ෂාන් සහ සහන් ආරච්චිගේ කඩුලු ද්විත්වය බැගින් ද උදිත් මදුශාන් සහ දුශාන් විමුක්ති කඩුල්ල බැගින් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Maliban Biscuits A කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ධනංජය ලක්ෂාන්. ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා.

ඔහු සංගීත් කුරේ හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 74ක දී ලකුණු 58ක සබඳතාවක් ද එක් කරනවා. සංගීත් කුරේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 33ක්. ඔහු ඒ වෙනුවෙන් පන්දු 42කට මුහුණ දෙන අතර හතරේ පහර 5ක් ද එම ඉනිමට ඇතුලත් වුණා.

ඊට අමතර ව දුශාන් විමුක්ති පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා. ඔහු සහන් ආරච්චිගේ සමඟ 4 වැනි කඩුල්ලට පන්දු 88ක දී ලකුණු 54ක සබඳතාවක් ද එක් කරනවා. සහන් ආරච්චිගේ පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායක මිලින්ද සිරිවර්ධන පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී කවිශ්ක අංජුල ලකුණු 46කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව ඉනුක කරන්නාගොඩ, ප්‍රභාත් ජයසූරිය සහ නිසල අබේරත්න කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Hayleys Group A කණ්ඩායම – සියලුම දෙනා දැවී 235 (49.1) නිශාන් මදුශ්ක 40, රොන් චන්ද්‍රගුප්ත 55, අහන් වික්‍රමසිංහ 28, රමේෂ් මෙන්ඩිස් 22, ඉනුක කරන්නාගොඩ 29, රවිඳු ප්‍රනාන්දු 27, ධනංජය ලක්ෂාන් 2/32, සහන් ආරච්චිගේ 2/44, දුශාන් හේමන්ත 3/45
  • Maliban Biscuits A කණ්ඩායම – කඩුලු 7ක් දැවී 239 (46.1) සංගීත් කුරේ 33, ධනංජය ලක්ෂාන් 41, දුශාන් විමුක්ති 37, සහන් ආරච්චිගේ 24, මිලින්ද සිරිවර්ධන 41, කවිශ්ක අංජුල 2/46

Maliban Biscuits A කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<