MCA F කොටසේ ශූරතාව HNB දිනා ගනී

07th Fairfirst Insurance MCA “F” division 25 Over League Tournament 2025

6
MCA “F” division Final

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය, Fairfirst රක්ෂණ සමාගමේ අනුග්‍රහය ඇති ව 7 වැනි වරටත් සංවිධානය කළ වෙළඳ සේවා F කොටසේ ශූරතාව වෙනුවෙන් පැවැති අවසන් මහා තරගයේ දී Dialog Axiata PLC කණ්ඩායමට එරෙහි ව ලකුණු 34ක ජයග්‍රහණයක් ලබා ගැනීමට HNB B කණ්ඩායම සමත් වුනා.

පන්දුවාර 25කින් යුත් මෙම තරගය පසුගියදා වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

Dialog Axiata PLC කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී MAS Active B කණ්ඩායමට එරෙහි ව ලකුණු 14ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද සහ HNB B කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී English Tea Shop කණ්ඩායමට එරෙහි ව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද මෙම තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

Dialog Axiata PLC කණ්ඩායම

දමිත් වීරසිංහ (නායක), පසිඳු බණ්ඩාරනායක, කෞෂාල් පෙරේරා, රජිත රණතුංග, මෝදිත වීරසිංහ, තරින් වීරසිංහ, දුලාර මදුශංක, පුබුදු ගනේගම, සිතුම් සිල්වා (කඩුලු රකින්නා), චන්දුල ප්‍රේමනාත් සහ අතීෆ් සිද්දික්.

HNB B කණ්ඩායම

අශේන් ප්‍රනාන්දු (නායක සහ කඩුලු රකින්නා), මහෙන් සිල්වා, දමිත හුණුකුඹුර, නවීන් කනිශ්ක, පසිඳු ආදිත්‍ය, සවිරු බණ්ඩාර, මධුශාන් පතිරගේ, ඉක්‍රම් රාශික්, දිනෙත් මල්ලවාරච්චි, අචින්ත සුපුන් සහ වෙනුක් හෙට්ටිආරච්චි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ HNB B කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 128ක් ලබා ගන්නවා.

ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පසිඳු අදිත්‍ය. ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.

එම ඉනිමේ කඩුලු 3ක් ලකුණු 39කට දැවී ගොස් තිබිය දී පසිඳු ආදිත්‍ය සහ නවීන් කනිෂ්ක එක් ව පන්දු 60ක දී ලකුණු 31ක් එක් කරමින් කණ්ඩායම වැටි සිටි තත්ත්වයෙන් ගොඩ ගත්තා. එහි දී නවීන් කනිෂ්ක පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තා.

ඊට අමතර ව පසු පෙළින් පිටියට පිවිසි ඉක්‍රම් රාශික් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී පුබුදු ගනේගම ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දුලාර මදුශංක කඩුලු 3ක් ද, අතීෆ් සිද්දික් කඩුලු ද්විත්වයක් ද සහ දමිත් වීරසිංහ කඩුල්ලක් ද දවා ගත්තා.

Dialog Axiata PLC කණ්ඩායමේ හඹා යන පිළිතුරු ඉනිමට කදිම ආරම්භයක් ලබා ගැනීමට ආරම්භක පිතිකරුවන් සමත් වූව ද පසු පෙළින් නොලැබුණ සහයෝගය මත ඔවුන්ගේ ඉනිම ලකුණු 94කට සීමා වෙනවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු පසිඳු බණ්ඩාරනායක. ඔහු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා. ඊට අමතර ව දුලාර මදුශංක පන්දු 12කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ද සහ රජිත රණතුංග පන්දු 30කට මුහුණ දෙමින් ලකුණු 15ක් ද Dialog Axiata PLC කණ්ඩායමේ ඉනිමට එක් කළා.

ජයග්‍රහණය සඳහා අවසන් කඩුලු 5ට පන්දු 61ක දී ලකුණු 56ක් පමණක් අවශ්‍ය ව තිබිය දී එම කඩුලු ප්‍රමාණය තවත් පන්දු 29ක් ඉතිරි ව තිබිය දී දවා ගැනීමට ප්‍රතිවාදී HNB B කණ්ඩායම  සමත් වෙනවා.

එම ඉනිම ඒ ලෙසින් පාලනය කිරීමේ දී අචින්ත සුපුන් ලකුණු 13කට කඩුලු 4ක් දවා ගනිමින් වැඩි දක්ෂතා දැක් වූවා. ඊට අමතර ව වෙනුක හෙට්ටිආරච්චි කඩුලු ද්විත්වයක් ද, සවිරු බණ්ඩාර, පසිඳු ආදිත්‍ය සහ ඉක්‍රම් රාසික් කඩුල්ලක් බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • HNB B – සියලුම දෙනා දැවී 128 (24.5) අශේන් ප්‍රනාන්දු 17, නවීන් කනිෂ්ක 17, පසිඳු ආදිත්‍ය 27, ඉක්‍රම් රාසික් 20, දුලාර මදුශංක 3/33, අතීෆ් සිද්දික් 2/24, පුබුදු ගනේගම 4/29
  • Dialog Axiata PLC – කඩුලු දැවී 94 (20.1) පසිඳු බණ්ඩාරනායක 28, රජිත රණතුංග 15, දුලාර මදුශංක 17, වෙනුක් හෙට්ටිආරච්චි 2/17, අචින්ත සුපුන් 4/13

HNB B කණ්ඩායමට ලකුණු 34ක ජයක්.

අනුශූරතාව දිනූ Dialog Axiata PLC කණ්ඩායම

  • අවසන් මහා තරගයේ වීරයා – ඉක්‍රම් රාසික් (HNB B)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – එරාන් කනිෂ්ක (Seylan Bank)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – ශාලක තිමන්ත (Pizza Hut)
  • තරගාවලියේ වීරයා – චමත් චමුපති (Information Systems)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<