සිංහයන්ට එරෙහි ව පල්ලෙකැලේට එන කැන්ගරු බලඇණිය 

ICC Men's T20 World Cup 2026

3

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 3 වැනි තරගය ඕස්ට්‍රේලියාව සමඟින් අද (16 වැනිදා) රාත්‍රී තරගයක් ලෙසින් මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි. ‍මෙම තරගය මෙවර තරගාවලියේ 30 වැනි තරගයයි.  

මේ වන විට කණ්ඩායම් ද්විත්වය ම මෙවර තරගාවලියේ තරග ද්විත්වය බැගින් ක්‍රීඩා කර ඇති අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕමානය සහ අයර්ලන්තය පරාජය කරමින් ද ඕස්ට්‍රේලියානුවෝ අයර්ලන්තයට එරෙහි ව ලැබූ ජයක් සහ සිම්බාබ්වේ වෙතින් ලැබූ පරාජයක් සමඟින් ද තරගයට එක් වීමට නියමිතයි.  

නිමා වූ මෙම තරග සමඟින් සැකසුන ප්‍රසාද ලකුණු පුවරුවේ ශ්‍රී ලංකාව 1 වැනි ස්ථානයත් සහ ඕස්ට්‍රේලියාව 3 වැනි ස්ථානයත් ලබා සිටී. පෙර තරගයේ දී ඕස්ට්‍රේලියානුවන් ලත් පරාජයත් සමඟින් සුපිරි 8 වටයට පිවිසීමේ අවදානමක වැටී සිටින අතර එම තත්ත්වයේ වෙනසක් සිදු වීමට නම් ඔවුන්ට මෙම තරගයේ තීරණය වඩාත් බලපෑ හැකියි 

කෙසේ වෙතත් ඔවුන්ට මෙම තරගයෙන් අනතුරු ව ඕමානය හා සමඟ තරගය ද පවතින බැවින් පැවැතෙන තරගයේ තීරණය කුමක් වූවත් සුපිරි 8 වටයට පිවිසීමේ බලාපොරොත්තු තව දුරටත් තබා ගැනීමේ හැකියාව පවතිනවා.   

සුපිරි 8 වටයේ තමන්ගේ ගමන අවදානමට ලක් කළ සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට ලකුණු 1.984ක දළ වේගයක් ද රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු 4ක් සහිතව 2 ස්ථානයට පත් ව සිටී ම ඔවුන්ගෙ ගමනට තරමක බාධාවක්. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට ද  තවත් තරග ද්විත්වයක් ඉතිරි ව ඇති බැවිනුයි.   

ශ්‍රී ලංකාවට ද මෙම තරගයේ දී මේ අවදානම ම පවතින අතර ඔවුන්ට යම් සහනයකට ඇත්තේ ලකුණු ලබා ගැනීමේ දළ වේගය 3.125ක් වැනි ඉහළ තත්ත්වයක පැවතීමයි. මේ වන විට අපරාජිතව සිටින ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් පසුව ඇත්තේ සිම්බාබ්වේ සමඟ තරගය පමණයි.  

වාර්තා රැසක් සමඟින් සිම්බාබ්වේ, ඕස්ට්‍රේලියාව පරාජය කරයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගය සඳහා සහභාගී වෙන්නේ මේ වෙද්දී විස්සයි විස්ස ලෝක කුසලාන තරග 56කට ක්‍රීඩා කරමින් ඉන් තරග 34ක ජයග්‍රහණ ද සහ තරග 21ක පරාජයන් අත දරාගෙනයි. ඉතිරි තරගය නිමා වී ඇත්තේ ලකුණු සමවීමෙනුයි.  

ඕස්ට්‍රේලියාව මේ එක් වෙන්නේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගමාලාවන් හී 50 වැනි තරගයටයි. මේ වෙද්දී ඔවුන් ක්‍රීඩා කරන ලද තරග 49න් තරග 31ක් ජයග්‍රහණය කර ඇති අතර තරග 18ක් පරාජය වී තිබෙනවා.  

ලෝක කුසලාන ඉතිහාසයේ දෙරට ක්‍රීඩකයෝ මීට පෙර 2007, 2009, 2010, 2021 සහ 2022 යන අවස්ථා 5 දී හමු වී ඇති අතර ඒ අතුරින් තරග 4ක ජයග්‍රහණ ඕස්ට්‍රේලියානුවන් සතු වන අතර ශ්‍රී ලංකාව ලබා ඇත්තේ 2009 වසරේ ලත් ජයග්‍රහණය පමණයි.  

ඔවුනොවුන් මේ තරගය සඳහා එක් වෙන්නේ වසර 4කට පසුව වන අතර දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට විස්සයි විස්ස තරගයක් සඳහා එක් ව ඇත්තේ 2022 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදීයි. 

