Stats : ලෝක කුසලාන ඉතිහාසය කණපිට පෙරළු තරගයක තතු විත්ති

ICC Women's World Cup 

9
ICC Women's World Cup

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන් තීරණය කෙරෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් ඊයේ (30) තීරණය වුණා. ඒ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයේ දී ඉන්දීය කණ්ඩායම ලැබූ කඩුලු 5ක ජයග්‍රහණයත් සමඟයි.

මෙම තරගයට පෙර පැවැති පළමු අවසන් පූර්ව තරගයේ දී එංගලන්තය පරාජය කළ දකුණු අප්‍රිකාව පළමු වරට ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට සහභාගී වීමට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

මෙම කණ්ඩායම් ද්විත්වය විසින් පරාජය කරනු ලැබුවේ මෙතෙක් නිමා වූ කාන්තා ලෝක කුසලාන තරගමාලා 12ක දී අවසන් මහා තරගයේ කුමන හෝ අසුනක රැදී සිටි ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයයි. ඒ අනුව මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඔවුන් නොමැති ව පළමු වරට ක්‍රියාත්මක වීමට නියමිතයි. එම තරගය මේ නොවැම්බර් 02 වැනිදා ඉන්දියාවේ දී පැවැත්වේ.

තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව ලත් ජයග්‍රහණය කාන්තා ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් කිහිපයක් ම පැන්නූ තරගයක් බවට ද පත් වීම විශේෂත්වයක්.

නිමා වූ තරගයේ දී වාර්තා වූ සුවිශේෂී කඩඉම්

339 : කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවක් හඹා යමින් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත් වීමට ඉන්දියාව සමත් වුණා.

ඊට පෙර මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි කර ගෙන සිටියේ ඕස්ට්‍රේලියාවයි. ඔවුන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි ව ලකුණු 331ක් හඹා යමින් එම වාර්තාව සතු කර ගෙන සිටියා.

  • ඉන්දියාවේ සාර්ථක වූ හඹා යෑම් ඉනිම් අතුරින් මීට පෙර පළමු ස්ථානයේ රැඳී තිබුණේ 2021 වසරේ දී Mackay ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියාව වෙතින් ලත් ලකුණු 265ක ඉලක්කයක්. එය ඔවුන් කඩුලු 8ක් පමණක් දැවී සපුරා ගන්නවා.
  • ඉන්දියාව විසින් වාර්තා කරන ලද මෙම ඉනිම කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ ඉහළ ම හඹා යෑම් අතර 2 වැනි ස්ථානයට පත් ඉනිම ලෙසින් ද ඉතිහාසයට එක් වෙනවා. එහි පළමු ස්ථානයේ රැඳී තිබෙන්නේ මේ වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ 3 වැනි එක්දින ජාත්‍යන්තර තරගයේ දී හඹා ගිය ලකුණු 413 දී ලබා ගත් ලකුණු 369යි. එම තරගයෙන් ඉන්දියාව ලකුණු 43කින් පරාජයට පත් වෙනවා.
  • ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමක් ලකුණු 200ක් ඉක්මා ගොස් ජයග්‍රහණය කළ එක ම තරගය මෙයයි. මීට පෙර ඔවුන්ට ලැබූණ ඉහළ ම ඉලක්කය වී තිබුණේ 2013 ලෝක කුසලානයේ දී පාකිස්තානය විසින් ලබා දුන් ලකුණු 193ක ඉලක්කයයි.

15 : ඕස්ට්‍රේලියාව මෙම තරගයෙන් ලත් පරාජයත් සමඟින් ඔවුන්ට ලෝක කුසලාන තරග ඉතිහාසයේ පිට පිට ලත් වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් හිමිකර ගැනීමේ වාර්තාව දක්වා යෑමට තිබූ අවස්ථාව අහිමි ව ගියා.

