ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතුරින් ඉතා කුඩා රටක් වූවත් අන් කිසිදු ‘මහා රටක්’ නොකරන තරමේ වික්‍රමයන් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ වන්නේ ඔවුන්ගේ උපන් හැකියාව නිසායි. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය වැනි රාජ්‍යයන් වල ක්‍රීඩකයන්ට උරහිස් සහ බාහුවල ශක්තියත්, ආසියානු ක්‍රීඩකයන්ට මැණික් කටුවේ ශක්තියත් විශේෂයෙන් පිහිටා ඇති අතර ඒ වෙනස ජාත්‍යන්තර තරග විමසිල්ලෙන් නැරඹීමේ දී හොඳින් දැකිය හැකිය.

පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන තෙඅංශයෙන්ම දස්කම් දක්වා ඇති ශ්‍රී ලාංකික ටෙස්ට් ක්‍රීඩකයන් අතුරින් පන්දු යවන්නන් විශේෂ තැනක් ගන්නේ ඔවුන්ගේ ඒ ආවේණික දස්කම් සහ බුද්ධිමත්භාවය එකට කැටි වූ විට අනෙකුත් පිතිකරුවන්ට යනෙන මං නැති වන බැවිනි. ඇඟිලි, මැණික් කටුව සහ මනස එක ලෙස යොදා ගනිමින් විශේෂ දක්ෂතා පා ඇති ශ්‍රී ලාංකික පන්දු යවන්නන් විසින් බිඳ හෙලා ඇති කඩුළු ගණන බොහෝය.

එවන් ආවේණික දස්කම් ඇති පන්දු යවන්නන්ට උදාහරණ කිහිපයක් සැපයුවහොත් මුත්තයියා මුරලිදරන්, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, තරිඳු කෞෂාල් සහ අකිල ධනංජය වැනි නම් කිහිපයක්ම මතකයට නැඟේ. වේගපන්දු යවන්නන්ට හිතකර නොවන තණතිලි ඇති රටක ඉපදී වේගපන්දු විශේෂඥයන් බවට පත්වූ පන්දු යවන්නන් කිහිප දෙනෙකු ද මීට එකතු කළ හැකි .

අපගේ මේ උත්සාහය, ලොව වැඩි ම ටෙස්ට් කඩුලුලාභියා ද බිහි කෙරුණු, වසර 35ක මතකයන්ට උරුමකම් කියන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දක්ෂතම පන්දු යවන්නන් පස්දෙනා වෙත අවධානය යොමු කිරීමටයි.

5.  රුමේෂ් ජෝශප් රත්නායක

ibnlive.in
ibnlive.in

රුමේෂ් රත්නායක, ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනා ගත් මුල් කාලයේ දී ම ලෝකයේ අවධානය දිනා ගත් දකුණත් මඳ වේගපන්දු යවන්නෙකි. හිස වටා පැළඳ සිටි සුදු පටියත්, කැරලි කොණ්ඩයත් ඔහුගේ බාහිර සලකුණු වූ අතර ඔහුගේ ඇතුළත සැඟවී සිටි “මහත්මයා” වෙනුවට ඔහුගෙන් දිස්වූයේ සටන්කාමී තරුණ වේගපන්දු යවන්නෙකු විය. ජාත්‍යන්තර පිටියේ දී වේගපන්දු යැවිය යුත්තේ කෙසේ ද, වේගපන්දු යවන්නෙකු කෙසේ විය යුතු ද යන කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීමට කිසිදු පහසුකමක් නොතිබුණු යුගයක ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රතිවාදී පිතිකරුවන් සලිත කළේය.

යොවුන් ක්‍රීඩකයෙකු වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වූ රුමේෂ්, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිසා වේගයත් ඉපිලීමත් යන දෙඅකාරයෙන්ම ප්‍රතිවාදී පිතිකරුවන්ට තර්ජනයක් විය. බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකු වූ ඔහු වේගයෙන් පන්දුවට පහර දෙන්නට ද සමතෙකු විය. 1985/86 තරග වාරයේ දී ඉන්දියාවට එරෙහිව පැවති තරගාවලියේ දී කඩුලු 20ක් ලබා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 22ක් පමණි.

