T20 ලෝක කුසලානය ඉලක්ක කර ශ්‍රී ලංකාවට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්!

3
R.sridhar appointed as new sri lanka fielding coach

ඉන්දීය පුහුණුකරුවකු වන R.Sridhar ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්වීම් ලබා තිබෙනවා.

2026 විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් මෙම නව වගකීම් ලබා දීම සිදු කර ඇති අතර, ඔහු විසින් මීට පෙර මෙම වසරේ දී මුල් භාගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවෙන් දින දහයක වැඩමුළුවක් ද ක්‍රියාත්මක කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හැම විටම සහජ දක්ෂතාවෙන් යුත්, ඔරොත්තු දීමේ හැකියාව සහ සාමූහික බව මුල් කර ගත් පිරිසක්. මෙතන දී මගේ වගකීම වෙන්නේ අලුත් පද්ධතියක් නිර්මාණය කිරීම නෙවෙයි, පන්දු රැකීම ස්වභාවිකව වැඩිදියුණු වන අන්දමේ පරිසරයක් නිර්මාණය කිරීමයි.

සිය නව වගකීම පිළිබඳ අදහස් පළ කරමින් Sridhar එසේ සඳහන් කර තිබුණා.

2014 – 2021 කාල සීමාව තුළ ඉන්දීය ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ජාත්‍යන්තර තරග 300කට අධික ප්‍රමාණයක් වෙනුවෙන් සිය දායකත්වය සපයා ඇති Sridharගේ වගකීම් කාලය පසුගිය දෙසැම්බර් 11 සිට එළඹෙන 2026 මාර්තු 10 තෙක් වලංගු වනු ඇති.

එමෙන්ම මෙහි දී විස්සයි විස්ස ලෝක කුසලානයට අමතරව ඉදිරියේ දී ශ්‍රී ලංකාව සංචාරය කිරීමට නියමිත පාකිස්තාන සහ එංගලන්ත තරගාවලි වල දී ද Sridharගේ විශේෂඥ සහය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමි වනු ඇති.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<