>>Stats : ඕස්ට්‍රේලියා දාම ජයග්‍රහණයට Alana ගෙන් තවත් රජ වැඩක්<<

ඔවුන් මීට පෙර 1997 සහ 2000 වසරවල පැවැති ලෝක කුසලාන තරගවල දී ජයග්‍රහණ 15ක් ලබා සිටි අතර මෙවර ද ඔවුන් 2022 සහ 2025 ලෝක කුසලාන තරගාවලි ද්විත්වයේ දී ලත් ජයග්‍රහණ 15කින් එම ගමනට තිත තබන්නට සිදු වෙනවා.

341/5 : ඉන්දීය කණ්ඩායම මෙම තරගයේ දී ලබා ගත්තේ තම ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ඊට පෙර ඔවුන්ගේ ඉහළ ම දක්ෂතාව බවට පත් ව තිබුණේ මේ වසරේ ලෝක කුසලානයේ නවසීලන්ත කණ්ඩායමට එරෙහි ව Navi Mumbai හි දී කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු 340යි.

  • ඉන්දීය මෙම ඉනිම ඕස්ට්‍රේලියාවට එරෙහි ව එක්දින ජාත්‍යන්තර තරගයක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි ස්ථානයට පත් ඉනිමයි. මෙහි පළමු ස්ථානයේ රැඳී පවතින්නේ මේ වසරේ දී Delhi හි දී සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 369යි.
  • ඉන්දීය ක්‍රීඩිකාවන් විසින් වාර්තා කරන ලද මෙම ඉනිම ඉන්දීය කාන්තා/පිරිමි පිළිමළුන් පිටු දැකීමේ (knock-out) ක්‍රිකට් ඉතිහාසයේ හඹා යන ඉනිමක දී වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

එහි පළමු ස්ථානය 2002 වසරේ NatWest කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායම, එංගලන්ත කණ්ඩායමට එරෙහි ව කඩුලු 8ක් දැවී වාර්තා කරන ලද ලකුණු 326ට හිමි ව තිබුණා.

679 : ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව එක් ව මෙම තරගයේ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාවේ එකතුව කාන්තා ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

මීට පෙර මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී තිබුණේ 2017 වසරේ දී Bristol හි දී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව එක් ව රැස් කරන ලද ලකුණු 678යි. එහි දී එංගලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 373ක් ද සහ දකුණු අප්‍රිකාව කඩුලු 9ක් දැවී ලකුණු 305ක් ද රැස් කරනවා.

  • ඉන්දීය – ඕස්ට්‍රේලියා මෙම ලකුණු සංඛ්‍යාව ලෝක කාන්තා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි ස්ථානයට පත් වූවා.

මෙහි පළමු ස්ථානයේ රැඳී ඇත්තේ මේ වසරේ Delhi හි දී පැවැති තරගයේ දී වාර්තා වූ ලකුණු 781යි. එහි දී ඕස්ට්‍රේලියාව සියලුම දෙනා දැවී ලකුණු 412ක් ද සහ ඉන්දියාව සියලුම දෙනා දැවී ලකුණු 369ක් ද ලබා ගන්නවා.

127* : Jemimah Rodrigue විසින් වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව ඉන්දීය එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හඹා යන ඉනිමක දී පෑ ඉහළ ම දක්ෂතාවයි.

මෙහි පළමු ස්ථානය පසුගිය මාසයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහි ව Delhi හි දී Smriti Mandhana විසින් රැස් කරන ලද ලකුණු 125ට හිමි ව තිබුණා.

  • Jemimah Rodrigue විසින් වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග 58ක ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා. ඊට පෙර ඇය ගේ හොඳම ඉනිමට බවට පත් ව තිබුණේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව කොළඹ දී වාර්තා කරන ලද ලකුණු 123යි.

167 : මෙම තරගයේ දී Jemimah Rodrigue සහ Harmanpreet Kaur එක් ව 3 වැනි කඩුල්ලට එක් කරන ලද ලකුණු සංඛ්‍යව කාන්තා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දීය ක්‍රීඩිකාවන් විසින් ඕස්ට්‍රේලියාවට එරෙහි ව ඕනෑම කඩුල්ලකට එරෙහි ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සබඳතාවයි.