අෂන්ත ද මෙල් හා එක්ව ශ්‍රී ලංකාව බිහි කළ පළමු ශක්තිමත් ආරම්භක වේගපන්දු යවන්නන් යුගලයනිර්මාණය කිරීමට ද ඔහු සමත් විය. වේගයත් ඉපිලීමත් යොදා ගෙන ඕනෑම ප්‍රබල පිතිකරුවෙකුට තර්ජනයක් වීමේ ශක්තිය සහිත වුවද ඔහු සංවේදී මනසකින් යුත් හොඳ මහත්මයෙකු විය.

එක්දින තරග 70ක් තුළ දී කඩුලු 76ක් ලබා ගත් ඔහු ටෙස්ට් තරග 23කදී කඩුලු 73ක් දවා ගෙන ඇත. ටෙස්ට් ඉනිමක දී කඩුලු 5 බැගින් ඔහු 5 වරක් ලබාගෙන ඇති අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව 1990/91 තරග වාරයේ දී සහභාගී වූ තරගාවලියේ එක් ඉනිමක දී ලකුණු 66කට කඩුලු 6ක් දවා ගැනීම ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙස සටහන්ව ඇත.


4.  සපරමාදු ලසිත් මාලිංග

imgsi.com
imgsi.com

ලසිත් මාලිංග, ගාල්ලේ රත්ගම උපන් ක්‍රීඩාශීලී යෞවනයෙකි. සෑම දිනකම සන්ධ්‍යා වරුවේ දී අවට මිතුරන් හා එක්ව සැහැල්ලු පන්දු ක්‍රිකට් හෝ වෙරළ ක්‍රිකට් (beach cricket) ක්‍රීඩාවේ අසීමාන්තිකව නිරත වූ ඔහුව රාත්‍රී භාගය වන විට කනින් අල්ලා නැවත නිවසට හරවා එව්වේ ඔහුගේ මව යි. එහෙත් අනාගතයේ දිනක ඔහු ලෝකයේ දක්ෂතම විස්සයි විස්ස පන්දු යවන්නාවනු ඇතැයි ඇය සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

තිරස් ආකාරයට අත හසුරුවමින් (slingy) පන්දු යවන දකුණත් වේගපන්දු යවන්නෙකු වන බැවින් ඔහුට ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අමතන්නේ “ස්ලිංගා-මාලිංගා” යනුවෙනි. තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ යුගයේ දී ඒ විශේෂ ඉරියව්ව සමඟ අධික වේගයෙන් පන්දු යැවීමේ හැකියාව ද ඔහු සතු වූ බැවින් ප්‍රතිවාදී පිතිකරුවන් පන්දුව සොයා ගැනීමටවත් නොහැකිව අන්ද මන්ද විය. තම පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දී ම කඩුලු 4ක් දවා ගත් ඔහු ලෝකයේ අවධානය දිනා ගත්තේය.

සීමිත ඕවර තරග දිවිය තුළ විශේෂ දක්ෂතා දැක්වීමට සමත් වූ මාලිංග, එක්දින තරග තුළ කඩුලු ත්‍රිත්වයන් ත්‍රිත්වයක්ලබාගෙන ඇත. එමෙන්ම විස්සයි විස්ස කඩුලු ත්‍රිත්වයක් ද ඔහු සතුයි. ජාත්‍යන්තර තරගයක් තුළ යැවූ පන්දු 4ක් තුළ එකපිටම කඩුලු 4ක් දවා ගෙන ඇති එකම පන්දු යවන්නා ද ඔහු ය. තමා හිතන පතන ආකාරයට යෝකර් පන්දු යැවීමේ හැකියාවක් ඇති මාලිංග, තමා හිතන පතන දේ නොබියව පැවසීමටත් ඕනෑම මොහොතක දී සූදානම් ය.

