ශ්‍රී ලංකාව ටර්මකිස්තානයට පරාජය වෙයි

CAVA Men's Volleyball Nations League 

84
CAVA Men's Volleyball Nations League 

මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කරන CAVA Nations කුසලාන වොලිබෝල් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ටර්මකිස්තාන කණ්ඩායම අතර අද (23) බංග්ලාදේශයේ Dhaka හි දී පැවැති තරගයෙන් තරග වට 3-1ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වෙනවා.  

තරගය ආරම්භ කරමින් පැවැති පළමු වටය ආරම්භයේ දී ටර්මකිස්තානය ඉදිරියෙන් සිටි අතර අනතුරු ව ශ්‍රී ලංකාව ඒ පිටුපස පැමිණ ලකුණු තත්ත්වය 6-6ක් ලෙසින් සම කර ගත්තා.

එතැන් සිට ලකුණු පුවරුව 8-6ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියට යද්දී ටර්මකිස්තානය පළමු විවේකකාලය ලබා ගත්තා. එතැන් සිට ද තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායම සතු වූ අතර ලකුණු 12ක් වෙද්දී නැවත දෙරට ක්‍රීඩකයෝ ලකුණු සම ගෙන ආවා.

එතැන් සිට තරගයේ පාලනය 21-18ක් ලෙසින් ටර්මකිස්තානය සතු වූ අතර එම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව තම පළමු විවේකය ලබා ගත්තා. ඉන් අනතුරු ව ලකුණු ද්විත්වයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව සාර්ථක වෙද්දී  ටර්මකිස්තානය තම 2 වැනි විවේකය ලබා ගත්තා.

විවේකයෙන් අනතුරු ව ටර්මකිස්තානය ලකුණු 23-20ක් ලෙසින් ඉදිරියට පැමිණි අතර ඒ වෙද්දී ශ්‍රී ලංකාව නැවත විවේකයන් ලබා ගන්නවා. එම විවේකයෙන් අනතුරු ව ශ්‍රී ලංකාව ලකුණු ද්විත්වයක් ලබා ගනිද්දී, ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය ලකුණු ද්විත්වය ප්‍රතිවාදීන් විසින් ලබා ගනිද්දී ලකුණු පුවරුව දැක් වුණේ 25-22ක් ලෙසයි.

තරගයේ 2 වැනි වටය ද ආරම්භ වෙන්නේ ටර්මකිස්තාන ක්‍රීඩකයන්ට වාසි දායක ලකුණු පුවරුවක් නිර්මාණය වෙමිනුයි. ඔවුන් ලකුණු 5-1ක් ලෙසින් ඉදිරියට පැමිණෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු විවේකය ලබා ගන්නවා.

නමුත් එතැන් සිට ද තරගයේ පාලනය පැවැතියේ ටර්මකිස්තානය වෙතයි. ඔවුන් ලකුණු 10-3ක් ලෙසින් ඉදිරියෙන් සිටි අතර අනතුරු ව ලකුණු පුවරුව 18-10ක් වෙද්දී නැවත ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විසින් ම විවේකයක් ලබා ගන්නවා.

එහෙත් එම විවේකයෙන් පසුව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එතරම් ම වාසි දායක වූයේ නැහැ. ඔවුන් ලකුණු 6ක් ලබා ගනිද්දී ටර්මකිස්තාන ක්‍රීඩකයෝ ලකුණු 7ක් ලබා ගනිමින් තරගය 25-16ක් ලෙසින් නිමා කරනවා. ඒ අනුව ඔවුන් තරගයේ තෙවැනි වටයට පිවිසෙන්නෙ 2-0ක් ලෙස ඉදිරියෙන් සිටිමින්.

එම වටය ආරම්භයේ දී දෙරට ක්‍රීඩකයෝ එකිනෙකා නොපරදින ලෙසින් තරගයට පිවිසීම කැපී පෙණුනා. ඔවුන් ලකුණු 2 දී සහ ලකුණු 4 දී සම ලකුණු ලබා ගත් අතර ඊට පසු ව ලකුණු 7 සිට 11 දක්වා මාරුවෙන් මාරුවට ලකුණු ලබා ගනිමින් ලකුණු පුවරුව සම තත්ත්වයේ පවත්වා ගෙන යෑමට දෙරට ක්‍රීඩකයෝ සමත් වෙනවා.

