පැතුම් නැවතත් විශිෂ්ටයන් අතරට

Asia Cup 2025

129

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව මේ වන විට නිමා කර ඇත්තේ එක් තරගයක් පමණක් වූව ද නිමා වූ එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නැවත විශිෂ්ටයන් අතර පිවිසීමට සමත් වීම විශේෂත්වයක්.  

ශ්‍රී ලංකාව පහසු හඹා යෑමක; ආසියා කුසලානයේ පළමු ජය තහවුරුයි

50×3 : පැතුම් නිස්සංක ගේ මෙම අර්ධ ශතකය ආසියානු කුසලාන විස්සයි විස්ස තරග ඉතිහාසයේ වාර්තා කරන ලද 3 වැනි අර්ධ ශතකයයි. ඒ අනුව ඔහු ආසියානු කුසලාන විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම අර්ධ ශතකලාභීන් වන ඉන්දියාවේ Virat Kohli සහ පාකිස්තානයේ Mohammad Rizwan සමඟ සම සම ව අසුන් ගන්නවා. 

  • එමෙන් ම මෙම අර්ධ ශතකයත් සමඟින් පැතුම් නිස්සංක, ශ්‍රී ලංකා ලැයිස්තුවේ ද වැඩිම අර්ධ ශතකලාභියා ලෙසින් අසුන් ගැනීමට සමත් වෙනවා. ඒ අනුව මීට පෙර අර්ධ ශතක ද්විත්වය බැගින් ලබා සිටි කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල්ට මෙම ලැයිස්තුවේ පිටු පසට යෑමට සිදු වුණා.

223 : පැතුම් නිස්සංක ගේ මෙම ඉනිමත් සමඟින් ඔහු විස්සයි විස්ස ආසියානු කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභීන්ගේ ලැයිස්තුවේ ස්ථාන 6කින් ඉදියට පිවිසීමට සමත් වෙනවා. ඒ අනුව ඔහුට හිමි වූ ස්ථානය 5 වැන්නයි.  

ඔහුට ඉදිරියෙන් මෙම ලැයිස්තුව සැකසී ඇත්තේ,  ඉනිම 10ක දී ලකුණු 429ක් ලබා සිටින ඉන්දියාවේ Virat Kohli, ඉනිම 7ක දී ලකුණු 288ක් ලබා සිටින හොංකොං දේශයේ Babar Hayat, ඉනිම 6ක දී ලකුණු 281ක් ලබා සිටින පාකිස්තානයේ Mohammad Rizwan සහ ඉනිම 9ක දී ලකුණු 271ක් ලබා සිටින ඉන්දියාවේ Rohit Sharma ලෙසයි.  

  • මෙම ඉනිමත් සමඟින් ආසියානු විස්සයි විස්ස තරග පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එතෙක් ඉනිම 6ක දී ලකුණු 191ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර පළමු වැනියා ව සිටි භානුක රාජපක්ෂ 2 වැනි ස්ථානය දක්වා පහත දැමීමට පැතුම් නිස්සංක සමත් වෙනවා. 

95 : මෙම තරගයේ දී පැතුම් නිස්සංක කමිල් මිෂාර හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 52ක දී ලකුණු 95ක සබඳතාවක් එක් කරනවා. එය ශ්‍රී ලංකා විස්සයි විස්ස ආසියානු කුසලාන තරග ඉතිහාසයේ 2 වැනි කඩුල්ලට එක් වූ ඉහළ ම ලකුණු සබඳතාවයි.  

මීට පෙර මෙම වාර්තාව සතු කර ගෙන සිටියේ 2016 වසරේ දී බංග්ලාදේශයට ම එරෙහි ව ෂෙහාන් ජයසූරිය සහ දිනේෂ් චන්දිමාල් එක් ව Mirpur හී දී ලබා ගත් ලකුණු 56යි.  

  • පැතුම් නිස්සංක සහ කමිල් මිෂාර එක් ව වාර්තා කරන ලද මෙම සබඳතාව ආසියානු කුසලාන විස්සයි විස්ස තරග ඉතිහාසයේ බංග්ලාදේශයට එරෙහි ව ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම සබඳතාව බවට ද පත් වුණා. 

මීට පෙර මෙම වාර්තාව සතු කරගෙන සිටියේ ඉන්දියාවේ Virat Kohli සහ Shikhar Dhawan එක් ව Mirpur හි දී 2016 වසරේ දී 2 වැනි කඩුල්ලට ලබා සිටි ලකුණු 94යි.  

2000 : මෙම තරගය සඳහා පැතුම් නිස්සංක සහභාගී වන විට ඔහුට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ ලකුණු 2000 සපුරා ගැනීම සඳහා අවශ්‍ය වූයේ ලකුණු 50ක් පමණයි. තමන් මුහුණ දුන් 31 වැනි පන්දුවේ දී එම කඩඉමට පිවිසීමට ඔහු සමත් වෙනවා.  