ඕස්ට්‍රේලියානුවෝ මෙවර තරගාවලියට එක් වූයේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Mitchell Marsh ගේ නායකත්වයෙන් යුක්ත ව වූව ද පුහුණුවිම්වල දී ලත් ආබාධයක් හේතුවෙන් ඔහුට තරගාවලියෙන් සමු ගැනීමට සිදු වෙනවා 

ඔහුගෙන් හිස් වු නායකත්වයේ හිඩැස පිරවෙන්නේ 32 හැවිරිදි වියේ පසුවෙන මැද පෙළ පිතිකරු Travis Head මඟිනුයි. මීට පෙර ද අවස්ථා 4ක දී ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙයවා ඇති Travis Head මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 51කට මුහුණ දෙමින් අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1247ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.  

කණ්ඩායමේ සිටින පිතිකරුවන් අතර වැඩි විශ්වාසයක් දිනා ඇත්තේ ආරම්භක පිතිකරු Josh Inglis. 30 හැවිරිදි වියේ පසුවෙන ඔහු මේ වන විට ඉන්දියාවට සහ ස්කොට්ලන්තයට එරෙහි ව වාර්තා කරන ලද ශතක ද්විත්වයක් ද සමඟින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ලකුණු 961ක් ලබා සිටින ක්‍රීඩකයෙක්. කෙසේ වෙතත් ඔහුට නිමා වූ තරග ද්විත්වය එතරම් ම හොඳ වෙන්නේ නැහැ. එහි යම්තමට ඇත්තේ අයර්ලන්තයට එරෙහි ව ලබා ගත් ලකුණු 37 පමණයි. 

ඕස්ට්‍රේලියානුවන්ගේ විශ්වසනීය ආරම්භක පිතිකරු Josh Inglis.

කණ්ඩායමේ සිටින වඩාත් දක්ෂතා ඇති තුන් ඉරියව් ක්‍රීඩකයා වෙන්නේ Glenn Maxwell. ඔහු නිමා වූ සිම්බාබ්වේ සමඟ තරගයේ දී ලකුණු 31ක් ලබා ගනිමින් පරාජිත ඉනිමේ 2 වැනියට වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වෙනවා. ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග පොත තරග 128කින් සමන්විත අතර එහි ශතක 5ක් සහ අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 2875කින් ද සහ කඩුලු 49කින් ද සැරසී තිබෙනවා.  

කෙසේ වෙතත් කණ්ඩායමට එක් වූ නවක ක්‍රීඩකයන් අතුරින් වමත් පිතිකරු Matt Renshaw ද විශ්වසනීය පිතිකරුවෙක් ලෙස මෙම තරගය හා එක් වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5කට පමණක් ක්‍රීඩා කර ඇති ඔහුගේ ඉනිම් අතර ඇති හොඳම ඉනිම වෙන්නේ පරාජිත සිම්බාබ්වේ කණ්ඩායම සමඟ වූ තරගයේ දී ලබා ගන්නා ලද ලකුණු 65යි.  

ඔවුන්ට අමතර ව Marcus Stoinis, Tim David සහ Cameron Green ද ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ දී ඕස්ට්‍රේලියා පිතිකරු බලඇණියේ ප්‍රමුඛයන් ලෙසින් පිටියට පිවිසීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.  

පන්දු යැවීමේ දී වඩාත් විශ්වසනීය පන්දු යවන්නා වෙන්නේ පා දඟ පන්දු යවන Adam Zampa. ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරග ඉතිහාසයට තරග 113ක දී කඩුලු 143ක් පරිත්‍යාග කර ඇති ඔහු ඉන් කඩුලු 21ක් ම ලබා ගන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. එය Adam Zampa ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ එක් කණ්ඩායමකට එරෙහි ව ලබා ඇති වැඩිම කඩුලු සංඛ්‍යාවයි.  

ඔහුට අමතර ව මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 34කට සහභාගී වෙමින් කඩුලු 54ක් ලබා සිටින දකුණතින් මඳ වේග පන්දු යවන Nathan Ellis සහ තරග 85ක දී කඩුලු 50ක් ලබා සිටින දකුණතින් මඳ වේග පන්දු යවන Marcus Stoinis ප්‍රධාන පන්දු යවන්නන් ලෙසින් ද සහ වමතින් මඳ වේග පන්දු යවන Ben Dwarshuis සහ වමතින් දඟ පන්දු යවන Matthew Kuhnemann ද ශ්‍රී ලංකාවට එරෙහි කණ්ඩායම ශක්තිමත් කිරීමට යොදා ගනු ඇතැයි සිතිය හැකි පන්දු යවන්නන් බවට පත් ව සිටිනවා.  

 ඕස්ට්‍රේලියා සංචිතය 

Travis Head (නායක), Josh Inglis (කඩුලු රකින්නා), Cameron Green, Tim David, Glenn Maxwell, Matt Renshaw, Marcus Stoinis, Ben Dwarshuis, Nathan Ellis, Adam Zampa, Matthew Kuhnemann, Matthew Short, Cooper Connolly, Xavier Bartlett,  

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන් ම, සියලු තරගවල සජීවී අත්දැකීම් ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<