Rest of World 40s ප්‍රවීනයෝ ශ්‍රී ලංකාව පරාජය කරයි

15
IMC Over 40s T20 World Cup 2025

International Masters Cricket (IMC) සංවිධානය කරන වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (24) නිමා වූ ශ්‍රී ලංකා 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායම සහ Rest of World 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර පැවැති තරගයේ දී ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Rest of World 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් වුණා.  

මෙම තරගය පාකිස්තානයේ කරච්චි නුවර Southend ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් Rest of World 40s කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 133ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 110ක් පමණයි.  

කාසියේ වාසිය දිනා ගත් Rest of World 40s කණ්ඩාම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර එම ඉනිම වෙනුවෙන් Hasham Khan පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා.  

ඔහුට අමතර ව නායක Harshad Ghodke පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ද, Steven Hobson ලකුණු 12ක් ද සහ Daniel Smith ලකුණු 11ක් ද ලබා ගත්තා.  

එම ඉනිමේ අනෙකුත් කිසිඳු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණීමට ඉඩක් නොතැබූ ශ්‍රී ලංකා 40s කණ්ඩායම වෙනුවෙන් හොඳම පන්දු යැවීමේ ගෞරවය දිනා ගන්නේ මංජුල ගුරුගේ. ඔහු තම පන්දුවාර 4 ලකුණු 24කට සීමා කරමින්  කඩුලු 2ක් දවා ගන්නවා.  

ඊට අමතර ව සුනෙත් සම්පත්, සිනෙත් විතානගේ, උදය කුමාර සහ චමින්ද පතිරත්න කඩුල්ල බැගින් දවා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා 40s කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 9ක් තුළ දැවී යෑමත් සමඟින් තරගයේ ජයග්‍රහණය ඔවුන්ගෙන් ගිලිහි ගියා. ඒ තත්ත්වයෙන් අවසන් වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු සුනෙත් සම්පත්. ඔහු පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.  

ඊට අමතර ව හංස විජේසුන්දර පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් වාර්තා කළ අතර දසිස් ඉසන්තමාල් (14), රජිව් නිර්මලසිංහම් (12) සහ නායක මාලන් ප්‍රනාන්දු (12) ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවන් පසු කිරීමට සමත් වූවා 

කඩුලු දවා ගැනීමේ දී  Asif Mohammad ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනිමින් ශ්‍රී ලංකා 40s කණ්ඩායමේ කණ්ඩායමේ පරාජය ඉක්මන් කළා. තවත් පන්දු 8ක් ඉතිරි ව තිබිය දී ශ්‍රී ලංකා 40s ඉනිම අවසන් කරද්දී Hasham Khan සහ Badar Atique කඩුලු ද්විත්වය බැගින් ද සහ නුවන් වීරසූරිය සහ නායක Harshad Ghodke කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Rest of World 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 133 (20.0) Harshad Ghodke 17, Hasham Khan 66, මංජුල ගුරුගේ 2/24
  • ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායමසියලුම දෙනා දැවී 110 (18.4) සුනෙත් සම්පත් 22, දසිස් ඉසන්තමාල් 14, හංස විජේසුන්දර 20, Hasham Khan 2/15, Badar Atique 2/16, Asif Muhammad 4/10

Rest of World 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායමට ලකුණු 23ක ජයක්.  

තරගාවලියේ ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය නොවැම්බර් 2 සිම්බාබ්වේ 40s ප්‍රවීණයන්ගේ කණඩායම සමඟින් කටාර් හී Southend ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<