මේ දිනවල ලොව පුරා කාගෙත් අවධානය දිනා ගත් යුරෝපා පාපන්දු ශූරයන් සොයා යන “Euro 2020” තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රි ලංකා වේලාවෙන් අද (08) උදෑසන පැවැත්වුණා.
අතිරේක අමතර කාලයක් තෙක් ඇදී ගිය මෙම තරගය තියුණු සටනකින් පසු ගෝල 2-1ක් ලෙස ඩෙන්මාර්කය පරදවමින් ජයග්‍රහණය ලැබීමට සමත් වුනේ එංගලන්තයයි.
එංගලන්තයේ සත්කාරකත්වයෙන් ලන්ඩන් නුවර Wembley ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ආරම්භයේ සිටම දෙපිලෙහිම ක්‍රීඩකයන්ගෙන් ඉතා සටන්කාමි ක්‍රීඩා විලාශයක් දක්නට ලැබුණා.
තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම වූ ඩෙන්මාර්කය එංගලන්තයට තම ක්‍රීඩා පිටිය තුළම දැඩි පීඩනයක් එල්ල කරමින් තරගයේ පළමු ගෝලය රැස් කිරීමට සමත් වුනේ තරගයේ 30 වැනි මිනිත්තුවේ දීයි.

තරගයේ 38 වැනි මිනිත්තුවේ දී එංගලන්ත ක්‍රීඩක Raheem Sterling විසින් එල්ල කරන ලද පහරක් වළක්වා ගන්නට ඩෙන්මාර්ක් ගෝල රකින්නා සමත් වූ නමුත් පළමු අර්ධයේ අවසන් වීමට පෙර එංගලන්තයට ගෝලයක් පරිත්‍යාග කිරීමට ඩෙන්මාර්කයට සිදු වුනා.
39 වැනි මිනිත්තුවේ එංගලන්ත ක්‍රීඩකයෙකු විසින් Raheem Sterling වෙත යොමු කළ පන්දුවක් ගෝලයට ඉතා ආසන්නයේ සිට වැළැක්වීමට ගිය ඩෙන්මාර්ක් ක්‍රීඩක Simon Kjaerගේ පාදයෙහි වැදී පන්දුව ගෝලයට යොමු වීම නිසා එංගලන්තයට පළමු ගෝලය හිමි වුනා.
එම අර්ධය තුළ දී තවත් කිසිදු ගෝලයක් රැස් කිරීමට කණ්ඩායම් ද්විත්වයම අසමත් වීම නිසා ගෝල 1-1ක් ලෙස පළමු අර්ධය සමව අවසන් වුනා.
අවසන් මහා තරගයේ අසුන බලාපොරොත්තුවෙන් දෙවැනි අර්ධය පිවිසි කණ්ඩායම් ද්විත්වයම පළමු අර්ධයේ මෙන් අලංකාර ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා.
55 වැනි මිනිත්තුවේ දී එංගලන්ත ක්‍රීඩක Harry Maguire විසින් ගෝලයට යොමු කළ පන්දුවක් අතිදක්ෂ ලෙස නවතාලීමට ඩෙන්මාර්ක් ගෝල රකින්නා සමත් වුනේ එංගලන්ත ප්‍රේක්ෂකයන්ගේ හදවත ද මොහොතකට නතර කරමින්.

අමතර කාලය ආරම්භයේ සිටම එංගලන්ත ක්‍රීඩකයන් තරගය සම්පූර්ණ පාලනය සියතට ගනිමින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයකින් ක්‍රීඩා කරන්නට වූ අතර 98 වැනි මිනිත්තුවේ දී එංගලන්ත ක්‍රීඩක Jack Grealish එල්ල කළ ගෝලයක් ලබා ගැනීමට ආසන්න අවස්ථාවක් අවසන් මොහොතේ වළක්වන්නට ඩෙන්මාර්ක් ගෝල රකින්නා සමත් වුනා.
නමුත් ඔහුගේ සියලු උත්සාහයන් අපතේ යවමින් තරගයේ 102 වැනි මිනිත්තුවේ දී ඩෙන්මාර්ක් ක්‍රීඩක Joakim Maehle දඬුවම් රාමුව තුළ සිදු කළ නීති විරෝධී වැළැක්වීමක් නිසාවෙන් එංගලන්තයට දඬුවම් පහර අවස්ථාවක් ලබා දීමට විනිසුරුවරයා තීරණය කළා.
එම තීරණාත්මක දඬුවම් පහර එල්ල කිරීමේ වගකීම භාර ගත් එංගලන්ත නායක Harry Kane එල්ල කළ පහර නැවැත්වීමට ඩෙන්මාර්ක් ගෝල රකින ක්‍රීඩක Kasper Schmeichel සමත් වූවත් Kasper Schmeichelගේ අතේ වැදී නැවත පැමිණි පන්දුව ඩෙන්මාර්ක් පසු පෙළ ක්‍රීඩකයන්ට පෙර ලබා ගනිමින් නැවත ගෝලය තුළට එල්ල කරමින් සිය වරද නිවැරදි කර ගැනීමට Harry Kaneට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: ඩෙන්මාර්කය 1–2 එංගලන්තය
ගෝල ලාභීන්:
- එංගලන්තය: Simon Kjaer 39’ (og), Harry Kane 104’
- ඩෙන්මාර්කය: Mikkel Damsgaard 30’
Euro 2020 තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සඳුදා (12) උදෑසන ඉතාලිය සහ එංගලන්තය අතර පැවත්වීමට නියමිතයි. එම තරගයේ තොරතුරු සඳහාත් රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<





















