මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ බාලිකා විස්සයි විස්ස කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ 2 වැනි තරගය ද ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝ අද (3) සමත් වෙනවා.
දෙරට අතර පැවැති පළමු තරගයෙන් ද ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් වන අතර අද කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් ද ඔවුන් කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒ තරගය අවසන් වීමට තවත් පන්දු 15ක් ද ඉතිරි ව තිබියදීයි.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මැලේසියා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 94ක් පමණයි.
ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රීඩිකාවෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 98ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
>>විමෝක්ෂා, මිතාලි සහ ලිමංසා මංගල තරගයේ දී වැඩ පෙන්වයි
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මැලේසියා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Mas Elysa. ඇය පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකාරිනී Ainna Hamizah Hashim පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී අසෙනි තලගුණේ ලකුණු 14කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව චමුදි ප්‍රබෝධා, මිතාලි අයෝද්‍යා, ශෂිනි ගිම්හානි සහ ලිමංසා තිලකරත්න කඩුල්ලක් බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඉනිම ආරම්භ කළ සංජනා කාවින්දි (3) සහ නෙතඟි ඉසුරාංජලී (0) අඩු ලකුණුවලට සීමා වුණා.
නමුත් 3 වැනි කඩුල්ලේ දී විමෝක්ෂා බාලසූරිය සහ නායිකා මනුදි නානායක්කාර එක් ව පන්දු 36ක දී ලකුණු 41ක සබඳතාවක් ගොඩ නගනවා. එම සබඳතාව බිඳ වැටෙන්නේ විමෝක්ෂා බාලසූරිය ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.
ඉන් අනතුරු ව මනුදි නානායක්කාර සහ ශෂිනි ගිම්හානි එක් ව සිව් වැනි කඩුල්ලට පිටියේ එක් වෙමින් නොදැවුණ ලකුණු 57ක සබඳතාවක් එක් කරනවා. එහි දී මනුදි නානායක්කාර පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ද සහ ශෂිනි ගිම්හානි පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Ainna Hamizah Hashim, Nur Dania Syuhada සහ Mahirah Izzati Ismail කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මැලේසියා ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 94 (20.0)Ainna Hamizah Hashim 19, Mas Elysa23, අසෙනි තලගුණේ 2/14
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 98(17.3)විමෝක්ෂා බාලසූරිය 20, මනුදි නානායක්කාර නොදැවී 33, ශෂිනි ගිම්හානි නොදැවී 32, Nur Dania Syuhada 1/08
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
දෙරට අතර පැවැත්වෙන් 3 වැනි විස්සයි විස්ස තරගය නොවැම්බර් 5 වැනිදා, පෙරවරු 10.00 සිට Colts ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















