හොංකොං යන සය සාමාජික කණ්ඩායමේ නායකත්වය ලහිරු මදුශංකට

Hong Kong Sixes

95
Hong Kong Sixes

හොංකොං ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වාර්ෂික සය සාමාජික ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නැවත වතාවක් ලහිරු මදුශංක වෙත පිරිනමා තිබෙනවා.

33 වැනි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ලහිරු මදුශංක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 4කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3කට සහභාගී වී ඇති ක්‍රීඩකයෙක්.

වසර 17කට පසුව හොංකොං සය සමාජික කිරුළ පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවට දිනා දුන් කණ්ඩායමේ නායකත්වයේ වගකීම ද දැරූ ලහිරු මදුශංක, මේ වන විට කොළඹ Bloomfield ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා.

නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර වසරේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනූ තරිඳු රත්නායක සමඟ ක්‍රීඩකයෝ 6 දෙනෙක් ම එක් ව සිටින අතර පෙර තරගාවලිය හා එක් වූ සඳුන් වීරක්කොඩි ට තම ස්ථානය අහිමි ව තිබෙනවා. ඒ වෙනුවට 28 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන සචිත ජයතිලක මෙම කණ්ඩායම හා එක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායම

 

ලහිරු මදුශංක (නායක), ධනංජය ලක්ෂාන්, තනුක දාබරේ, නිමේෂ් විමුක්ති, ලහිරු සමරකෝන්, තරිඳු රත්නායක සහ සචිත ජයතිලක.

අතිරේක – මොවින් සුබසිංහ.

මෙම තරගාවලිය නොවැම්බර් මස 7 වැනිදා සිට 9 වැනිදා දක්වා හොංකොං  රාජ්‍යයේ දී පැවැත්වෙන අතර ඊට රටවල් 12ක් සහභාගී වීමට නියමිතයි. ඔවුන් කාණ්ඩ 4ක් යටතේ පළමු වටයේ දී තරග වැදීමට නියමිත අතර ශ්‍රී ලංකාව තරග වදින්නේ Pool D යටතේයි.

Pool A

ඇෆ්ගනිස්තානය, නේපාලය සහ දකුණු අප්‍රිකාව

Pool B

ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය

Pool C

ඉන්දියාව, කුවේට් සහ පාකිස්තානය

Pool D

බංග්ලාදේශය, හොංකොං සහ ශ්‍රී ලංකාව

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<