ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති Police SC කණ්ඩායම සහ Colts CC කණ්ඩායම අතර පැවැති පළමු අවසන් පූර්ව වටයේ තරගයෙන් කඩුලු 4ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් Police SC ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Colts CC කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 143කට දැවී ගිය අතර එම ඉලක්කය ප්‍රතිවාදී Police SC ක්‍රීඩකයෝ කඩුලු 6ක් පමණක් දැවී පහසුවෙන් ම සපුරා ගත්තා. ඒ ඔවුන් තවත් පන්දු 85ක් ද ඉතිරි කර ගනිමිනුයි.
Police SC කණ්ඩායම
අශේන් බණ්ඩාර (නායක), ධනුජ ඉඳුවර, නදීර බාලසූරිය, කුසල් ජනිත් පෙරේරා, විශාද් රන්දික, ප්‍රියමාල් පෙරේරා, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), නවීන් ප්‍රනාන්දු, චාරුක ප්‍රමෝද්, දිලුම් සුදීර සහ නලින් ප්‍රියදර්ශන.
Colts CC කණ්ඩායම
අකිල ධනංජය (නායක), රවිඳු රශාන්ත, සංගීත් කුරේ, දිනේෂ් චන්දිමාල්, ධනංජය ලක්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, ඇඩම් හිල්මි (කඩුලු රකින්නා), කවිශ්ක අංජුල, මුදිත ලක්ෂාන් සහ ඩිල්ශාන් මදුශංක
කාසියේ වාසිය ජයග්‍රහණය කළ Police SC කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colts CC ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ සංගීත් කුරේ ලකුණු 2කටත් සහ රවිඳු රශාන්ත ලකුණු 5කටත් දැවී යෑම බලවත් පාඩුවක් වූවා. ඔවුන් දෙදෙනා ඉනිම් හැර යද්දී ලකුණු පුවරුවට එක් ව තිබුණේ ලකුණු 8ක් පමණයි.
අනතුරු ව දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ලක්ෂාන් එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 34ක දී ලකුණු 33ක් එක් කරනවා. දිනේෂ් චන්දිමාල් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙනවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ධනංජය ලක්ෂාන්ට එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සිව් වැනි කඩුල්ලට පන්දු 48කදී ලකුණු 37ක් එක් කරන අතර එවර සබඳතාව බිඳ වැටෙන්නේ ධනංජය ලක්ෂාන් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.
ඇන්ජලෝ මැතිව්ස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 29ක්. ඔහුගේ ඉනිමට පන්දු 67ක් වැය ව තිබූ අතර ඒ අතර කිසිදු සීමා ලකුණක් සටහන් ව තිබුණේ නැහැ.
අනෙකුත් පිතිකරුවන් අතුරින් මුදිත ලක්ෂාන් පන්දු 20කදී ලකුණු 15ක්ද, නායක අකිල ධනංජය පන්දු 16කදී ලකුණු 12ක් ද සහ කවිශ්ක අංජුල පන්දු 34ක දී ලකුණු 11ක් ද ලෙසින් ද Colts CC ඉනිමට එක් කළා.
පන්දු යැවීමේ දී දිලුම් සුදීර ලකුණු 36කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ධනුජ ඉඳුවර කඩුලු 3ක් ද සහ චාරුක ප්‍රමෝද් කඩුලු 2ක් ද දවා ගත්තා.
- Police, Tamil Union, CCC සහ Colts අවසන් පූර්ව වටයට
- දෙවැනි තරගයත් විසඳුමක් නෑ
- Tier B පිටියේ වීරයෝ
- අශේන් බණ්ඩාර පළමු ශතකය වාර්තා කරයි
- Major Club එක්දින තරගාවලිය 27 දා සිට
හඹා ගිය Police SC ඉනිමේ ආරම්භය ද එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔහුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය පළමු පන්දුවාර 10 තුළ දී දැවී යනවා. ඒ අනුව ධනුජ ඉඳුවර (0), නදීර බාලසූරිය (10) සහ කුසල් ජනිත් පෙරේරා (15) තම ඉනිම් අහිමි කර ගැනීමත් සමඟිනුයි. මේ කඩුලු 3 දැවී යද්දී ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 46ක් ලෙසයි.
එතැන් සිට නායක අශේන් බණ්ඩාර සහ විශාද් රන්දික පිටියේ ස්ථාවර වෙමින් සිව් වැනි කඩුල්ලට පන්දු 77ක දී ලකුණු 49ක් එක් කරනවා. විශාද් රන්දික පන්දු 46කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඔහුගේ දැවී යෑමත් සමඟින් පිටියට පිවිසි ප්‍රියමාල් පෙරේරා ලකුණු 2කටත් සහ ජේසන් ප්‍රනාන්දු ලකුණු 5කට දැවී යද්දී නවීන් ප්‍රනාන්දු සමඟ එක් වූ නායක අශේන් බණ්ඩාර තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියා.
ඒ අයුරින් තරගය නිමා වෙද්දී අශේන් බණ්ඩාර පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ද සහ නවීන් ප්‍රනාන්දු පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 4ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී දුනිත් වෙල්ලාලගේ සහ ඩිල්ශාන් මදුශංක කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර සංගීත් කුරේ කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Colts CC – සියලුම දෙනා දැවී 143 (39.0) දිනේෂ් චන්දිමාල් 30, ධනංජය ලක්ෂාන් 33, ඇන්ජලෝ මැතිව්ස් 29, චාරුක ප්‍රමෝද් 2/13, දිලුම් සුදීර 4/36, ධනුජ ඉඳුවර 3/24
Police SC – කඩුලු 6ක් දැවී 144 (35.5) විශාද් රන්දික 36, අශේන් බණ්ඩාර නොදැවී 55, ඩිල්ශාන් මදුශංක 2/41, දුනිත් වෙල්ලාලගේ 2/22
Police SC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
CCC කණ්ඩායම සහ Tamil Union C & AC කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගය මේ මස 29 වැනිදා කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<