ලොකු ගාණක්‌ එන කලම්බු මැරතන් 16 දා

295
Colombo Marathon 2016

ඔක්‌තෝම්බර් 02 වැනි දින කොළඹදී ආරම්භ වීමට නියමිත කලම්බෝ මැරතන් 2016 තරගය ශ්‍රී ලංකාව, ලෝකය තුළ ප්‍රචලිත කිරීම සඳහා ඉතා හොඳ අවස්‌ථාවක්‌ පවතින බවත් ඒ හරහා වැඩි සංචාරකයන්ගේ ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත නැඹුරු කරගත හැකි බවත් තරග සංවිධාන ආයතනය වන ලංකා ස්‌පෝර්ට්‌රයිසින් (එල්. එස්‌. ආර්.) ආයතන සභාපති තිලක්‌ වීරසිංහ මහතා අවධාරණය කර සිටියි.

පසුගිය ලිපි: 42වන ජාතික ක්‍රීඩා උළෙල යාපනයේදී ආරම්භ වේ

ගුවන් සමාගම්වල ප්‍රමුඛතම ආයතනයක්‌ වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්‌ සමාගම සහ එල්. එස්‌. ආර්. එක්‌ව සංවිධානය කරනු ලබන කලම්බෝ මැරතන් තරගාවලියේ 16 වැනි අදියර වෙනුවෙන් ඊයේ (29 දා) පැවැති මාධ්‍ය හමුවේදී වීරසිංහ මහතා ඉහත අදහස්‌ පළ කර සිටියේය. මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්‌ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ කපිතාන් සුරේන් රත්වත්තේ මහතා සහ මාධ්‍ය සංවර්ධන කළමනාකරු දීපාල් වී. පෙරේරා යන මහත්වරුද සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන මැරතන් තරග අතුරින් පවත්වනු ලබන විශාලතම මැරතන් තරගය වශයෙන් සැලකෙන කලම්බෝ මැරතන් තරගාවලිය දෙස්‌ විදෙස්‌ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ 07, ටොරින්ටන් පෙදෙසින් ආරම්භ වී මීගමුව වෙරළ උද්‍යානයෙන් අවසන් වීමට නියමිතව තිබේ.

ප්‍රථමයෙන්ම තරගකරුවන් 326 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පවත්වා ඇති මෙම මැරතන් තරගාවලියේ 16 වැන්න වන විට තරගකරුවන් 7500 කට ආසන්න සංඛ්‍යාවක්‌ තරග වදිනු ලබන බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය. එය පසුගිය වසරට සාපේක්‌ෂව තරගකරුවන් 1000 කගේ පමණ වැඩිවීමකි.

ඒ අනුව මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව විදෙස්‌ රටවල් 41 ක තරගකරුවන් සහභාගිත්වය ස්‌ථිර කර තිබෙන බවත් ඒ අතරින් වැඩිම සහභාගිත්වය චීනයෙන් බව වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි වීරසිංහ මහතා සඳහන් කර සිටියේය.

මෙහිදී චීනය නියෝජනය කරමින් තරගකරුවන් 49 ක්‌ කෙන්යාව නියෝජනය කරමින් 30 ක්‌, ඉන්දියාවෙන් 27 ක්‌, ඇමරිකාවෙන් 15 ක්‌, ජපානයෙන් 13 ක්‌, බ්‍රිතාන්‍යයෙන් 12 ක්‌ සහ ප්‍රංශයෙන් 9 ක්‌ වශයෙන් වැඩිම තරගකරුවන් සංඛ්‍යාවක්‌ පැමිණෙන රටවල් බවට පත්ව සිටියි.

”ඊයේ වෙනකොට අයෑදුම්පත් 6778 ක්‌ සහභාගිවන බව ස්‌ථිර කරලා තියෙනවා. ඉන් 3392 දෙනෙක්‌ ශ්‍රී ලංකාවෙන් නියෝජනය කරනවා. කොහොම වුණත් හෙට අනිද්දා වෙනකොට මේ සංඛ්‍යාව 7500 විතර වෙයි” යෑයි තරගාවලියේ නිර්මාතෘවරයා වන වීරසිංහ මහතා පවසයි.

ඔක්‌තෝම්බර් මස 02 වැනිදා පෙ.ව. 6 ට ආරම්භ වීමට නියමිත කලම්බෝ මැරතන් තරගය බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ සහ වත්තල හරහා ගොස්‌ හැමිල්ටන් ඇළ අසලින් ඇති මාර්ගය ඔස්‌සේ පමුණුගම, තලාහේන, පිටිපන, දූව හරහා වූ කි.මී. 41.195 ක දුරක්‌ ගෙවා මීගමුව වෙරළ උද්‍යානයට පැමිණීමෙන් අවසන් වනු ඇත.

මෙම තරගයට සමගාමීව, කි. මී. 21.097 ක දුරකින් සමන්විත අර්ධ මැරතන් තරගයක්‌ද කි. මී. 10 ක සහ කි. මී. 5 කින් සමන්විත අර්ධ විනෝද ධාවන තරගයක්‌ද මෙවර තරගාවලිය යටතේ පැවැත්වෙනු ඇත.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ සියලු නීති සහ රෙගුලාසියන්වලට අනුව පැවැත්වෙන මෙම මැරතන් තරගයේදී මෙවරත් 7000 කට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක්‌ තරග වැදීමේ සූදානමකින් පසුවෙති.

තරගයේ ප්‍රධානම ඉසව්ව වන පූර්ණ මැරතන් තරගයේ ජයග්‍රාහකයාට සහ ජයග්‍රාහිකාවට ඇමරිකානු ඩොලර් 2500 ක මුදලක්‌ මෙන්ම ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකන් එයාර්ලයින් වෙතින් ගුවන් ප්‍රවේශ පත්‍රය බැගින් පිරිනැමෙනු ඇත. තවද දෙවැනි සහ තෙවැනි ස්‌ථාන සඳහා පිළිවෙළින් ඇමරිකානු ඩොලර් 1500 සහ 1000 බැගින්ද පිරිනැමීමට තරග සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.

මෙම තරගාවලිය සංවිධානය කිරීම වෙනුවෙන් එල්. එස්‌. ආර්. ආයතනයට රුපියල් මිලියන 20 කට අධික මුදලක්‌ වැය වෙනු ලබන අතර ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනයට හැර ඒ සඳහා අනුග්‍රාහකත්වයක්‌ පිරිනැමීම සඳහා කිසියම් ආයතනයක්‌ ඉදිරිපත් වන්නේ නම් එය ඉතා වටිනා බවත් වීරසිංහ මහතා අවධාරණය කරයි.

අවසන් වරට පැවැති තරගාවලියේ කාන්තා ශූරතාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක වන බී. ජී. එල්. බෝගහවත්ත විසින් දිනාගන්නා ලද අතර ඇයගේ තරග නිමා කාලය ලෙස පැය 3(02(38 කාලයක්‌ සටහන් විය. පිරිමි අංශයේ ශූරයා බවට පත්වූ කෙන්යානු ක්‍රීඩක අන්තෝනි ඩුගු මුගෝ සිය ඉසව්ව පැය 2(23(17 ක කාලයකින් අවසන් කරනු ලැබීය.