91 වැනි සටනට සූදානම් වන සාන්තුවරයෝ

91st Battle of the Saints

83
91st Battle of the Saints

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 91 වැනි වරටත් පැවැත්වෙන “Maurice J. Le Goc පියතුමන් අනුස්මරණ කුසලාන” සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම මේ මස 03, 04 සහ 05 තෙදින කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙම තරගය තුන් දින තරගයක් ලෙසින් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

මෙවර තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලය මෙහෙයවීමේ වගකීම කෙනත් ලියනගේ වෙත ද සහ සාන්ත පීතර විද්‍යාලය මෙහෙයවීමේ වගකීම  ඔවීන් සල්ගාදු වෙත ද පැවැරී තිබෙනවා.

1933 දී ආරම්භ වූ සාන්තුවරයන්ගේ සටන් ඉතිහාසයේ 12 වතාවක් සාන්ත ජෝසප් විද්‍යාලය ද, 10 වතාවක් සාන්ත පීතර විද්‍යාලය ද දිනා තිබෙනවා. දෙවිදුහල් අතුරින් සාන්තුවරයන්ගේ සටන් කුසලානය අවසන් වරට දිනා ගන්නේ 2016 වසරේ විනූ මොහොට්ටිගේ නායකත්වයෙන් යුත් සාන්ත පීතර විද්‍යාලයයි. සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් වරට මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කර තිබෙන්නේ 2008 වසරේදී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේ ගේ නායකත්වය යටතේයි. තරග 67ක් නිමා වී තිබෙන්නේ විසඳුමකින් තොරවයි.

නිමා වූ වසර 90ක සාන්තුවරයන්ගේ සටන් ඉතිහාසය වර්ණවත් කළ ක්‍රීඩකයන් අතරට  සාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයන් ලෙසින් ඈෂ්ලි ද සිල්වා, අජිත් වීරක්කොඩි, චමින්ද වාස්, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා,  මයිකල් වැන්ඩොට්, රොෂේන් සිල්වා, සදීර සමරවික්‍රම, ෂෙවෝන් ඩැනියෙල්, ප්‍රියමාල් පෙරේරා සහ දුනිත් වෙල්ලාලගේ නම් ඉදිරියෙන් ම තැබෙනවා.

සාන්ත පීතර විද්‍යාලය නියෝජනය ක්‍රීඩකයන් අතුරින් මෙම ලැයිස්තුවට එක් වෙන්නේ රෝයි ඩයස්, ඩේවින් හයින්, විනෝදන් ජෝන්, ටෝනි ඕපාත, රුමේෂ් රත්නායක, අමල් සිල්වා, රසල් ආනල්ඩ්, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර, ඇන්ජලෝ පෙරේරා, ඇන්ඩ්‍රි බෙරෙන්ජර්, ජනිත් ලියනගේ සහ දුශාන් හේමන්ත සහ වැනි අයයි.

  • සාන්ත ජෝසප් විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසෙන් තරගාවලියට එක් වූ කොළඹ 10, සාන්ත ජෝසප් විද්‍යාලය මෙම කාණ්ඩයේ තරගකාරී කණ්ඩායමක් ලෙසින් හැඳින්විය හැකියි.

ඔවුන් නිමා වූ තරග වාරයේ දී තරග 13කට සහභාගී වෙමින් ලත් අත්දැකීම් සමඟින් මෙම තරගය හා එක් වීමට නියමිතයි. ඔවුන් නිමා කළ තරග අතුරින් මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 74ක ජයක්,  කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 46ක ජයක් සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට එරෙහි ව කඩුලු 9ක ජයක් ද ලබා ගැනීමට සමත් වෙනවා.

ඊට අමතර ව  ඔවුන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණ ද ලබා ගන්නවා.

පැවැති තරග අතුරින් කොළඹ රාජකීය විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හමුවේ පළමු ඉනිමේ පරාජයන්වලට ලක් වෙන ඔවුන් කොළඹ මහානාම විද්‍යාලය සමඟ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමනවා.

මෙම තරගවලට සහභාගී ක්‍රීඩකයන් අතුරින් මෙවර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ සෙනුජ වකුණුගොඩ. ඔහු තරග 11ක ඉනිම 14ක දී ලකුණු 552ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙනවා. ඔහුගේ ඉනිම් අතර මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහි ව පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් සමඟින් ලබා ගත් ලකුණු 156ක් මෙන් ම අර්ධ ශතක 2ක් ද ඇතුලත්.

කණ්ඩායමේ වඩාත් දක්ෂතා දක්වන තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත් ව සිටින්නේ යෙනුල දෙව්තුස. ඔහු තරග 12ක ඉනිම් 12ක දී ලකුණු 515ක් සහ කඩුලු 51ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි ඉනිම් අතර කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහි ව පන්දු 189කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 138ක් සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහි ව පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 100ක් ඊට ඇතුලත්. පන්දු යැවීමේ දී ද ඉනිමක කඩුලු 5කට වැඩියෙන් දවා ගත් අවස්ථා 3ක් ද ඔහු සතුයි.

