2026 වසර සඳහා ආසියානු මලල ක්රීඩා පිටිය සක්රීය කරමින් 12 වැනි ගෘහස්ථ ආසියානු මලල ක්රීඩා ශූරතාවලිය අද (06) චීනයේ දී ආරම්භ වීමට නියමිතයි.
මෙවර තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 07 දෙනෙකු සහභාගී වන අතර, එම කණ්ඩායම පිළිබඳ මෙන්ම ක්රීඩා උළෙලේ ඉතිහාසය සහ තවත් තොරතුරු මෙම ලිපිය හරහා ආවරණය කිරීමට සූදානම්.
ඉතිහාසය
2004 වසරේ දී ආරම්භ වූ මෙම ගෘහස්ථ මලල ක්රීඩා උළෙල මේ වන විට අවස්ථා 10කදී ක්රියාත්මක වී ඇති අතර, 2020 ක්රීඩා උළෙල කොරෝනා වසංගත තත්වය නිසා පැවැත්වුණේ නැහැ.
මෙතෙක් ඉතිහාසය තුළ බොහෝ අවස්ථාවල දී සුපුරුදු පරිදි චීනය පදක්කම් සටහනේ පෙරමුණේ රැඳීමට හෝ අවම වශයෙන් මුල් ස්ථාන තුන අතරේ රැඳීමට සමත් වී තිබෙනවා. එමෙන්ම චීනයට අමතරව කසකස්තානය, ජපානය, කටාර් සහ ඉරානය මෙම තරගාවලිවල දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ රටවල් ලෙස හඳුන්වා දිය හැකි.
සමස්ත ඉතිහාසය පුරාවට චීනය විසින් රන් පදක්කම් 62ක් සමඟ සමස්ත පදක්කම් 145ක් දිනා ගැනීමට සමත් වී ඇති අතර, කසකස්තානය රන් 45ක් සමඟ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා. එමෙන්ම කටාර් දේශය රන් පදක්කම් 28ක් ජය ගැනීමට සමත් වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සමස්ත පදක්කම් සටහන තුළ ශ්රී ලංකාවට හිමි වී ඇත්තේ 20 වැනි ස්ථානයයි. ශ්රී ලංකාව විසින් මේ දක්වා එක් රන් පදක්කමක්, එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් හතරක් සමඟ සමස්ත පදක්කම් 6ක් ජය ගැනීමට සමත් වී තිබෙනවා.
ශ්රී ලංකා ඉතිහාසය
ශ්රී ලංකාව මෙම ක්රීඩා උළෙලේ පදක්කම් සටහනට එක් වීමට සමත් වන්නේ 2016 ක්රීඩා උළෙලේ දීයි. එවර ශ්රී ලංකාව විසින් එක් රන් පදක්කමක් සහ එක් රිදී පදක්කමක් ජයග්රහණය කිරීමට සමත් වුනා.
පිරිමි උස පැනීම ඉසව්ව නියෝජනය කළ මංජුල කුමාර විසින් මීටර් 2.24ක නව ජාතික වාර්තාවක් සමඟ ඉසව්වේ ලෝකඩ පදක්කමක් ජය ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ප්රතිවාදියකු වූ ලෝක ශූර කටාර් ක්රීඩක Mutaz Essa Barshim විසින් එම ඉසව්වේ රන් පදක්කම ජයග්රහණය කළා.
මේ අතර කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ නිමාලි ලියනාරච්චි විසින් රිදී පදක්කම ජය ගැනීමට සමත් වුනා.
මෙතෙක් ඉතිහාසයේ ශ්රී ලංකාව සහභාගී වූ වඩාත් සාර්ථක ක්රීඩා උළෙල ලෙස 2018 ආසියානු ගෘහස්ථ මලල ක්රීඩා උළෙල සැලකිය හැකි.
එහි දී ශ්රී ලංකාව එක් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් ත්රිත්වයක් සමඟින් පදක්කම් සටහනේ 07 වැනි ස්ථානයට පැමිණීමට සමත් වුනා.
පිරිමි දුර පැනීම ඉසව්ව නියෝජනය කළ ජානක විමලසිරි ලෝකඩ පදක්කමක් ජය ගැනීමට සමත් වූ අතර, කාන්තා මීටර් 400 ඉසව්ව නියෝජනය කළ උපමාලිකා වලව්වේ සහ කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ නිමාලි ලියනාරච්චි විසින් තවත් ලෝකඩ පදක්කම් ද්විත්වයක් ජය ගැනීමට සමත් වුනා.
මේ අතර මෙතෙක් තරගාවලි ඉතිහාසයේ ශ්රී ලංකාව දිනූ එකම රන් පදක්කම කාන්තා මීටර් 1500 ඉසව්ව නියෝජනය කළ ගයන්තිකා අබේරත්න විසින් ජය ගැනීමට සමත් වුනේ මිනිත්තු 04.26.83ක තරග කාලයක් වාර්තා කරමිනුයි.