ඔහුගේ සිංහ කේශර වන් කොණ්ඩා මෝස්තරය නිසා 2007 ලෝක කුසලානයට සහභාගී වූ සරාගීම ක්‍රිකට් ක්‍රීඩකයන් වූ කෙවින් පීටර්සන්, ක්‍රිස් ගේල් වැන්නන් අතර ඔහුට ද ස්ථානයක් හිමි විය. ආබාධ තත්වයක් හේතුවෙන් පූර්ණ දක්ෂතා දැක්වීමකින් තොරවම ටෙස්ට් පිටියෙන් සමුගන්නට ඔහුට සිදුවුවද, සීමිත ඕවර ක්‍රිකට් රටාව තුළ තමන්ගේ ආධිපත්‍ය තහවුරු කරන්නට ඔහු සමත් විය.

දැනට (2017-05) එක්දින තරග 191ක් තුළ දී කඩුලු 291ක් දවා ගෙන ඇති මාලිංග, ටෙස්ට් තරග 30 කදී කඩුලු 101ක් දවා ගත්තේය. ටෙස්ට් ඉනිමක දී කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථා 3ක් ඊට ඇතුළත් වූ අතර 2010 ඉන්දියාවට එරෙහිව ටෙස්ට් ඉනිමක දී ලකුණු 50ක් ලබා දී ලබා ගත් කඩුලු 5 ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීමේ දස්කමයි.


3.  හේරත් මුදියන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර

Rangana Herath to captain Sri Lanka in Zimbabweරංගන හේරත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රදේශයේ ඉපිද, කුරුණෑගල මලියදේව විදුහලෙන් අධ්‍යාපනය ලද, දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛතම ටෙස්ට් දඟපන්දු යවන්නා පමණක් නොව, ලෝකයේ ප්‍රමුඛතම වමත් ටෙස්ට් දඟපන්දු යවන්නා ද වේ.

පිතිකරුවෙකු ලෙස තම ක්‍රිකට් දිවිය ආරම්භ කළ රංගන හේරත්, වමත් දඟපන්දු කරණයේ දස්කම් දක්වන්නට පෙළඹුණේ ඉන් පසුවය. 90 දශකයේ දී දඟපන්දු යවන්නෙකුට ජාතික කණ්ඩායමට පිවිසීමට තිබූ අපහසුව ගැන අපි දනිමු. ඒ, ලොව අංක එකේ දඟපන්දු යවන්නා එවකට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වීම නිසායි. එහෙත් ඒ අභියෝගය ද ජය ගත් රංගන, ජාතික ටෙස්ට් කණ්ඩායමට පිවිසෙන්නේ 1999 වසරේ දී යි. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති එම තරගය තුළ දී ලොව අංක එකේ පන්දු යවන්නා එක් අන්තයකින් කඩුලු 5ක් දවා ගනිද්දී හේරත් අනෙක් අන්තයෙන් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. එහි දී ඔහුගේ වමත් “කැරම් පන්දුව”, ලොව හමුවේ පළමු  වරට ප්‍රදර්ශනය විය.

පසුව හැම්ෂයර් සහ සරේ යන එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායම් නියෝජනය කිරීමත් සමඟ අත්දැකීම් රාශියක් ලබාගත් ඔහු ප්‍රතිවාදීන් බියගන්වනසුළු පන්දු යවන්නෙකු විය. ඔහුගේ පන්දුවක් නිදැල්ලේ හැරීමට පිතිකරුවෙකුට ලැබෙන අවස්ථාවන් ඉතා විරලය. ඒ ඔහුගේ ඉලක්කය ඉතාම තියුණු වන බැවිනි. ඔහුගේ ශක්තිය නම් ඔහුගේ ඒ නිවැරදි ඉලක්කයයි. එමෙන්ම පන්දුව දඟ කවන ඉරියව්වෙන්ම ආමර්පන්දු යැවීමට ද ඔහු සමතෙකි. වරෙක විචාරකයෙකු මේ පිළිබඳ ප්‍රශ්න කිරීමේ දී ඔහු කියා සිටියේ පන්දුව දඟකැවෙන අන්තය ඔහු ද නොදන්නා බවයි.