එමෙන් ම කණ්ඩායමේ සිටින තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වෙන්නේ මානස මදුභාෂණ. ඔහු මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහි ව පන්දු 181කට මුහුණ දෙමින් හතරේ පහර 12ක සමඟින් ලබා ගත් ලකුණු 116ක් සහ තවත් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 316ක් සහ කඩුලු 16ක් ලබා ගනිමින් මෙම වර්ගීකරණයට ලක් ව සිටිනවා.

ඊට අමතර ව සාන්ත ජෝසප් විද්‍යාලය ඉහළින් තබා ගැනීමේ කටයුත්තේ දී තරග 12ක ඉනිම 14ක දී අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 506ක් ලබා ගත් අවීශ සමාස්,  ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 102ක් සහ තවත් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 430ක් ලබා සිටින රිශ්ම අමරසිංහ, අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 253ක් ලබා සිටින දුනික් පෙරේරා සහ ලකුණු 227ක් ලබා සිටින අභිශේක් ජයවීර ද ඉදිරියෙන් සිටිනවා.

පන්දු යවන්නන්ගේ බලඇණිය ශක්තිමත් කරන්නන් අතර කඩුලු 49ක් ලබා සිටින නුශාන් පෙරේරා සහ කඩුලු 39ක් ලබා සිටින ඩේමියන් ද සිල්වාට ද හිමි වෙන්නේ සුවිශේෂී පිළිගැනීමක්.

සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

කෙනත් ලියනගේ (නායක), අභිශේක් ජයවීර (උප නායක), යෙනුල දන්තනාරායන, අවීශ සමාෂ්, සෙනුජ වකුණුගොඩ, යෙනුල දෙව්තුස, රිශ්ම අමරසිංහ, මානස මදුභාශන, දුනික් පෙරේරා, ඩේමියන් ද සිල්වා, මාරියෝ සුරවීර, කවිත් ප්‍රනාන්දු, ඩිහේන් ද සිල්වා, නුශාන් පෙරේරා, දේශාන් තලහිටියගල, නිම්තක ගුණවර්ධන, පමෝද සෝලංගාරච්චි, ලෙසිත විජේතුංග.

 

රංජිත් අන්ද්‍රාදී පියතුමා (විදුහල්පති), ප්‍රියාන් තිසේරා පියතුමා (උප විදුහල්පති), සමේශ් ඇන්තනී පියතුමා (ක්‍රීඩා භාර ආචාර්ය), ආසිරි කල්දේරා (ක්‍රිකට් භාර ආචාර්ය), සංජිව ප්‍රනාන්දු (දෙවැනි පෙළ ක්‍රිකට් භාර ආචාර්ය), ලක්මාල් ද සිල්වා (ප්‍රධාන පුහුණුකරු), මිහිරංග වික්‍රමගේ (සහාය පුහුණුකරු), ලහිරු පෙරේරා (සහාය පුහුණුකරු),  ප්‍රදීප් මුණසිංහ (දෙවැනි පෙළ සහාය පුහුණුකරු), එස්. රවින්ද්‍රන් (දත්ත සටහන්කරු).

සාන්ත පීතර විද්‍යාලය, මෙවර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසෙන් තරගාවලියට එක් වූ අතර එහි දී කැළණිය ගුරුකුල විද්‍යාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 14ක ජයක්, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 13ක ජයක් සහ කළුතර සිරිකුරුස විද්‍යාලයට එරෙහි ව ඉනිමකින් සහ ලකුණු 264ක ජයක් ලබා ගැනීමට සමත් වීම කැපි පෙණුනා.

ඊට අමතර ව මෙම ලැයිස්තුවට කොළඹ ආනන්ද විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, කොළඹ රජකීය විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහි ව ලැබූ පළමු ඉනිමේ ජයග්‍රහණ ද තිබෙනවා.

සහභාගී වූ තරග අතුරින් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හමුවේ ලැබූ කඩුලු 9ක පරාජය, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙතින් ලත් පළමු ඉනිමේ පරාජයන් ද සමන්විතයි.

මේ ආ ගමනේ දී ඔවුන්ගේ කැපී පෙණෙන දක්ෂතා දැක් වූවන් අතුරින් ඉදිරියෙන් ම ලැයිස්තු ගත වෙන්නේ තරීන් සංකේත් ගේ නම. ඔහු තරග 14ක ඉනිම් 21ක දී ලකුණු 653ක් ලබා ගන්නා ලද අතර ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 50.23ක් සේ රඳවා ගැනීමට ද සමත් ව සිටිනවා. මේ අතරට කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 108ක් ඇතුලත් අතර ඔහු පන්දු යැවීමේ දී කඩුලු 25ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් බවට ද පත් ව සිටිනවා.

