10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් (13) අවසන් වූ අතර එහි දී ඕස්ට්‍රේලියාවට එරෙහි ව පෙරළිකාර ජයග්‍රහණයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූවා.
මේ සමඟින් B කාණ්ඩයේ 2 වැනි ස්ථානයට පත් වීමට ද ඔවුන් සමත් වූ අතර එහි පළමු ස්ථානයේ මේ වෙද්දී රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවයි.
මෙම තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම විසින් වාර්තා කරන ලද ලකුණු 169 ඕස්ට්‍රේලියාවට එරෙහි ව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූ අතර Brian Bennett විසින් නොදැවී ලබා ගන්නා ලද ලකුණු 64 ඕස්ට්‍රේලියානුවන්ට එරෙහි ව සිම්බාබ්වේ පිතිකරුවෙක් දැක් වූ ඉහළ ම දක්ෂතාව ද සහ Blessing Muzarabani විසින් ලකුණු 17කට දවා ගත් කඩුලු 4 දෙරට ඉතිහාසයේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වූවා.
සිම්බාබ්වේ කණ්ඩායමක් හමුවේ ඕස්ට්‍රේලියාව පරාජය වෙන්නේ වසර 19කට පසුවයි.
නිමා වූ එම තරගයේ ප්‍රතිඵලයට අමතර ව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද සහ ඇමරිකාව ද මෙවර තරගාවලියේ තම පළමු ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.
>>ඉතාලිය T20 ලෝක කුසලාන මංගල ජය ලබයි<<
19 වැනි තරගය, Group B, ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ අතර
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 169ක් ලබා ගන්නවා.
එම වාර්තාගත ඉනිමේ ආරම්භයේ සිට ම පළපුරුදු ඕස්ට්‍රේලියානු පන්දු රකින්නෝ පිටිය පුරා දිවවීමට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත් වීම කැපී පෙණුනා. එහි දී පෙරමුණ ගත්තේ ආරම්භක පිතිකරු Brian Bennett. ඔහු ඉනිම අවසන් වන විට පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 64ක් ලබා සිටියා.
ඔහු සහ අනෙක් ආරම්භක පිතිකරු Tadiwanashe Marumani එක් ව පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ලට පන්දු 45ක දී ලකුණු 61ක් එක් කරනවා.
අනතුරු ව 2 වැනි කඩුල්ලේ දී පන්දු 51ක දී ලකුණු 70ක් එක් කිරීමට Brian Bennett සහ Ryan Burl සමත් වෙනවා. Ryan Burl පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
එම දැවී යෑමෙන් අනතුරු ව Brian Bennett හා එක් වෙන්නේ නායක Sikandar Raza. ඔවුන් දෙදෙනා එක් ව සිම්බාබ්වේ ඉනිම අවසන් වෙද්දී පන්දු 24ක දී නොදැවුණ ලකුණු 38ක් එක් කරනවා. එහි දී Sikandar Raza ඉනිමේ වාර්තා වූ එක ම හයේ පහර ද වාර්තා කරමින් පන්දු 13ක දී නොදැවී ලකුණු 25ක් ලබා ගන්නවා.
සිම්බාබ්වේ ඉනිම පාලනය කිරීමට ඕස්ට්‍රේලියානු නායකයා විසින් පන්දු යවන්නෝ 7 දෙනෙක් යොදා ගත්ත ද ඉන් සාර්ථක වූයේ Cameron Green සහ Marcus Stoinis පමණයි. ඔවුන් දෙදෙනා කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන්ගේ ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 29ක් තුළ දවා ගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ වෙද්දී ඔවුන් වැය කර තිබුණේ පන්දු 27ක් පමණයි.
කෙසේ වෙතත් 5 වැනි කඩුල්ලේ දී පන්දු 59ක දී ලකුණු 77ක් එක් කිරීමට Glenn Maxwell සහ Matt Renshaw සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Glenn Maxwell ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා.
ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Matt Renshaw පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා ගන්නවා. එය විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5ක හොඳම ඉනිමයි.
ඔවුන්ට අමතර ව නායක Travis Head පන්දු 15ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබා ගන්නා ලද අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් අභිබවා යෑමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.
එහි දී වඩාත් දක්ෂතා දැක් වූයේ 29 වැනි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Blessing Muzarabani. ඔහු ලකුණු 17කට කඩුලු 4ක් දවා ගන්නවා. එය ඔහුගේ 85ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීමයි.
