ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම 9/10 දෙදින දියගමදී

119

ලබන ජුනි මස 03 වැනිදා සිට 07 වැනිදා දක්‌වා චීනයේ චුහාන් හිදී පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා වන තේරීම් තරග මෙම මැයි මස 09 සහ 10 යන දෙදින දියගම පිහිටි මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පෙ.ව. 7 සිට පැවැත්වේ.

21 වැනි වරටත් ක්‍රියාත්මක වන මෙම ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා වන තේරීම් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කට අධික සංඛ්‍යාවක්‌ මේ වන විටත් සිය සහභාගිත්වය සනාථ කර තිබෙන බව දිවයිනට අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරයකු මෙන්ම මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරනු ලබන ජී. එල්. එස්‌. පෙරේරා මහතා අදහස්‌ දක්‌වා සිටියේය.

එන්. ඒ. ටී. ජයසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක්‌ විසින් අදාළ තේරීම් සිදු කිරීමට නියමිත වන බවද ජී. එල්. එස්‌. මහතා වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටියේය. අදාළ තේරීම්වලදී දක්‌වනු ලබන දක්‍ෂතා මත පදනම්ව ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය සඳහා වන සියලූම තේරීම් සිදු කරනු ලබන අතර එහිදී කොපමණ සංඛ්‍යාවක්‌ මේ සඳහා වරම් ලබන්නේද යන්න දැන ගැනීම සඳහා තේරීම් කමිටු ප්‍රධානී එන්. ඒ. ටී. ජයසිංහ මහතාව සම්බන්ධ කර ගැනීමට කීප විටෙකම දිවයින උත්සාහ දැරුවද ඒ මහතාගේ දුරකථනය ඊට ප්‍රතිචාර නොදැක්‌වීය.

කෙසේ වෙතත් මෙම තරගාවලියට අමතරව ඉදිරියේදී තායිලන්තයේදී පැවැත්වීමට නියමිත ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලිය සඳහා 7 දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ නම් කර එවීමට ආසියානු මලල ක්‍රීඩා සංගමය කටයුතු යොදා තිබුණද ඒ සියලූ දෙනාගේ සහභාගිත්වය රඳා පවතිනුයේ මෙම තේරීම් තරගවලදී දක්‌වනු ලබන දක්‍ෂතා මත පදනම්ව බව මෙහිදී උප සභාපති පෙරේරා මහතා සඳහන් කර සිටියේය. ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී දක්‌වන ලද දක්‍ෂතා මත පදනම්ව 7 දෙනකුගෙන් සමන්විත එම ක්‍රීඩා කණ්‌ඩායම නම් කර එවීමට ආසියානු මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ. මෙම තරගාවලියට සහභාගි වනු ලබන සියලූම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ ඉසව්වලට සහභාගිවීමට ප්‍රථම තහනම් උත්තේජන පරීක්‍ෂණයකට මුහුණ දීමට නියමිතව තිබේ.