ඊට අමතර ව කළුතර සිරිකුරුස විද්‍යාලයට එරෙහි ව ලබා ගත් ලකුණු 111ත් සමඟින් තරග 13ක  ඉනිම් 20ක දී ලකුණු 647ක් සහ කඩුලු 39ක් දවා ගත් දිලන දම්සර ද, ලකුණු 371ක් සහ කඩුලු 38ක් දවා ගත් ලශ්මික පෙරේරා ද සහ තරග 11ක ඉනිම් 18ක දී ලකුණු 435ක් සහ කඩුලු 23ක් දවා ජොෂුවා සෙබස්තියන් ද සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නන්ගේ ලැයිස්තුව හා එක් වෙනවා.

ඔවුන්ට අමතර ව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 112ත් සමඟින් ලකුණු 472ක් ලබා ගත් ජේසන් ප්‍රනාන්දු, ලකුණු 450ක් ලබා ගත් එනෝෂ් පීටර්සන්, ලකුණු 434ක් ලබා ගත් ඔවීන් සල්ගාදු, ලකුණු 357ක් ලබා ගත් අසදිස ද සිල්වා, ලකුණු 271ක් ලබා ගත් නේතන් ඩේවිඩ් සහ කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 100ක් සමග ලකුණු 264ක් ද ලබා ගත් සවි ප්‍රනාන්දු සාන්ත පීතර කණ්ඩායමේ පිතිකරු බලකායේ ප්‍රමුඛ සගයන් බවට පත් ව සිටිනවා.

පන්දු යැවීමේ දී පෙර සටහන් තැබූ තුන් ඉරියව් ක්‍රීඩකයන්ට අමතර ව තරින් සෙන්විදු කඩුලු 18ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

ඔවීන් සල්ගාදු (නායක), ලශ්මික පෙරේරා (උප නායක), ඩිලන් දම්සර, තරින් සෙන්විදු, නේතන් ඩේවිඩ්, හිරුක සිල්වා, තරීන් සංකේත්, විරුල් අමරපාල, යතින්ද ජයවීර, සාලිත් ගාල්ලගේ, ජේසන් ප්‍රනාන්දු, ජොෂුවා සෙබස්තියන්, සවී ප්‍රනාන්දු, ඊතන් රන්සිලිගේ, අසදිස ද සිල්වා, සදීශ කාරියවසම්, එනෝෂ් පීටර්සන්, දිනසර රත්නවීර, දිනෙත් ද සිල්වා සහ රපීල් හෙට්ටිගේ.

 

රෝහිත රොද්‍රිගෝ පියතුමා (විදුහල්පති), ප්‍රවින් විජේසේකර ( ක්‍රීඩා භාර ආචාර්ය), ප්‍රියදර්ශන කුරේ (ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් භාර ආචාර්ය), රෝහණ ප්‍රනාන්දු (දෙවැනි පෙළ ක්‍රිකට් භාර ආචාර්ය), නලින් විජේසිංහ (ප්‍රධාන පුහුණුකරු), තුෂාර මදුශංක (පළමු පෙළ සහාය පුහුණුකරු), ඩී. ගොඩකන්ද (දෙවැනි පෙළ සහාය පුහුණුකරු), හර්ෂ පෙරේරා (Trainer/Masseur), ඩී. එන්. පතිරණ (දත්ත සටහන්කරු).

දෙවිදුහල් අතර “Peter A. Pillai පියතුමන් අනුස්මරණ” කුසලානය වෙනුවෙන් 51 වැනි වරටත් පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර වාර්ෂික මහා ක්‍රිකට් තරගය අප්‍රේල් 26 වැනිදා එස්. එස්. සී. පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි. මෙම කුසලානය මේ වන විට රැදී තිබෙන්නේ පසුගිය වසරේ ජයග්‍රාහකයන් වන සාන්ත පීතර විද්‍යාලය සතුවයි.

1975 වසරේ සිට පැවැත එන මෙම එක්දින තරගාවලියේ මෙතෙක් නිමා වූ තරගවල දී සාන්ත ජෝසප් විද්‍යාලය අවස්ථා 25ක දී ද සහ සාන්ත පීතර විද්‍යාලය අවස්ථා 22ක දී ජයග්‍රහණය කර තිබෙනවා. ඊට අමතර ව 2001 වසරේ දී පැවැති තරගය ලකුණු සම වීමෙන් අවසන් ව ඇති අතර, 2008 වසරේ දී නොවිසඳුසුණ තරගයක් ලෙසින් අවසන් වන අතර සහ 2020 වසරේ දී Covid-19 උවදුර හේතුවෙන් තරගය පැවැතියේ නැහැ.

සාන්තුවරයන්ගේ සටනට එක් වෙන සාන්ත ජෝසප් විද්‍යාලයීය සහ සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD1 නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<