අනතුරු ව ලකුණු පුවරුව 13-11ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණෙද්දී ටර්මකිස්තානය පළමු විවේකය ලබා ගන්නවා. එහෙත් එතැනින් පසුව තවත් ලකුණු ද්විත්වයක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙද්දී නැවත විවේකයක් ලැබෙනවා.

එම විවේකයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 2ක් එක් වීමෙන් පසුවයි ප්‍රතිවාදීන්ට ලකුණක් හිමි වෙන්නේ. අනතුරු ව ලකුණු පුවරුව 17-13ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිය දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ද විවේකයක් ලබා ගන්නවා.

එතැන් සිට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 3ක් ලබා ගනිමින් ඉදිරියට පැමිණෙද්දී ටර්මකිස්තානයට හිමි වෙන්නේ ලකුණක් පමණයි. නමුත් ඊට පසුව ටර්මකිස්තාන ක්‍රීඩකයෝ ප්‍රබල තරගයකට අවතීර්ණ වෙමින් ශ්‍රී ලංකාවට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා. එහෙත් එම තරග වටය අවසන් වූයේ ලකුණු 25-20ක් ලෙසින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි වෙමින්.

ඒ අනුව තරග වට 2-1ක් ලෙසින් ටර්මකිස්තානය ඉදිරියෙන් සිටිය දී තරගයේ සිව් වැනි වටය ආරම්භ වෙන අතර එහි දී එකිනෙකා නොපරදින ලෙසින් දෙරට ක්‍රීඩකයෝ තරගයට අවතීරණ වීම කැපී පෙණුනා. ඔවුන් නැවත නැවතත් ලකුණු සම තත්ත්වයට ගෙන එමින් තරග වැදුණ අතර ලකුණු තත්ත්වය 11-8ක් ලෙසින් ටර්මකිස්තානය ඉදිරියට පැමිණෙද්දී ශ්‍රී ලංකාව විසින් පළමු විවේකය ලබා ගත්තා.

එම විවේකයෙන් පසුව ද වැඩි අවස්ථාවන් ප්‍රමාණයක දී ඉදිරියෙන් සිටියේ ටර්මකිස්තානය වන අතර ලකුණු 15-14ක් ලෙසින් ටර්මකිස්තානය ඉදිරියෙන් සිටිය දී නැවත දෙරට ක්‍රීඩකයන් විවේකයන් හිමි වුණා.

එම විවේකයෙන් අනතුරුව ලකුණු 19-16ක් ලෙස ටර්මකිස්තනාය ඉදිරියෙන් සිටිය දී නැවත ශ්‍රී ලංකාව විසින් විවේකයක් ලබා ගනිමින් එම ගමන වලක්වා ගැනීමේ උත්සාහයක නිරත වෙනවා. එම විවේකයෙන් අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 2ක් ලබා ගන්නා ලද අතර ඒ සමඟින් ටර්මකිස්තාන ක්‍රීඩකයෝ ද විවේකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ගමන වලක්වනවා.

එම විවේකයෙන් අනතුරු ව තරගය වඩාත් තීව්‍ර වෙන අතර ලකුණු තත්ත්වය 20-20ක් ලෙසින් සම තත්ත්වයට පත් වුණා. නමුත් එතැන් සිට ටර්මකිස්තාන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් අතර ඔවුන් පිට පිට ලකුණු 5ක් ලබා ගනිමින් 25-20ක් ලෙසින් එම තරග වටය ජයග්‍රහණය කරනවා.

ඒ අනුව ටර්මකිස්තාන ක්‍රීඩකයෝ තරග වට 3-1ක් ලෙසින් ශ්‍රී ලංකාව පරාජය කරනවා.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය හෙට (24) පස්වරු 5.00ට බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>