ඊට පෙර මෙම වාර්තාව රැඳී තිබුණේ 2017 වසරේ දී Bristol හි දී Punam Raut සහ Mithali Raj එක් ව 2 වැනි කඩුල්ලට වාර්තා කරන ලකුණු 157යි.

  • Jemimah Rodrigue සහ Harmanpreet Kaur විසින් වාර්තා කරන ලද මෙම ලකුණු සබඳතාව ඕස්ට්‍රේලියාවට එරෙහි ව එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ 3 වැනි කඩුල්ලට එක් වූ ඉහළ ම ලකුණු සබඳතාව වූ අතර එය, එම තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වන වාර්තාවන් අතර තෙවැනියට පත් වෙනවා.

3 : Harmanpreet Kaur මෙම තරගයේ දී ලකුණු 89ක් ලබා ගන්නා ලද අතර ඒ අනුව ඇය එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ පිළිමළුන් පිටු දැකීමේ තරගවල දී මෙතෙක්  (2017-2025) අර්ධ ශතක 3ක් රැස් කිරීමට සමත් වෙනවා.

ඒ සමඟින් ඇය එවන් දක්ෂතාවන් කළ අය අතුරින් ඕස්ට්‍රේලියාවේ Rachael Haynes (2013-2022) සමඟ සම සම ව අසුන් ගන්නා ලද අතර එහි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ 1997-2005 කාල සමයේ දී අර්ධ ශතක 4ක් වාර්තා කළ  ඕස්ට්‍රේලියාවේ Belinda Clark.

311 : Harmanpreet Kaur ගේ මෙම ඉනිම්වල එකතුව ලකුණු 311ක් වන අතර එය, එම දක්ෂතාව කළ ක්‍රීඩිකාවන් අතර 2 වැනි ස්ථානයට පත් වෙනවා. එහි පළමු ස්ථානයේ රැඳී සිටින Belinda Clark. ඇය ලබා ඇති ලකුණු සංඛ්‍යාව 330ක්.

119 : මෙම තරගයේ දී ඕස්ට්‍රේලියාවේ Phoebe Litchfield ශතකයක් ලබා ගන්නා ලද අතර එය වාර්තා පොත් අතරට එක් වෙන්නේ පිළිමළුන් පිටු දැකීමේ වටයක දී ශතකක් වාර්තා කරන ලද ලාබාලත ම පිතිකාරිනිය ලෙසයි. ඒ වෙද්දී ඇයගේ වයස ලෙසින් සටහන් වූයේ අවුරුදු 22කුත් දින 195ක් ලෙසයි.

මෙහි මෙතෙක් පළමු අසුන අරා සිටියේ ඉන්දියාවේ Mithali Raj. 2006 වසරේ Karachi හි දී පැවැති කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව ශතකයක් වාර්තා කරද්දී, ඇයට වයස අවුරුදු 23කුත් දින 32ක් පමණයි ගත ව තිබුණේ.

77 :  Phoebe Litchfield ගේ ශතකය කාන්තා එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ පිළිමළුන් පිටු දැකීමේ තරගවල දී වාර්තා වූ වේගවත් ම ශතකයයි.

එහි එතෙක් පළමු ස්ථානයේ රැඳී සිටියේ පන්දු 90කින් මෙම දක්ෂතාව සිදු කළ ඉන්දියාවේ Harmanpreet Kaur සහ එංගලන්තයේ Nat Sciver-Brunt.

Harmanpreet Kaur 2017 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහි ව Derby හි දී පැවැති අවසන් පූර්ව තරගයේ දී ද සහ Nat Sciver-Brunt 2022 ලෝක කුසලාන තරගාවලියේ Christchurch හි පැවැති අවසන් මහා තරගයේ දී ද මෙම දක්ෂතාව සිදු කරනවා.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<