පළමු පෙළ කඩුලු 1000 සීමාව පසු කර ඇති රංගන, එක්දින පිටියේ තරග 71කදී කඩුලු 74ක් දවා ගෙන ඇත. මේ වන විට (2017-05) ටෙස්ට් තරග 80කදී කඩුලු 373ක් ලබාගෙන ඇති ඔහු ටෙස්ට් ඉනිමක දී කඩුලු 5 බැගින් ලබාගත් අවස්ථා 29කි. 2014 වසරේ දී පකිස්තානයට එරෙහි ටෙස්ට් ඉනිමක දී ලකුණු 127කට කඩුලු 9ක් දවා ලන්නට ඔහු සමත් වූ අතර එය එක් ටෙස්ට් ඉනිමක දී ඔහු දැක්වූ හොඳම පන්දු යැවීමේ දක්ෂතාවයයි.


2.  වර්ණකුලසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝශප් චමින්ද වාස්

gettyimages.com
gettyimages.com

චමින්ද වාස් නමැති ඔහු, ශ්‍රී ලංකාවෙන් එතෙක් මෙතෙක් බිහි වූ සාර්ථකම වේගපන්දු යවන්නා ය. සාමාන්‍යයෙන් වමත් වේගපන්දු යවන්නෙකු සතු ප්‍රබලතම අවිය වන දකුණත් පිතිකරුගෙන් ඇතුළතට දෝලනය වන පන්දුව‘ (in swinger) ඔහුගේ ද ප්‍රබලතම අවිය වූ අතර වමත් ආරම්භක පිතිකරුවන් බොහෝ දෙනෙකු ද ඔහුට ගොදුරු විය.

ලාබාල වමත් වේගපන්දු යවන්නෙකු වශයෙන් 1995 වසරේ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංගගේ නෙත ගැටුණු ඔහුව කොළඹට ගෙනවිත් පුහුණුවීම් ලබා දෙන්නට අර්ජුන තීරණය කළේ 1996 වසරේ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමිනි. එය සාර්ථක කරමින් සාර්ථක පන්දු යවන්නෙකු බවට පත්වූ වාස්, 90 දශකයේ මැදභාගයේ සිට 2009 වසර වනතෙක්ම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළේය. තරග දිනවීමේ හැකියාව සහිත වූ වාස්ගේ නම, “විස්ඩන් හොඳම පන්දු යැවීමේ දක්ෂතා ලැයිස්තුව” මත කිහිපවරක්ම සටහන් විය.

එක්දින පන්දු යවන්නෙකු වශයෙන් ඉනිමක පළමු පන්දු තුනේ දී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ එකම පන්දු යවන්නා ඔහු ය. ලොව එක්දින ඉනිමක හොඳම පන්දු යැවීම (8/19) සටහන් වූයේ ද ඔහුගේ නමිනි. මේ දස්කම් දෙකම ඔහු සිදු කළේ වේගපන්දු යවන්නන්ට හිතකර වේගවත් තණතිලි මත දී නොවේ. ආසියාතික තණතිලි මත වේගපන්දු යවන්නෙකු වශයෙන් නමක් රඳවා ගැනීමට අවශ්‍ය සියලු අඩුවැඩිය ඔහු සතු විය.

ලෝ ප්‍රකට ක්‍රිකට් විචාරක ඩීන් ජෝන්ස් ඔහුව හැඳින්වූයේ මරණයේ වෛද්‍යවරයා‘ (doctor death) නමිනි. ඒ, පන්දුවෙන් පන්දුව පිතිකරුවන්ව තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගෙන ඔවුන් දවා ගැනීමට ඔහුට තිබූ විශේෂ හැකියාව පදනම් කරගෙනය. පසුකාලීනව පිතිකරුවෙකු වශයෙන් ද දස්කම් දැක්වූ වාස්, ටෙස්ට්  ශතකයක ද හිමිකරුවෙකි.

