Champions League පාපන්දු තරගාවලිය ඇරඹෙයි!

14
Champions League sri lanka 2025

වසර හතරක ඇවෑමෙන් පසුව නැවතත් දේශීය පාපන්දු කරළියට පැමිණි Champions League පාපන්දු තරගාවලිය ඊයේ (21) කොළඹ තුරග තරග පිටියේ දී ආරම්භ වුනා.

තරගාවලියේ පළමු දිනයේ දී තරග දෙකක් ක්‍රියාත්මක වූ අතර, එහි දී ශ්‍රී ලංකා පොලිසිය සහ Super Sun ක්‍රීඩා සමාජයත්, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ Pelicans ක්‍රීඩා සමාජයත් තරග බිමට පිවිසුණා.

මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ Pelicans

තරගයේ පළමු අර්ධය තුළ Pelicans ක්‍රීඩා සමාජය වෙනුවෙන් යසවින් තිරිමාන්න විසින් විශිෂ්ට ගෝලයක් රැස් කරමින්,  තම කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය මෙන්ම තරගාවලියේ පළමු ගෝලය ද වාර්තා කිරීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වී මොහොතක් ගත මොහොතේ දී මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය වෙනුවෙන් පුබුදු සපුලන්ද විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒත් සමඟම තරගය නැවතත් සම මට්ටමට පැමිණියා.

මින් අනතුරුව කණ්ඩායම් දෙකම නැවතත් තරගයේ වාසිය තමන් නතු කර ගැනීමට උත්සාහ දරමින් ක්‍රීඩා කලත්, තවත් එකදු ගෝලයක් හෝ වාර්තා වුනේ නැහැ. ඒ අනුව මෙම තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුනා.

ශ්‍රී ලංකා පොලිසිය සහ Super Sun ක්‍රීඩා සමාජය

තරගාවලියේ දෙවැනි තරගය ලෙස ආරම්භ වූ මෙම තරගයේ පළමු අර්ධය තුළම තරගයේ ජය තහවුරු කර ගත හැකි අන්දමේ ක්‍රීඩා විලාශයකට අවතීර්ණ වීමට පොලිස් ක්‍රීඩකයින් විසින් සමත් වුනේ ගෝල ත්‍රිත්වයක් ම වාර්තා කරමිනුයි.

මෙහි දී චලක නිශාන්ත විසින් තරගයේ එකොළොස් වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන් පසුව තරගයේ 39 වැනි මිනිත්තුවේ සහ 43 වැනි මිනිත්තුවල දී පොලිස් ක්‍රීඩකයින් විසින් තවත් ගෝල ද්විත්වයක් වාර්තා කළා.

තරගයේ දෙවැනි අර්ධය තුළ Super Sun ක්‍රීඩකයින් විසින් නැවත තරගයට අවතීර්ණ වීමට උත්සාහ දැරූ නමුත්, එය එතරම් සාර්ථක වුනේ නැහැ. තරගයේ 81 වැනි මිනිත්තුවේ දී Super Sun ක්‍රීඩකයින් විසින් සිය පළමු සහ එකම ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

ඒ අනුව පොලිස් ක්‍රීඩා සමාජය තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා.

  • පොලිස් ක්‍රීඩා සමාජය 3 – Super Sun ක්‍රීඩා සමාජය 1

තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (22) දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>