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් 5 දෙනා  

  Player  Span  Mat  Inns  NO  Runs  HS  Ave  100  50  4s  6s 
1  කුසල් පෙරේරා  2013-2025  83  82  4  2139  101  27.42  1  15  206  68 
2  කුසල් මෙන්ඩිස්  2016-2025  85  85  3  2079  86  25.35  0  16  180  86 
3  පැතුම් නිස්සංක  2021-2025  69  68  3  2000  90  30.76  0  16  208  49 
4  තිලකරත්න ඩිල්ශාන්  2006-2016  80  79  12  1889  104*  28.19  1  13  223  33 
5  දසුන් ශානක  2015-2025  109  99  21  1531  74*  19.62  0  5  113  74 

68 : පැතුම් නිස්සංකට මෙම ලකුණු 2000 කඩඉමට පිවිසීමට වැය වන්නේ ඉනිම 68ක් පමණක් වන අතර ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් මෙම කඩඉමට ඉතා ඉක්මනින් පිවිසි ක්‍රීඩකයා ලෙසින් ද ඔහු වාර්තා පොත් අතරට එක් වෙනවා.  

මෙම ලැයිස්තුවේ මීට පෙර පළමු ස්ථානයේ රැඳී සිටියේ කුසල් පෙරේරා වන අතර ඔහු ඉනිම 76ක දී එම අවස්ථාව සපුරා ගත් අතර එහි දෙවැනි ස්ථානයේ කුසල් මෙන්ඩිස් රැඳී සිටියා. ඔහුට එම අසුන හිමි වෙන්නේ ඉනිම් 80ක පෑ දක්ෂතා මතයි.  

16 : පැතුම් නිස්සංක මෙම තරගයේ දී වාර්තා කරන්නේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 16 වැනි අර්ධ ශතකයයි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග පිටියේ වැඩිම අර්ධ ශතකලාභීන් ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ කුසල් මෙන්ඩිස් හා සමඟ සම ව අසුන් ගන්නවා.  

මෙම ලැයිස්තුවේ එතෙක් 2 වැනි ස්ථානයේ රැඳී සිටියේ අර්ධ ශතක 15ක් රැස් කරගත් කුසල් පෙරේරා.  

12 : මෙම තරගයේ දී ලත් අර්ධ ශතකයක් සමඟින් පැතුම් නිස්සංක, ශ්‍රී ලංකා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ මව්බිමෙන් පිටත දී අර්ධ ශතක ලැබූවන් අතර පළමු ස්ථානයට පත් වෙනවා.  

  Opposition  Grouns  Runs  Balls  4s  6s  Date 
1  අයර්ලන්තය  Abu Dhabi  61  47  6  1  2021 
2  දකුණු අප්‍රිකාව  Sharjah  72  58  6  3  2021 
3  බටහිර ඉන්දීය කොදෙව්  Abu Dhabi  51  41  5  0  2021 
4  ඔස්ට්‍රේලියාව   Sydney  73  53  7  2  2022 
5  ඉන්දියාව   Dharamsala  75  53  11  0  2022 
6  ඉන්දියාව   Dubai  52  37  4  2  2022 
7  ඉන්දියාව  Dubai  55*  48  5  1  2022 
8  UAE  Geelong  74  60  6  2  2022 
9  එංගලන්තය  Sydney  67  45  2  5  2022 
10  නවසීලන්තය  Mount Maunganui  90  60  7  3  2024 
11  සිම්බාබ්වේ   Harare  55  32  4  2  2025 
12  බංග්ලාදේශය  Abu Dhabi  50  34  6  1  2025 

 

ඔහුට ප්‍රථම මෙම ලැයිස්තුවේ පළමු වැනියා වී සිටියේ අර්ධ ශතක 11ක් ලබා සිටි කුසල් මෙන්ඩිස්. ඊට අමතර ව මෙම ලැයිස්තුවේ 3 වැනි ස්ථානය අර්ධ ශතක 7ක් ලබා සිටින මහේල ජයවර්ධන රැඳී සිටිනවා.  

208x4s : මෙම තරගය නිමා වන විට පැතැම් නිස්සංක විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 2 වැනියා බවට පත් වීමට සමත් වෙනවා.  

මෙහි පළමු ස්ථානය හතරේ පහර 223ක් ලබා සිටින තිලකරත්න ඩිල්ශාන් රැඳී සිටින අතර පැතුම් නිස්සංක ලබා ගත් ස්ථානයේ මීට පෙර රැඳී සිටියේ හතරේ පහර 206ක් ලබා ගෙන සිටි කුසල් පෙරේරා. 

9 : පැතුම් නිස්සංක මෙම වාර්තා කළ අර්ධ ශතකයත් සමඟින් ශ්‍රී ලංකා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හඹා ගිය ඉනිම්වල දී වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් වාර්තා කරන ලද ක්‍රීඩකයා සතු වාර්තාව තව දුරටත් අලුත් කළා.  

මේ වාර්තාවේ ඔහුට පිටුපසින් අර්ධ ශතක 7ක් බැගින් ලබා සිටින තිලකරත්න ඩිල්ශාන් සහ කුසල් මෙන්ඩිස් රැදී සිටිනවා. 

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<