එක්දින තරග 322කදී කඩුලු 400ක් දවා ගෙන ඇති ඔහු ටෙස්ට් තරග 111කදී කඩුලු 355ක්ද දවා ගෙන ඇත. ඊට ඉනිමක දී කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථා 12ක් ඇතුළත් වේ. 2001 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 71කට ලබාගත් කඩුලු 7, එක් ටෙස්ට් ඉනිමක දී ඔහු දැක්වූ හොඳම දස්කමයි.


1.  මුත්තයියා මුරලිදරන්

today24news.com
today24news.com

අළුත් හෝ පරණ පන්දුවෙන් නොකඩවා ප්‍රතිවාදීන්ට අභියෝග කළ මුරලි, පන්දු යවන ඉරියව්ව විකාරරූපී ය. ඔහුගේ මුහුණේ ඉරියව් පවා භයංකාරය. අවසානයේ පිතිකරුට අත්වන ඉරණම ද කණගාටුදායක එකක්ම විය. සිය දකුණතේ මැණික් කටුව යොදා ගනිමින් පන්දුව දෙපසටම දඟ කැවීමේ විරල හැකියාව සහිත වූ ඔහු, ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ පහල වූ හොඳම පන්දු යවන්නා බව අවිවාදයෙන්ම සඳහන් කළ හැක. විස්ඩන් සඟරාව සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම ඊට සාක්ෂි දරයි.

1992/93 තරග වාරයේ ඔහු තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අරඹන විට ඔහුගේ පන්දුව නොවරදවා හඳුනා ගත හැකි වූයේ ඕස්ට්‍රේලියානු පිතිකරු ඇලන් බෝඩර්ට පමණි.

තනිව එක් අන්තයකින් නොකඩවා පන්දු යවමින් ප්‍රතිවාදී කණ්ඩායමක්ම බිමහෙලීමේ හැකියාව සතු වූ මුරලිදරන් 90 දශකයේ මැදභාගයේ දී නොයෙක් හැලහැප්පීම් වලට ලක්විය. ඒ ඔහු පන්දුව දමා ගසන්නේ යැයි චෝදනා ලැබීමත් සමඟයි. එහෙත් ලොව ප්‍රබල රටවල් විසින් එල්ල වූ ඒ සෑම අභියෝගයක්ම සාර්ථකව සහ විද්‍යාත්මකව ජය ගැනීමට සමත් වූ පසු ඔහුගේ ටෙස්ට් කඩුලු දඩයම ආරම්භ විය.

එය එංගලන්තයේ දී ම ඔප්පු කළ මුරලි, එංගලන්තය ඔවුන්ගේ නිජබිමේ දී ම පරාජය කරමින් ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට මඟ කීවේ එක් තරගයක දී කඩුලු 16ක් ලබා ගනිමිනි. ඔහුගේ ටෙස්ට් දිවියේ ඉනිම් දෙකක දී කඩුලු 9 බැගින් දවා ගැනීමට ඔහු සමත්ව ඇත.

ඔහුට පන්දුව වීදුරු තලයක් මත හෝ දඟකැවිය හැකියයි වරෙක විචාරක ටෝනි ග්‍රෙග් පැවසීය. ඔහු පන්දු යැවීම භාර ගන්නා විට පිතිකරුවන් මනසින් තැවෙන්නට වූයේ එබැවිනි. “නිහඬ දඩයක්කරුවා” (silent assassin) නමින් විරුදාවලි ලැබූ ඔහු පිටිය තුළ සෑම මිනිත්තුවක්ම විඳින්නෙකු විය.

එක්දින තරග 350කදී කඩුලු 534ක් ලබා ගත් මුරලිදරන්, සිය ටෙස්ට් දිවියේ අවසන් පන්දුවේ දී 800 වැනි කඩුල්ල දවා ගත් ඔහු අමතක නොවන අත්දැකීමක් එක්කරමින් ටෙස්ට් පිටියෙන් සමු ගත්තේ තරග 133ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය. ඉනිමක දී කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථා 67ක් පසුකිරීම ද ලෝක වාර්තාවක් වන අතර ඒ ඔහුගේ ලෝක වාර්තා ගොන්නෙන් එකක් පමණක් බව ද මෙහිලා සටහන් කළ යුතුය.

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න