ICC චැම්පියන්ස් කුසලාන තරඟාවලිය සඳහා 15 දෙනෙකුගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම සඳහා ඉතිරි වී ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස තෝරා ගත හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පිළිබඳව ThePapare.com සිදු කරන විශ්ලේෂණාත්මක විමසා බැලීමකුයි මේ.
කොදෙව් යෝධයා රාජ්කොට් පිටිය දෙවනත් කරයි; ජය බැංගලෝරයට
මෙවර අයි.පී.එල්. තරගාවලියේ පැවති වැඩිම ලකුණු වාර්තා වු තරඟය ඊයේ (18) රාජ්කොට් හිදී ක්‍රියාත්මක විය.
අතීතයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණ ස්ථාන සඳහා ඉතා ප්‍රබල සුසංයෝග කිහිපයක් පැවතුනි. කෙසේ වෙතත් මෑත කාලීනව මෙරට ක්‍රිකට් බලධාරීන්ට තිබූ ප්‍රධාන හිසරදයක් බවට පත් වුනේ ආරම්භක ස්ථානය සඳහා මැනවින් ගැලපෙන පිතිකරුවන් යුගලයක් සොයා ගැනීමයි. පසුගිය මාස 12ක පමණ කාලය තුල ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස විවිධ ක්‍රීඩකයන් යුගල දුසිම් භාගයක් පමණ යොදා අත්හදා බැලීම් කරන ලදි.
ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ ඉතාම ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුතු තේරීම් කමිටුව ආරම්භක පිතිකරුවන් තිදෙනෙකු පමණක් සංචාරක කණ්ඩායම වෙත ඇතුලත් කරගැනීම සඳහා අවධානය යොමු කරන අතරතුර, මෙම ලිපිය මගින් එම ස්ථාන සඳහා තෝරා ගැනීමේ විභවය සහිත ක්‍රීඩකයන් 6 දෙනෙකු පිළිබඳ විමසා බැලෙනු ඇත.
උපුල් තරංග

නායකත්වය දැරූ තරග 13න් තරග 7ක දී ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ ඔහු එහි දී ලකුණු 302ක් ලබා සිටින අතර දකුණු අප්‍රිකාවට එරෙහිව රැස් කළ ලකුණු 119 ඒ අතරින් කැපී පෙනෙයි. එංගලන්තයේ දී ලකුණු 70කට ආසන්න ලකුණු සාමාන්‍යයකට හිමිකම් කියන තරංග 2006 වසරේ දී වත්මන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සමඟ එක්ව එංගලන්ත පන්දු යවන්නන්ට ඉගැන්වූ අමතක නොවන පාඩමෙන් පිටුවක් නැවත ලිවීමේ බලාපොරොත්තුවෙන් පසු වනු නොඅනුමානය.
ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ වගකීම සඳහා නැවත පැමිණි පසු පිතිකරණ වගකීම පමණක් ඉතිරි වන බැවින් ඔහුට වඩාත් නිදහස්ව තම සුපුරුදු තරඟ රටාව දියත් කිරීමේ හැකියාව පවතියි. එබැවින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණ යුගලයේ අනිවාර්ය වගකීමක් උපුල් තරංග හට හිමිවනු ඇති බව විශ්වාස කළ හැකිය.
කුසල් ජනිත් පෙරේරා

ටෙස්ට් තරග රැසක දී ලකුණු අතරට පැමිණීමට අසමත් වීමත්, ආබාධත් හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය අහිමි කර ගත් කුසල් තම නැවත පැමිණීම සටහන් කළේ බංග්ලාදේශය සමඟ පැවති පළමු පන්දුවාර 20 තරඟයේ දී අගනා ලකුණු 77ක් ලබා ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත් වෙමිනුයි.
දෙවරක් එංගලන්තයේ සංචාරය කර තිබෙන කුසල් එරට පැවති එක්දින තරග 11ක දී වාර්තා කිරීමට සමත්ව සිටින්නේ ලකුණු 11.72ක සාමාන්‍යයක් පමණයි. 2013 වසරේ දී එක්සත් රාජධානියේ දී ම පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දී ඔහු ලබා ගත්තේ ලකුණු 14ක් පමණක් වීම ද, ඔහුගේ අවසන් එක්දින තරගාවලිය වූ සිම්බාබ්වේ සංචාරයේ දී තරග 5ක් තුල ලකුණු 46ක් පමණක් ලබා ගැනීම ද හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයට ඇතුලත් වීමේ සම්භාවිතාව තේරීම් කමිටුවේ ඉදිරි දැක්ම මත රඳා පවතිනු ඇත.
නිරෝෂන් දික්වැල්ල

