Laura සහ Kapp දකුණු අප්‍රිකාව පළමු වරට අවසන් මහා තරගයට ගෙන යයි

ICC Women's World Cup

192
ICC Women's World Cup

දකුණු අප්‍රිකාවේ Laura Wolvaardt ගේ ශතකයත් සහ Marizanne Kapp ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට පත් වීමට දකුණු අප්‍රිකාව අද (29) සමත් වුණා.

Guwahati හී Barsapara ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එංගලන්තය සමඟින් පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් ඔවුන් ලකුණු 125ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම අවස්ථාව උදා කර ගන්නවා.

මීට පෙර පිට පිට දෙවතාවක් අවසන් පූර්ව වටයට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවයි මේ. ඔවුන් විසින් මෙම තරගයේ දී පරාජය කරනු ලැබුවේ සිව් වතාවක් කාන්තා ලෝක කුසලානය දිනා ගත් එංගලන්තයයි.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී දකුණු අප්‍රිකාව සතු කළ අතර එහි වාසිය ඔවුන් සතු කර ගන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 319ක් ලබා ගනිමින්. එය මෙවර තරගාවලියේ එංගලන්ත කණ්ඩායමට එරෙහි ව ලබා ගත් වැඩි ම ලකුණු සංඛ්‍යාවයි.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 194ක් පමණයි.

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Nat Sciver-Brunt (නායිකාව), Amy Jones (කඩුලු රකින්නිය), Tammy Beaumont, Heather Knight, Danni Wyatt-Hodge, Sophia Dunkley, Alice Capsey, Charlie Dean, Sophie Ecclestone, Linsey Smith, Lauren Bell.

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Laura Wolvaardt (නායිකාව), Tazmin Brits, Sune Luus, Annerie Dercksen, Marizanne Kapp, Anneke Bosch, Sinalo Jafta (කඩුලු රකින්නිය), Chloe Tryon, Nadine de Klerk, Ayabonga Khaka, Nonkululeko Mlaba.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී, නායිකා Laura Wolvaardt. ඇය පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 169ක් ලබා ගත්තා. ඇය ගේ මෙම ඉනිමත් සමඟින් තම 118ක් වන එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ලකුණු 5000 කඩඉම පසු කිරීමට ද ඇය සමත් වෙනවා.

ඇය අනෙක් ආරම්භක පිතිකාරිනිය වූ Tazmin Brits සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට පන්දු 134ක දී ලකුණු 116ක සබඳතාවක් එක් කරනවා. එහි දී ඇය පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Marizanne Kapp පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ද සහ Chloe Tryon පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 33ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Sophie Ecclestone ලකුණු 44කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Lauren Bell කඩුලු 2ක් ද සහ Nat Sciver-Brunt කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ඉනිමේ පිතිකරු ලැයිස්තුවේ පළමු පිතිකාරිනියන් තිදෙනා කිසිදු ලකුණක් ලබා ගැනීමට ප්‍රථම දවා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

එසේ වූවත් සිව් වැනි කඩුල්ලේ දී පන්දු 130ක දී ලකුණු 105ක සබඳතාවක් එක් කිරීමට නායිකා Nat Sciver-Brunt සහ Alice Capsey සමත් වෙනවා. එහි දී Nat Sciver-Brunt පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ද සහ Alice Capsey පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 50ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව Danni Wyatt-Hodge පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ද සහ Linsey Smith පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන Marizanne Kapp ලකුණු 20කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. එය ඇයගේ 161ක් වන එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීමයි.

ඊට අමතර ව Nadine de Klerk කඩුලු 2ක් ද, Ayabonga Khaka, Nonkululeko Mlaba සහ Sune Luus කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 319 (50.0)Laura Wolvaardt169, Tazmin Brits 45, Marizanne Kapp 42, Chloe Tryon නොදැවී 33, Lauren Bell 2/55, Sophie Ecclestone 4/44
  • එංගලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම– සියලුම දෙනා දැවී 194 (42.3) Nat Sciver-Brunt 64, Alice Capsey 50, Danni Wyatt-Hodge 34, Linsey Smith 27, Marizanne Kapp 5/20, Nadine de Klerk 2/24

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 125ක ජයක්.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Laura Wolvaardt (දකුණු අප්‍රිකාව)

තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගය හෙට (30) ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර Navi Mumbai හී DY Patil ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<