ධනංජය ලක්ෂාන් තුන් ඉරියව් දක්ෂතා දක්වයි

National Super League 4 day Tournament 2025

53
NSL - 21st April

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි සතියේ 2 වැනි දිනයේ දී (21) කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වීමට කොළඹ කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් සමත් වෙනවා.

ඔහු තම පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීමත් සහ ලකුණු 3000 සමාජයටත් එක් වීමට එක ම දිනයක දී සිදුවීම විශේෂත්වයක්.

  • ගාල්ල සහ කොළඹ අතර තරගය කොළඹ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් කොළඹ කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරද්දී කඩුලු 7ක් දැවී ලකුණු 265ක් ලබා සිටි අතර අද ඔවුන් තම පළමු ඉනිමට ලකුණු 435ක් ලබා ගත්තා.

 එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ නොදැවී ලකුණු 56ක් ලබා සිටි රමේෂ් මෙන්ඩිස් අද පන්දු 188කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 72ක් ලබා සිටිය දී දැවී ගියා.

ඊට අමතර ව නිසල තාරක පන්දු 159කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 76ක් ද සහ දිලුම් සුදීර පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ද ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 9 වැනි කඩුල්ලට පන්දු 211ක දී ලකුණු 114ක් ලබා ගැනීමට ද සමත් වුනා.

කඩුලු දවා ගැනිමේ දී ධනංජය ලක්ෂාන් ලකුණු 99කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීමයි.

ඔහුට අමතර ව සනෝජ් දර්ශික, නිශාන් පීරිස්, ප්‍රමෝද් මදුශාන්, අක්මාල් ෆස්ලි සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 85ක් ලබා සිටියා. එහි දී ධනංජය ලක්ෂාන් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තා. ඒ සමඟින් ම ඔහු තම පළමු පෙළ තරග දිවියේ ලකුණු 3000 කඩඉම පසු කිරීමට ද සමත් වෙනවා.

ඔහුට අමතර ව අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 28ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 101ක දී නොදැවුණ ලකුණු 85ක් එක් කළා.

දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය නිසල තාරක සතු වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 435 (136.2) දිනේෂ් චන්දිමාල් 132, දුනිත් වෙල්ලාලගේ 21, රමේෂ් මෙන්ඩිස් 72, නිසල තාරක 76, දිලුම් සුදීර නොදැවී 66, ධනංජය ලක්ෂාන් 5/99
  • කොළඹ – පළමු ඉනිම කඩුල්ලක් දැවී 85 (17.1) අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 28, ධනංජය ලක්ෂාන් නොදැවී 53

මෙම තරගය හෙට (22) 3 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

 

  • දඹුල්ල සහ යාපනය අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය කණ්ඩායම පළමු දිනය අවසන් වන විට ඔවුන්ගේ පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 206ක් ලබා සිටි අතර අද ඔවුන් එම ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 418ක් දක්වා රැගෙන ගියා.

එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ ලකුණු 100ක් ලබා සිටි ආරම්භක පිතිකරු රවිඳු රසාන්ත අද තම ඉනිම ලකුණු 120 දී නිමා කර ගත්තා. ඒ වෙද්දී ඔහු පන්දු 229කට මුහුණ දී සිටි අතර හතරේ පහර 13ක් ඊට ඇතුලත් කරගෙන තිබුණා.

ඔහුට අමතර ව පෙර දින නොදැවී ලකුණු 63ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් අද තම ඉනිමට එක් ලකුණක් පමණක් එක් කර ගනිමින් දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 64ක් ලබා තිබුණා.

නායක ජනිත් ලියනගේ තම කණ්ඩායමට එක් කළ ලකුණු සංඛයාව 79ක්. නොදැවී ලබා ගත් එම ලකුණු සංඛ්‍යාවට පන්දු 102ක් වැය ව තිබූ අතර හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඊට ඇතුලත් වුනා.

ඔහු, නිරෝෂන් දික්වැල්ල සමඟ 5 වැනි කඩුල්ලට පන්දු 125කට මුහුණ දෙමින් ලකුණු 126ක් ලබා ගත්තා. නිරෝෂන් දික්වැල්ල පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දුලාජ් සමුදිත සහ අකිල ධනංජය කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව දිනුර කළුපහන, චමිඳු විජේසිංහ සහ ඉනුක කරන්නාගොඩ කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 54ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් නිශාන් මධුශ්ක පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ලබා සිටි අතර රොන් චන්ද්‍රගුප්ත පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටිය දී දැවී ගියා.

දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය නිමේෂ් විමුක්ති සතු වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • යාපනය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 418 (107.0) රවිඳු රසාන්ත 120, තනුක දාබරේ 33, ඇන්ජලෝ මැතිව්ස් 64, ජනිත් ලියනගේ නොදැවී 79, නිරෝෂන් දික්වැල්ල 70, දුලාජ් සමුදිත 3/88, අකිල ධනංජය 3/164
  • දඹුල්ල – පළමු ඉනිම කඩුල්ලක් දැවී 54 (10.0) නිශාන් මධුශ්ක නොදැවී 23, රොන් චන්ද්‍රගුප්ත 20

මෙම තරගය හෙට (22) 3 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<