කිරිගිස්තානය අත්‍යවශ්‍ය ම තරගයේ දී වාඩුව ගනී

CAVA U-19 Women Volleyball Championship 2025

166

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන CAVA වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් ශූරතාවලියේ අද (8) නිමා වූ පළමු අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කළ කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගත්තා.  

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ දී කිරිගිස්තානය තරග වට 3-0ක් ලෙසින් පහසුවෙන් ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූව ද අත්‍යවශ්‍ය ම තරගයේ දී ඔවුන්ට සිතූවක් කර ගැනීමට හැකි වෙන්නේ නැහැ.   

එම තරග ජයග්‍රහණයත් සමඟින් කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අභිමානනීය ජයක්

මෙම තරගයේ පළමු වටයේ පළමුවෙන් පන්දුව යොමු කිරීමේ අවස්ථාව කිරිගිස්තානය සතු වූ අතර ඔවුන් පිට පිට ම ලකුණු 4ක් ලබා ගනිමිනුයි ශ්‍රී ලංකාවට පන්දුව යොමු කිරිමට අවස්ථාව ලබා දෙන්නේ. අනතුරු ව ලකුණු පුවරුව 12-8ක් ලෙසින් කිරිගිස්තානය ඉදිරියෙන් පසුවෙද්දී ශ්‍රී ලංකාව විසින් පළමු විවේක කාලය ලබා ගන්නවා.  

එතැන් සිට කිරිගිස්තානය ලකුණු 2ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාව ලකුණු 3ක් ලබා ගනිමින් ලකුණු තත්ත්වය 14-11ක් බවට පත් කරනවා. ඒ සමඟ ම කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ තම පළමු විවේක කාලය ලබා ගන්නේ ශ්‍රී ලංකා රිද්මයට බාදා එල්ල කිරීමේ අටියෙනුයි. නමුත් ඔවුන් පෙර රිද්මය ම පවත්වාගෙන යමින් තරගයේ ලකුණු පුවරුව 14-14ක් ලෙසින් සම තත්ත්වයට ගෙන එනවා.  

නමුත් එතැන් සිට කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ ඉදිරියට පිවිසෙන අතර ඔවුන් පිට පිට ම ලකුණු 3ක් ලබා ගනිමිනුයි, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙත පන්දුව භාර දෙන්නේ. ඉන් අනතුරු ව ශ්‍රී ලංකාව ලකුණෙන් ලකුණු ලබා ගනිමින් ලකුණු පුවරුව 21-21ක් බවට පත් කරනවා. එම අවස්ථාවේ දී නැවත කිරිගිස්තාන ක්‍රිඩිකාවෝ තම 2 වැනි සහ අවසන් විවේක කාලය ලබා ගන්නවා.  

එතැන් සිට තරගයේ ලකුණු පුවරුව ලකුණෙන් ලකුණ සම වෙමින් පැවැති අතර ලකුණු තත්ත්වය 24-23ක් වෙද්දී තීරණාත්මක පන්දුව යොමු කිරීම ශ්‍රී ලංකාවට හිමි වූවා. එහෙත් ප්‍රතිවාදිනියකගේ දැවැන්ත ප්‍රහාරයක් සමඟින් එහි වාසිය ඔවුන් සතු වූ අතර නැවත ලකුණු තත්ත්වය සම වූවා. අනතුරු ව අවසන් ලකුණේ පන්දුව යොමු කිරීමේ අවස්ථාව හිමි වූයේ කිරිගිස්තාන ක්‍රීඩිකාවන් වෙතයි. ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තම අවසන් විවේක කාලය ලබා ගත්තා.  

එහෙත් එම අවස්ථාවෙන් අනතුරුව ද තරගයේ වැඩි වාසි හිමි කර ගත්තේ කිරිගිස්තාන ක්‍රීඩිකාවෝයි. ඒ අනුව තරගයේ පළමු වටය නිමාවෙන්නේ 26-24ක් ලෙසින් කිරිගිස්තාන ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණය හිමි වෙමිනුයි.