වම් අතේ සිදුවූ සියුම් අස්ථි බිඳීමක් හේතුවෙන් බංග්ලාදේශ සීමිත පන්දු වාර තරගාවලි දෙකම අහිමි කර ගත් දික්වැල්ල, මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බව වාර්තා වෙයි. හිටපු ත්‍රිත්ව විද්‍යාලයීය නායක දික්වැල්ල සුපිරි පළාත් එක්දින තරගාවලියේ සංචිතයකට ඇතුලත්ව නොසිටිය ද, හෙට (20) නැවත තරඟාවලිය ආරම්භ වන විට ඊට එක්වනු ඇති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ වුවහොත් තම සූදානම ප්‍රදර්ශනය කිරීමට එය ඔහුට හොඳ අවස්ථාවක් වනු ඇත.
දික්වැල්ල – තරංග ආරම්භක සුසංයෝගය දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති 4 වන එක්දින තරගයේ දී කැපී පෙනුණේ පළමු පන්දුවාර 10 තුල ලකුණු 100ක් එක් කරමිනුයි. එය 2001 වසරෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ දෙවන හොඳම ආරම්භයයි. මේ කරුණු සලකා බලා තේරීම් කමිටුව විසින් NCC ආරම්භක පිතිකරුවන් එංගලන්තයේ දී ශ්‍රී ලංකා ආරම්භක සුසංයෝගය බවට පත් කරනු ඇති ද?
ධනුෂ්ක ගුණතිලක

ශ්‍රී ලංකා ‘A’ සහ SSC කණ්ඩායම් වෙනුවෙන් විශිෂ්ට පිතිකරණ දක්ෂතා පෙන්වූ නමුත්, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු ලෙස ස්ථාවරත්වයක් ඔහුට හිමිවී නැත. ධනුෂ්කගේ පන්දු රැකීමේ ඇති විශිෂ්ටත්වය හේතුවෙන් ඔහුට කණ්ඩායමට ඇතුලත් වීමේ වැඩි වාසියක් පැවතුණ ද, තේරීම් කමිටුව ආරම්භක පිතිකරුවන්ගේ ස්ථාවරත්වය පිළිබඳව ද අවධානය යොමු කරනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ ධනුෂ්ක පිළිබඳව ඉතා ඉහළින් කතා කරමින් පැවසුවේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණ ප්‍රශ්නයට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස ඔහුව හඳුනාගෙන ඇති බවයි. එබැවින් ධනුෂ්ක එංගලන්තයේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරුණු ඇති ද?
ධනංජය ද සිල්වා

ආරම්භක පිතිකරුවකුට සුදුසු තාක්ෂණයකින් සහ මානසික යෝග්‍යතාවයෙන් යුතු වුව ද ධනංජය පිතිකරණ ලැයිස්තුවේ විවිධ ස්ථාන වල ක්‍රීඩා කර තිබේ. දකුණු අප්‍රිකාවේ දී මැද පෙළ ක්‍රීඩා කළ ඔහු තරග 5ක දී රැස් කළේ ලකුණු 61ක් පමණයි.
බංග්ලාදේශය සමඟ පැවති තරඟාවලියේ දී වතුර ඇදීමට පමණක් භාවිත කළ ධනංජය ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගෙන වමත් – දකුණත් ආරම්භක සංයෝගයක් භාවිතා කිරීමට තරම් ලන්සුවක් තැබීමට තේරීම් කමිටුව නිර්භීත වනු ඇති ද?
සධීර සමරවික්‍රම

21 හැවිරිදි හිටපු සාන්ත ජෝසප් ක්‍රීඩක සධීර මේ දින වල පැවැත්වෙන සුපිරි පළාත් තරගාවලියේ විශිෂ්ට ශතකයක් ද වාර්තා කළ අතර ඕනෑම පන්දු බල ඇණියක් විනාශ කිරීමේ හැකියාව ඇති ක්‍රීඩකයෙකි.
සුපිරි පළාත් තරගාවලියේ තවත් තරග කිහිපයකින් පසු චැම්පියන්ස් කුසලාන සංචිතය තේරීමට නියමිත බැවින්, සධීර සමරවික්‍රම එම සංචිතයේ විශ්මයජනක තෝරා ගැනීමක් බවට පත් වීමට ඉඩ කඩක් නොමැත්තේ ද නොවේ.
2017 චැම්පියන්ස් කුසලානයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් බවට පත් විය යුත්තේ කවුද ? ඔබේ අදහස පහතින් දක්වන්න…..
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට






















