මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ බාලිකා විස්සයි විස්ස කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝ (2) සමත් වෙනවා.
පළමුවෙන් පන්දුවට පහර දුන් මැලේසියා කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 20ක් වෙද්දී දැවී යෑම ඔවුන්ට ඉමහත් පීඩාවක් බවට පත් වෙනවා. නමුත් ඉන් අනතුරුව පිටියේ එක් වූ Aina Najwa සහ Mahirah Izzati Ismail 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32ක සබඳතාවක් ගොඩ නගමින් එම තත්ත්වය තරමක් දුරට මඟ හරිනවා.
එහි දී ආරම්භක පිතිකාරිනී Aina Najwa පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමගින් ලකුණු 27ක් ලබා සිටිය දී දැවී යෑමෙන් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඉන් අනතුරු ව Mahirah Izzati Ismail සහ Nur Dania Syuhada එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 36ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ දමමින් දැවී යන්නේ Nur Dania Syuhada. ඇය ඒ වෙද්දී පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ලබා සිටියා.
මැලේසියා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූ Mahirah Izzati Ismail, 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා.
ඔවුන්ට අමතර ව Nur Arianna Natsya පන්දු 10කට මුහුණ දෙමින් ලකුණු 11ක් ද සහ Ainna Hamizah Hashim පන්දු 16කට මුහුණ දෙමින් ලකුණු 10ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී මිතාලි අයෝද්‍යා ලකුණු 9කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභිනිය වූ අතර ඊට අමතර ව අසෙනි තලගුණේ සහ ලිමංසා තිලකරත්න කඩුල්ල බැගින් දවා ගන්නවා.
- මැලේසියාවට එරෙහිව කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මනුදිට
 - රැජිණියන්ගේ මංගල ගැටුමේ ජය අනුලා විද්‍යාලයට
 - මැලේසියා T20 කාන්තා තරග කොළඹ දී
 - හොංකොං යන සය සාමාජික කණ්ඩායමේ නායකත්වය ලහිරු මදුශංකට
 - ඕස්ට්‍රේලියා යෞවනියෝ ඇප නැතිව ගෙදර යයි
 
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ද තම ඉනිම විශ්වසනීයව ගොඩනැගීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 18 දී අහිමි වෙන අතර අනතුරු ව 7 වැනි පන්දුවාරය වන විට ලකුණු 36කට කඩුලු 4ක් දැවී යනවා.
ඒ වෙද්දී සංජනා කාවින්දි (14), නෙතඟි ඉසුරාංජලී (03), නායිකා මනුදි නානායක්කාර (0) සහ රශ්මි නේත්‍රාංජලී (0) පිළිවෙලින් තම ඉනිම් අවසන් කරගෙන තිබුණා.
ඉන් අනතුරු ව 5 වැනි කඩුල්ල සඳහා පිටියට එක් වූ විමෝක්ෂා බාලසූරිය සහ ශෂිනි ගිම්හානි එක් ව ලකුණු 27ක සබඳතාවක් එක් කරමින් යම්තම් ශ්‍රී ලංකා ඉනිමට ජීවය එක් කළා. එහි දී ශෂිනි ගිම්හානි පන්දු 17ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඉන්අ නතුරු ව පිටියට එක් වෙන්නේ ලිමංසා තිලකරත්න. ඇය ආරම්භක පිතිකාරිනී විමෝක්ෂා බාලසූරිය සමඟ එක් වෙමින් තරගය අවසන් වන විට 6 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 50ක සබඳතාවක් එක් කරනවා.
ඒ වෙද්දී විමෝක්ෂා බාලසූරිය පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගනිමින් මෙම තරගාවලියේ මංගල අර්ධ ශතකය වාර්තා කිරීමේ ගෞරවය ද හිමි කර ගන්නවා. ඊට අමතර ව ලිමංසා තිලකරත්න පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී Aisya Eleesa ලකුණු 38කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන ලද අතර Ainna Hamizah, Ainna Hamizah Hashim සහ Mahirah Izzati Ismail කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
මැලේසියා ජාතික කාන්තා ක්‍රිකට්ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 110 (20.0) Aina Najwa 27, Mahirah Izzati Ismail 31, මිතාලි අයෝද්‍යා 3/09
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම -කඩුලු 5ක් දැවී 113 (18.0) විමෝක්ෂා බාලසූරිය නොදැවී 53, ලිමංසා තිලකරත්න නොදැවී 19, Aisya Eleesa 2/38
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
දෙරට අතර පැවැත්වෙන් 2 වැනි විස්සයි විස්ස තරගය 03 වැනිදා පස්වරු 2.00ට Colts ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















