93 වැනි ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙළේ තරග වාර්තා රැසක් වෙනස් වෙයි!  

93rd Sir John Tarbat Senior Athletics Championship 2025

288
93rd Sir John Tarbat Athletics Championship 2025

93 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය අද (09) සාර්ථකව නිමාවට පත් වුනා.

අද දිනය තුළ ද නව තරග වාර්තා රැසක් බිහි වූ අතරම, ඒත් සමඟම ඉසව් රැසකම අවසන් තරග ද ක්‍රියාත්මක වුනා.

කාන්තා 16න් පහළ මීටර් 200 ඉසව්ව නියෝජනය කළ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ N.R.ඒකනායක විසින් තත්පර 25.31ක තරග නිමි කාලයක් සමඟ නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් වුනා.

මේ අතර කාන්තා 18න් පහළ මීටර් 200 ඉසව්ව වෙනුවෙන් නව තරග වාර්තාවක් බිහි කිරීමට වත්තල ලයිසියම් විද්‍යාලයේ D.ප්‍රනාන්දු විසින් සමත් වුනේ තත්පර 24.40ක කාලයක් වාර්තා කරමිනුයි.

පිරිමි මීටර් 200 20න් පහළ ඉසව්වේ ද තරග වාර්තාව අද දිනයේ වෙනස් වූ අතර, එහි නව හිමි කරු ලෙස කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ K.K.ඉදූප සිල්වා ගෞරව හිමි කර ගත්තේ තත්පර 21.30ක තරග නිමි කාලයක් සමඟයි. ඉසව්වේ අවසන් පූර්ව තරගයේ දී ඔහු විසින් මෙම වාර්තාව පිහිටුවීමට සමත් වුනා.

මේ අතර 16න් පහළ මීටර් 800 ඉසව්ව නියෝජනය කළ අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයේ H.යසිරු උදාර මිනිත්තු 1.57.28ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවන අතරේ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයීය ක්‍රීඩකයින් දෙදෙනකු විසින් ඔහුට ඉතා හොඳ අභියෝගයක් එල්ල කිරීමට ද සමත් වුනා.

 මේ අතර 18න් පහළ පිරිමි මීටර් 800 ඉසව්ව නියෝජනය කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ R.පෙරේරා විසින් මිනිත්තු 1.52.50ක තරග නිමි කාලයක් සමඟ නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් වුනා.

කාන්තා 20න් පහළ මීටර් 800 ඉසව්වේ පෙර තිබූ වාර්තාව වෙනස් කිරීමට අද දිනයේ මාතර මධ්‍ය විද්‍යාලයේ K.T.නුහන්සා විසින් සමත් වුනේ මිනිත්තු 2.09.01ක තරග නිමි කාලයක් ද සමඟයි. මීටර් 800 ඉසව්වේ වාර්තා අලුත් වීම එතෙකින් ද නොනැවතුණු අතර, පිරිමි 20න් පහළ මීටර් 800 ඉසව්ව නියෝජනය කළ අකුරම්බඩ වීර කැප්පෙටිපොළ විද්‍යාලයේ G.L.N.දිනෙත් ලියනගේ මිනිත්තු 1.52.42ක තරග නිමි කාලයක් සමඟ නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.

මේ අතර 18න් පහළ පිරිමි තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ I.D.S.H.ජයසිංහ මීටර් 15.41ක දුරක් තරණය කරමින් නව තරග වාර්තාවක් කරා යෑමට සමත් වුනා.

මේ අතර 20න් පහළ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවීමට අඹගමුව මධ්‍ය විද්‍යාලයේ අයෝමාල් අකලංක විසින් සමත් වුනේ තත්පර 50.51ක තරග නිමි කාලයක් ද සමඟයි.

මේ අයුරින් අද දිනට නියමිත තරගවල නව තරග වාර්තා බිහි වූ අතර, ශූරතාවලියේ තෙවැනි දිනය හෙට (10) ක්‍රියාත්මක වීමට නියමිතයි.

එම තරග තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>