ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තරග 2-0කින් පෙරමුණ ගනී

New Zealand A tour of Sri Lanka

3
New Zealand A tour of Sri Lanka

ශ්‍රී ලංකා සහ නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් තිබිය දී ම තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (8) සමත් වෙනවා.

දෙරට අතර පැවැති පළමු තරගය ලකුණු 140කින් ජයග්‍රහණය කළ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 44කින් ජය ගන්නවා. ඒ අනුව ඔවුන් මේ වන විටත් තරගාවලිය 2-0ක් ලෙසින් පෙරමුණ ගත්තා.

>>ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 140ක ජයක්

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කරගනිමින් කඩුලු 9ක් දැවී ලකුණු 368ක් ලබා ගන්නවා.

එම ඉනිම වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරගවල 6 වැනි ශතකයයි.

ඔහු නායක සහන් ආරච්චිගේ හා එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 90ක සබඳතාවක් ද ගොඩ නගනවා. පෙර තරගයේ දී ද අර්ධ ශතකයක් වාර්තා කළ සහන් ආරච්චිගේ මෙම තරගයේ දී ද එම දක්ෂතාව ම සිදු කිරීමට සමත් වෙනවා. ඔහු ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තා.

ඔහු එම කඩුල්ලට දැවී යද්දී සොනාල් දිනූෂ හා එක් ව ලකුණු 70ක සබඳතාවක් ද එක් කළා. සොනාල් දිනූෂ 8 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟන් ලකුණු 93ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී  Tim Pringle කඩුලු 3ක් ද සහ Adithya Ashok කඩුලු ද්විත්වයක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායමේ ඉලක්කය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 28ක දී ලකුණු 203ක් බවට පත් වෙනවා. නමුත් තරගය අවසන් වෙද්දී ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 3ක් දැවී ලකුණු 158ක් පමණයි.

එම ඉනිම ආරම්භ කළ Tim Robinson සහ Dale Phillips එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 29ක දී ලකුණු 36ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Tim Robinson පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 27කට දැවී යෑමත් සමඟිනුයි.

අනතුරු ව Dale Phillips සමඟින් 2 වැනි කඩුල්ලට එක් වෙන්නේ Curtis Heaphy. ඔවුන් දෙදෙනා එක් ව පන්දු 76ක දී ලකුණු 58ක සබඳතාවක් ගොඩ නගමින් තරගය තියුණු මුහුණුවරකට ගෙන ඒමට උත්සාහ කළ ද Dale Phillips ගේ දැවී යෑමත් සමඟින් ඔවුන්ට තරමක් පසු බැසීමට සිදු වෙනවා.

ඒ වෙද්දී Dale Phillips හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 34ක්.

තරගය අවසන් වන විට Curtis Heaphy පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මිලාන් රත්නායක, රවිඳු ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මදුශංක කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම– කඩුලු 9ක් දැවී 368 (50.0) ලසිත් කෲස්පුල්ලේ 103, නුවනිඳු ප්‍රනාන්දු 20, සහන් ආරච්චිගේ 74, සොනාල් දිනූෂ 93, Tim Pringle 3/58, Adithya Ashok 2/60
  • නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම– කඩුලු 3ක් දැවී 158 (28.0)Tim Robinson 27, Dale Phillips 34, Curtis Heaphy නොදැවී 53

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 44ක ජයක්.

දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන 3 වැනි සහ අවසන් එක්දින සීමිත පන්දුවාර තරගය මේ මස 11 වැනිදා හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<