කවාජාගේ ශතකය ඔස්සේ ශ්‍රී ලංකාවට ලකුණු 516ක ඉලක්කයක්!

581

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (03) නිමාවට පත්වූයේ සංචාරක ශ්‍රී ලංකා පිළ කබලෙන් ලිපට ඇද දමමිනි. ඕස්ට්‍රේලියානුවන් සැලසුම් කළ අයුරින්ම ගෙවී ගිය අද දිනය අවසානයේ, ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවෙන් හිමි වූ ඉලක්කය ලකුණු 516කි!

දිමුත්ගේ ඇබැද්දියෙන් පසු ඕස්ට්‍රේලියාවට ඉක්මන් කඩුලු 3ක්!

ඕස්ට්‍රේලියානුවන් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කරගත් ලකුණු 534ක දැවැන්ත ඉලක්කය හඹා යන ශ්‍රී ලංකාව දෙවැනි දිනයේ නිමාව සනිටුහන් වෙද්දී කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 123ක්…

කැන්බරා පිටියේ අද උදෑසනින්ම දැකගන්නට ලැබුණු සුබ දසුන වූයේ ඊයේ දිනයේ පන්දුවක් වැදීමෙන් ආබාධයකට ලක්වූ දිමුත් කරුණාරත්න ඉන් සුවය ලබා නැවතත් පිතිකරණයේ යෙදීමට පැමිණ සිටීමයි. ඒ වන විට ලකුණු 123කට කඩුලු 3ක් බිඳ වැටී අවදානම් අඩියක සිටි ශ්‍රී ලංකාවට ඔහුගේ ආගමනය සවියක් විය. කෙසේ වෙතත් කනගාටුවට කරුණ වූයේ ඔහුට නැවතත් පිටියට එන්නට සිදු වූයේ, අද දිනයේ ද පන්දුවක් හිසේ වැදී ආබාධයට ලක්වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට වීමයි!

ඉනිමේ 53 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ජේ රිචඩ්සන් තණතිල්ලේ මැද පතිත වන ලෙස එවූ පන්දුවක් ඉහළට ඉපිලී එනු ඇතැයි සිතූ කුසල් එය හිස පහත් කරමින් නිදැල්ලේ යාමට හැරිය ද පන්දුව ඔහුගේ හිස සොයා ආවේය. කෙසේ වෙතත් පිතිකරුගේ හිසේ පිටුපස කොටසත් ආරක්ෂා වන ලෙස මෑත කාලයේ හිස් ආවරණ වැඩි දියුණු කර ඇති නිසා කුසල්ට එම පන්දුවෙන් එතරම් භයානක හානියක් සිදු නොවූ බව පෙනෙන්නට තිබුණි. බිඳී ගිය හෙල්මටය වෙනුවට නව හෙල්මටයක් ගෙන්වා ගත් ඔහු පන්දුවාරය නිමා වන තෙක් ක්‍රීඩා කළ ද පසුව දැනුණු යම් සංකූලතාවයක් නිසා පිටිය හැර ගියේය.

තවත් පිතිකරුවෙකු ඕස්ට්‍රේලියානු වේගපන්දුවේ හමුවේ අසරණ වේ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බරා හී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිම දියත් කරමින් පන්දුවට පහර දෙමින් සිටි මොහොතක…

ඊයේ ඉනිම නතර කළ තැනින් ඇරඹූ දිමුත් අද තම 22 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස ලකුණු 59ක් රැස්කර ගත්තේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ද ඇතුළත් විය. අද දිනයේ පළමු කඩුල්ල ලෙස අධික වේගයකින් පන්දු යවමින් සිටි ස්ටාර්ක් හමුවේ ධනංජය දැවී ගියේ තම පිත්ත කඩුල්ලේ (Hit wicket) දැවටීමෙනි. ඒ බවුන්සර් පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට යාමේ දී සිරුරේ සමබරතාවය පවත්වා ගැනීමට නොහැකි වූ තැන ඔහු අතින් පිට ඉන්නේ බේලය ඉවත් වූ බැවිනි. ඒ වන විට ඔහු ලකුණු 25ක් ලබා සිටියේය. ඉන් පසු පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල ද ධනංජයට සමාන ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්ත ද දිගු ඉනිමක් කරා යාමට අපොහොසත් විය.

දේශීය තරගවල දී පිතිකරණයෙන් දක්ෂතා පෙන්නුම් කළ ද අද මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන චාමික කරුණාරත්නට එකදු ලකුණක් හෝ රැස් කරගත හැකි වූයේ නැත. මේ නිසාවෙන් අද ශ්‍රී ලංකා ඉනිම අවසන් වූයේ ලකුණු 215ක් පමණක් ලකුණු පුවරුව මත සටහන් වෙද්දීයි. මෙම සංචාරය පුරාවට ඉනිමෙන් ඉනිමට තම පන්දු යැවීම දියුණු කර ගත් ස්ටාර්ක් අවසානයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ව තම වේගයෙන් තැති ගන්වමින් කඩුලු 5ක් සොරා ගැනීමට සමත් විය. කවදත් තම යුතුකම් කොටස ඉටු කරන නේතන් ලයන් කඩුලු 2යි.