ඔහුට අමතර ව Brad Evans ලකුණු 23කට කඩුලු 3ක් ද, Ryan Burl සහ Wellington Masakadza කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
සිම්බාබ්වේ – කඩුලු 2ක් දැවී 169 (20.0) Brian Bennett නොදැවී 64, Tadiwanashe Marumani 35, Ryan Burl 35, Sikandar Raza නොදැවී 25
ඕස්ට්‍රේලියාව – සියලුම දෙනා දැවී 146 (19.3) Glenn Maxwell 31, Matt Renshaw 65, Blessing Muzarabani 4/17, Brad Evans 3/23
සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 23ක ජයක්.
තරගයේ වීරයා – Blessing Muzarabani (සිම්බාබ්වේ)
- Run Out එකක් කළ හදියක්
- Usman Tariqගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ ගැටලුව දරුණු වෙයි!
- Plate ශූරතාව දිනූ ඇතුල්ගල්පුර වීරයෝ
20 වැනි තරගය (දිවා/රාත්‍රී), Group D, කැනඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර
Delhi හී Arun Jaitley ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කැනඩා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගනිමින් කඩුලු 7ක් දැවී ලකුණු 150ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.
පළමුවෙන් පන්දුවට පහර දුන් කැනඩා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Harsh Thaker. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Navneet Dhaliwal පන්දු 28ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ද සහ Shreyas Movva පන්දු 21ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන Junaid Siddique ලකුණු 35කට කඩුලු 5ක් දවා ගන්නවා. එය ඔහුගේ විස්යි විස්ස ජාත්‍යන්තර තරග 88ක හොඳම පන්දු යැවීමයි.
පිළිතුරු ඉනිමේ දී ලකුණු 66කට කඩුලු 4ක් දැවී ගොස් තිබිය දී පිටියේ එක් වූ Aryansh Sharma සහ Sohaib Khan එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 85ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රහණය ආසන්නයට ම රැගෙන යනවා.
එහි දී Aryansh Sharma පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 74ක් ද සහ Sohaib Khan පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 51ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනිමේ දී Saad Bin Zafar ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Kaleem Sana සහ Jaskaran Singh කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
කැනඩාව – කඩුලු 7ක් දැවී 150 (20.0) Navneet Dhaliwal 34, Harsh Thaker 50, Shreyas Movva 21, Junaid Siddique 5/25
එක්සත් අරාබි එමීර් රාජ්‍යය – කඩුලු 5ක් දැවී 151 (19.4) Aryansh Sharma නොදැවී 74, Sohaib Khan 51, Saad Bin Zafar 3/14
එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
තරගයේ වීරයා – Junaid Siddique (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)
21 වැනි තරගය (රාත්‍රී), Group A, ඇමරිකාව සහ නෙදර්ලන්තය අතර
Chennai හී MA Chidambaram ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නෙදර්ලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇමරිකානු ක්‍රීඩකයෝ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 196ක් ලබා ගත්තා.
ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමේ සියලුම දෙනා ලකුණු 103කට දැවී ගියා. ඒ අනුව ඇමරිකාව මෙවර තරගාවලියේ ලත් මංගල ජයග්‍රහණය වාර්තා කරනවා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඇමරිකානු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Saiteja Mukkamalla. ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟන් ලකුණු 79ක් ලබා ගන්නවා.
ඔහු Shubham Ranjane එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 35ක දී ලකුණු 54ක් ලබා ගන්නවා. එම කඩුල්ලේ සබඳතාව Saiteja Mukkamalla ගේ දැවී යෑමත් සමඟින් නිමා වෙන අතර ඇමරිකා ඉනිම අවසන් වෙන විට Shubham Ranjane පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබා සිටියා.
ඊට අමතර ව නායක Monank Patel ලකුණු 36ක් ද සහ Shayan Jahangir ලකුණු 20ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Bas de Leede ලකුණු 37කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ Bas de Leede. ඔහු පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.
ඊට අමතර ව නායක Scott Edwards පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Harmeet Singh ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඔහුගේ සහායට Shadley van Schalkwyk කඩුලු 3ක් ද, Mohammad Mohsin කඩුලු 2ක් ද සහ Nosthush Kenjige කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඇමරිකාව – කඩුලු 6ක් දැවී 196 (20.0) Monank Patel 36, Shayan Jahangir 20, Saiteja Mukkamalla 79, Shubham Ranjane නොදැවී 48, Bas de Leede 3/37
නෙදර්ලන්තය – සියලුම දෙනා දැවී 103 (15.5) Bas de Leede 23, Scott Edwards 20, Harmeet Singh 4/21, Shadley van Schalkwyk 3/21, Mohammad Mohsin 2/19
ඇමරිකා කණ්ඩායමට ලකුණු 93ක ජයක්.
- තරගයේ වීරයා – Harmeet Singh (ඇමරිකාව)
විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















