ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (26) පැවැති යොවුන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 9ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සතු වෙනවා.
දෙරට අතර තරග 5කින් යුත් කාන්තා යොවුන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මේ වන විට තරග 4ක් අවසන් ව ඇති අතර ඒ සියලු තරග ජයග්‍රහණය කිරීමට සත්කාරක ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
මෙම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 9කට සීමා වූ අතර කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 83ක් ලබා ගත් අතර තරගයට නැවත වර්ෂාවෙන් බාධා එල්ල වෙද්දී ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ පන්දුවාර 6.3ක දී කඩුලු 4ක් දැවී ලකුණු 55ක් ලබා සිටියා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 2ක් සහිතව තරග බිමට පිවිසියා. ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ රශ්මි නේත්‍රාංජලී සහ ප්‍රමුදි මෙත්සරා වෙනුවට රිශ්මි සංජනා සහ මිතාලි අයෝද්‍යා කැඳවා තිබුණා.
ඕස්ට්‍රේලියා කණ්ඩායම අද තරග පිටියට පිවිසියේ නවක නායිකාවක් සමඟිනුයි. නිමා වු තරග ත්‍රිත්වයේ නායකත්වයේ කටයුතු කළ Samara Dulvin වෙනුවට අද තරගයේ දී Lucy Finn වෙත නායකත්වයේ වගකීම පැවැරී තිබුණා. ඊට අමතර ව පෙර තරගය හා එක් වූ Charli Mclennan, Ira Aery සහ Ava Drury ද කණ්ඩායමෙන් ඉවත් කර තිබූ අතර ඒ වෙනුවට Indira Panelli, Aijay Willoughby, Ayaka Kato-Stafford සහ Chelsea Sonter කැඳවා තිබුණා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, ශෂිනි ගිම්හානි, රශ්මිකා සෙව්වන්දි, ලිමංසා තිලකරත්න, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය), රිස්මි සංජනා, මිතාලි අයෝද්‍යා, අසෙනි තලගුණේ සහ චමෝදි ප්‍රබෝධා.
ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Lucy Finn (නායිකාව), Eva Baird, Emily Powell, Indira Panelli, Shiloh Julien, Aijay Willoughby, Lilli Hamilton, Ayaka Kato-Stafford, Chelsea Sonter (කඩුලු රකින්නිය), Sara Kennedy සහ Jasmine Kamboj.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි. ඇය පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.
ඊට අමතර ව නායිකා මනුදි නානායක්කාර ද පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී Lucy Finn ලකුණු 16කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Sara Kennedy, Aijay Willoughby සහ Lilli Hamilton කඩුල්ල බැගින් දවා ගත්තා.
- ශ්‍රී ලංකාව 3-0කින් තරගාවලිය ජය ගනී
- පාකිස්තානය පහසු ජයක් කරා
- ශ්‍රී ලංකාව 2-0ක් සේ පෙරමුණ ගනී
- සංජනා, චමෝදි සහ අසෙනි දක්ෂතා දක්වයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 15ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වෙනවා. අනතුරුව සිව් වැනි කඩුල්ල වෙනුවෙන්පන්දු 18ක දී ලකුණු 31ක් එක් කිරීමට Indira Panelli සහ Shiloh Julien සමත් වුණා.
එහි දී Shiloh Julien පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගෙන සිටිය දි 4 වැනි කඩුල්ල ලෙසින් දැවී යනවා.
ඉන් අනතුරු ව තරගය සඳහා පන්දු 5ක් පමණක් එක් වෙද්දී නැවත වතාවක් වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එතැන් සිට තරගය නැවත පැවැත්විය නොහැකි ලෙසින් එය පැවැතියා. ඒ වෙද්දී ඕස්ට්‍රේලියානුවෝ පන්දු වාර 6.3ක දී කඩුලු 4ක් දැවී ලකුණු 55ක් ලබා සිටි අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය ලබා ගැනීමට නම් ඔවුන්ට තවත් ලකුණු 10ක් අවශ්‍ය ව තිබුණා.
තරගය එලෙසින් අවසන් වෙද්දී Indira Panelli පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 11ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී චමෝදි ප්‍රබෝධා, රිස්මි සංජනා සහ අසෙනි තලගුණේ කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 83 (9.0) සංජනා කාවින්දි 25, මනුදි නානායක්කාර 17, Lucy Finn 2/16
- ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 55 (6.3) Indira Panelli නොදැවී 11, Shiloh Julien 16, චමෝදි ප්‍රබෝධා 1/01
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 9ක ජයක්.
දෙරට අතර පැවැත්වෙන 5 වැනි සහ අවසන් යොවුන් විස්සයි විස්ස තරගය මේ මස 28 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<