Photos: Sri Lanka Vs Australia 2nd Test – Day 3

ඒ වන විටත් ශ්‍රී ලංකාව තමන්ට වඩා ලකුණු 319ක් පිටුපසින් සිටින නිසා නැවතත් පිතිකරණයේ යෙදෙන්නට (Follow on) ඔවුන්ට අණ කිරීමට ඕස්ට්‍රේලියානුවන්ට අවස්ථාව තිබුණි. කෙසේ වෙතත් ඔවුන් එය භාවිතයට නොගත් අතර සිව්වැනි ඉනිමේ දී විශාල ඉලක්කයක් හඹා යද්දී ඇති වන පීඩනය මතින් කඩුලු දඩයම් කිරීම ඔවුන්ගේ සැලසුම විය. ඒ අනුව තම දෙවැනි ටෙස්ට් ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියාව කඩුලු 3කට ලකුණු 196ක් ලබා සිටිය දී ඉනිම අත් හිටවූහ. ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුවෙන් අඩක් පමණ තනිවම රැස්කළ උස්මාන් කවාජා අද ශ්‍රී ලංකාවට එරෙහිව තම පළමු ටෙස්ට් ශතකය රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 14ක් සමඟයි. මීට පෙර බොහෝ අවස්ථාවල දී ඔහු ශ්‍රී ලංකාව හමුවේ දැඩි ලෙස අසාර්ථක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටියෙකි.

මීට අමතරව මුල් ඉනිමේ දී ලකුණු 161ක් රැස් කර ගත් ට්‍රැවිස් හෙඩ් නැවතත් සාර්ථක වෙමින් දෙවැනි ඉනිමේ දීත් ලකුණු 59ක් නොදැවී ලබා ගත්තේය. ඕස්ට්‍රේලියානු ඉනිමේ මුල් කඩුලු 3ම ලකුණු 37ක් තුළ බිඳ වැටුණ ද මොවුන් දෙදෙනා ගොඩ නැගූ ලකුණු 159ක දැවැන්ත සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට ලකුණු 516ක විශාල ඉලක්කයක් ලබා දී තම අරමුණු මුදුන්පත් කර ගැනීම ඕස්ට්‍රේලියානුවන්ට අපහසු නොවීය. පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 2ක් ද විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක් ද දවා ගත්තේය.

ප්‍රවේගකාරී ද්විත්ව ශතකයක් සමඟින් භානුක රාජපක්ෂ දේශීය පිටිය කළඹයි!

තමාට ජාතික කණ්ඩායමේ දොරගුළු නොඇරෙන්නේ නම් දොර කඩාගෙන හෝ ඇතුළට එන්නට තමන් සූදානම් බව BRC ක්‍රීඩක භානුක රාජපක්ෂ අද පෙන්වා දුන්නේය. ඒ මාධ්‍ය…

අද සවස් භාගයේ උස්මාන් කවාජා ශතකය වාර්තා කිරීමෙන් පසු ඕස්ට්‍රේලියානුවන් ඉනිම අත්හිටවූ අතර ඒ වන විට දිනය නිමා වීමට අඩ හෝරාවක පමණ කාලයක් ඉතිරි වී තිබුණි. එබැවින් පන්දුවාර 6ක් සඳහා පිතිකරණයේ යෙදෙන්නට ශ්‍රී ලංකාවට සිදු විය. කෙසේ වෙතත් ඒ අතරතුරේ දී කඩුලු කිසිවක් බිඳ නොවැටෙන්නට ඉනිම ඇරඹූ දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න වගබලා ගත්හ. මේ වන විට ඔවුන් ලකුණු 17ක් රැස් කරගෙන සිටින්නේ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 499ක් පිටුපසින් සිටිමිනි. ගණිතමය ඇසින් බැලූ විට මෙම ඉලක්කය සපුරා ගැනීමට ඉදිරි දින දෙක තුල ඉතිරිව ඇති පන්දුවාර සංඛ්‍යාව ඕනෑවටත් වඩා වැඩි වුවද, ප්‍රායෝගික ඇසින් බලද්දී දස්කම් අතර සිටින කැන්ගරු පන්දු යවන්නන් කඩුලු දඩයම අවසන් කිරීමට ඇති අවස්ථාව ඊටත් වඩා වැඩි බව කිව හැකිය.

ඕස්ට්‍රේලියානු (ප්‍රථම ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 534 (පන්දුවාර 132) ජෝ බර්න්ස් 180, ට්‍රැවිස් හෙඩ් 161, කර්ටිස් පැටර්සන් 114*, ටිම් පේන් 45*, මාර්කස් හැරිස් 11, මාර්නස් ල’බුශේන් 6, විශ්ව ප්‍රනාන්දු 3/126, චාමික කරුණාරත්න 1/130, කසුන් රාජිත 1/103.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 215 (පන්දුවාර 68.3) දිමුත් කරුණාරත්න 59, ලහිරු තිරිමාන්න 41, දිනේෂ් චන්දිමාල් 15, කුසල් පෙරේරා 29*, ධනංජය ද සිල්වා 25, නිරෝෂන් දික්වැල්ල 25, පැට් කමින්ස් 1/32, මිචෙල් ස්ටාර්ක් 5/54, නේතන් ලයන් 2/70.

ඕස්ට්‍රේලියානු (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 196 (පන්දුවාර 47) උස්මාන් කවාජා 101*, ට්‍රැවිස් හෙඩ් 59*, මාර්කස් හැරිස් 14, ජෝ බර්න්ස් 9, කසුන් රාජිත 2/64, විශ්ව ප්‍රනාන්දු 1/43.

ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 17 (පන්දුවාර 6) දිමුත් කරුණාරත්න 8*, ලහිරු තිරිමාන්න 8*.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<