කෙසේ වෙතත් ශ්රී ලංකාව මේ දක්වා මෙම ක්රීඩා උළෙලට සහභාගී වී ඇත්තේ සහ පදක්කම් දිනා ගැනීමට සමත් වී ඇත්තේ මෙම අවස්ථා ද්විත්වයේ දී පමණයි.
- ඇමරිකාවට වැඩි වාසි සමඟ ලෝක ශූරතාව ඇරඹෙයි
- වසර 20ක අතීතය වෙනස් කළ දිනයක් නිමා වෙයි!
- අනපේක්ෂිත සිදුවීම් රැසක් අතරේ Mondo නැවතත් ලෝක වාර්තාවක් කරා!
- ලොව වේගවත්ම ක්රීඩකයා සහ ක්රීඩිකාව තහවුරුයි!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මෙවර ශ්රී ලංකා කණ්ඩායම
මෙවර තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩක, ක්රීඩිකාවන් හත් දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් සහභාගී වීමට නියමිතයි.
- චමෝද් යෝධසිංහ – පිරිමි මීටර් 60 ඉසව්ව
- නිමාලි ලියනාරච්චි – කාන්තා මීටර් 800 ඉසව්ව සහ මීටර් 1500
- මදුශානි හේරත් – කාන්තා තුන් පිම්ම සහ දුර පැනීම ඉසව්
- මෙත්මි විජේසූරිය – කාන්තා මීටර් 3000 ඉසව්ව
- මනුජ ප්රභාශ් – පිරිමි මීටර් 60 ඉසව්ව
- පසිඳු මල්ශාන් – පිරිමි තුන් පිම්ම ඉසව්ව
- දසුන් සමරවීර – පිරිමි උස පැනීම ඉසව්ව
මෙම කණ්ඩායම තුළ මේ දක්වා සහභාගී වූ අවස්ථා ද්විත්වයේදී ම රිදී සහ ලෝකඩ පදක්කම බැගින් ජය ගැනීමට සමත් වූ නිමාලි ලියනාරච්චි වඩාත් කැපී පෙනෙන ක්රීඩිකාව ලෙස හඳුන්වා දිය හැකි. එමෙන්ම වත්මනේ දකුණු ආසියාවේ වේගවත් ම ක්රීඩකයා ලෙස චමෝද් යෝධසිංහ මෙන්ම, කාන්තා තුන් පිම්ම සහ දුර පැනීම් ඉසව්වල කැපී පෙනෙන ක්රීඩිකාවක් වන මදුශානි හේරත් ද මෙවර ක්රීඩා උළෙලේ පදක්කම් බලාපොරොත්තු සඳහා ඉහළින් ම රැඳී සිටිනවා.
ශ්රී ලංකා ක්රීඩකයින්ගේ තරග වේලාවන්
- නිමාලි ලියනාරච්චි: අද (06) උදෑසන වරුවේ කාන්තා මීටර් 800 පළමු මූලික වටයට නිමාලි සහභාගී වීමට නියමිතයි. එමෙන්ම අද සවස කාන්තා මීටර් 1500 අවසන් තරගයට ද නිමාලි සහභාගී වීමට නියමිතයි.
- පසිඳු මල්ශාන් – පිරිමි තුන් පිම්ම ඉසව්වේ අවසන් තරගය ද අද උදෑසන ක්රියාත්මක වීමට නියමිත අතර, තවත් ඒ සඳහා වන ක්රීඩක ලැයිස්තුව ප්රකාශයට පත් කර නැහැ.
- මනුජ ප්රභාශ් – අද උදෑසන පිරිමි මීටර් 60 තෙවැනි මූලික වටයේ තරගයට මනුජ සහභාගී වීමට නියමිතයි.
- චමෝද් යෝධසිංහ – අද උදෑසන පිරිමි මීටර් 60 සිව්වැනි මූලික වටයේ තරගයට චමෝද් යෝධසිංහ සහභාගී වීමට නියමිතයි.
- දසුන් සමීර – අද සවස පිරිමි උස පැනීම ඉසව්වේ අවසන් තරගයට සහභාගී වීමට නියමිතයි.
එමෙන්ම අද දිනය තුළ මීටර් 60 ඉසව්වේ අවසන් පූර්ව තරග මෙන්ම, අවසන් තරගය ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මේ අතර ක්රීඩා උළෙල හෙට (07) සහ අනිද්දා (08) දිනවල දීත් ක්රියාත්මක වීමට නියමිත අතර, ක්රීඩා උළෙල පිළිබඳ සියලු යාවත්කාලීන කිරීම් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න>>





