තරගයේ 2 වැනි වටයේ පළමු ලකුණු 3 ශ්‍රී ලංකාව ලබා ගත් පසුවයි කිරිගිස්තානයට පන්දුව යොමු කිරීමේ අවස්ථාව ලබා දෙන්නේ. ඉන් අනතුරු ව ලකුණු 5 දී සම ලකුණු පුවරුවක් නිර්මාණය වෙන අතර එතැන් සිට ලකුණු 7ක් දක්වා ම එම තත්තවය පැවැතියා. නැවත 9 වැනි ලකුණේ දී ලකුණු තත්ත්වය සම වෙන අතර ඉන් පසුව ලකුණු 11-9ක් ලෙසින් කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් පසු වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තම පළමු විවේක කාලය ලබා ගන්නවා.  

එම විවේක කාලයෙන් පසුව ද තරගයේ වැඩි ප්‍රහාරාත්මක ආදිපත්‍යයක් පතුරුවාගෙන සිටියේ කිරිගිස්තානයයි. ඒ අනුව ලකුණු පුවරුව 17-12ක් බවට වෙද්දී ශ්‍රී ලංකාව තම අවසන් විවේක කාලය ද ලබා ගන්නවා.

එම විවේක කාලයෙන් පසුව කිරිගිස්තානය ලකුණු 3ක් ලබා ගනිමින් ලකුණු 20ක් බවට ද සහ ශ්‍රී ලංකාව ලකුණු 4ක් ලබා ගනිමින් ලකුණු 16ක් බවට ද පත් කර ගැනීමත් සමඟින් කිරිගිස්තානය තම පළමු විවේක කාලය ලබා ගන්නවා. 

අනතුරු ව තරගයේ වැඩි වාසි කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ සතු වූව ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දැඩි තරගකාරීත්වය හේතුවෙන් ලකුණු පුවරුව 23-21ක් වෙද්දී  කිරිගිස්තානය තම අවසන් විවේක කාලය ද ලබා ගන්නවා. ඉන් අනතුරු ව කිරිගිස්තානය ලකුණු 25-22ක් ලෙසින් එම තරග වටය ජයග්‍රහණය කරමින් තරග වට 2-0ක් ලෙසින් ඉදිරියට පිවිසෙනවා.  

තරගයේ තීරණාත්මක 3 වැනි වටය ආරම්භ වෙන්නේ කිරිගිස්තාන පන්දු යොමු කිරීමෙනුයි. එම ලකුණ ප්‍රතිවාදී සත්කාරක ක්‍රීඩිකාවන් සතු වූ අතර ලකුණු තත්ත්වය 7-2ක් ලෙසින් කිරිගිස්තානය ඉදිරියෙන් පසු වෙද්දී ශ්‍රී ලංකාව විසින් පළමු විවේක කාලය ලබා ගත්තා.  

නමුත් එතැන් සිට ද සෑම විටක ම ඉදිරියෙන් පසු වීමට කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූව ද ලකුණු තත්ත්වය 11-8ක් බවට පත් වෙද්දී කිරිගිස්තානය තම පළමු විවේක කාලය ලබා ගන්නවා.  

එතැන් සිට ද සුපුරුදු ලෙසින් ම තම ලකුණු පුවරුවට ලකුණෙන් ලකුණු එකතු වෙමින් ලකුණු පුවරුව 17-10ක් වෙද්දී ශ්‍රී ලංකාව තම 2 වැනි විවේක කාලය ද ලබා ගන්නවා. එහෙත් එමඟින් ද ප්‍රතිවාදීන්ගේ සාර්ථකත්වය අඩපණ කිරීමට ශ්‍රී ලංකාවට හැකි වෙන්නේ නැහැ. ඒ අනුව එම තරග වටය ද ලකුණු 25-15ක් ලෙසින් පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වෙනවා.  

ඒ අනුව තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගයෙන් ශ්‍රී ලංකාවට තරග වට 3-0ක පරාජයක් විඳ ගැනීමට සිදු වෙනවා.  

මෙම තරගාවලියේ උණුසුම ThePapare.com, ThePapare 2 (Dialog TV චැනල් 63) සහ Dialog ViU app මඟින් ඒ ලෙසින් ම දැක බලා ගැනීමට ThePapare.com ඔබ වෙත පහසුකම් සලසා තිබෙනවා.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<