Blackham Wijewardana අනුස්මරණ කුසලානය වෙනුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර 63 වැනි වරටත් පැවැත්වෙන සහෝදරයන්ගේ සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 3, 4 සහ 5 යන තෙදින කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
1964 වසරේ දී ආරම්භ වූ මෙම තරගමාලාවේ මෙතෙක් නිමා වූ තරග අතුරින් තර්ස්ටන් විද්‍යාලය ජයග්‍රහණ 7ක් ලබා ගනිමින් ඉදිරියෙන් පසුවෙන අතර ඉසිපතන විද්‍යාලයට ජයගත හැකිවෙන්නේ තරග 4ක දී පමණයි. තරග ඉතිහාසයේ එක් වරක් තරගය නොපවත්වා ඇති අතර අනෙක් තරග 50 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.
මෙම ක්‍රිකට් තරගමාලාව පසුගිය වසරේ දී පළමු වරට දින ත්‍රිත්වයක් පුරා පැවැති අතර එලෙසින් පැවැති මංගල තුන් දින තරගයේ දී කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට තනුග පලිහවඩන ගේ නායකත්වයෙන් යුත් තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.
ඉසිපතන විද්‍යාලය අවසන් වරට සහෝදරයන්ගේ සංග්‍රාම කුසලානයක් තමන් සන්තක කරගෙන ඇත්තේ මීට වසර 26කට පෙර 1999 වසරේ ක්‍රිශාන්ත ජයවර්ධන ගේ නායකත්වය යටතේ යි.
මෙවර තරගයේ දී ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම මලීෂ සඳරුවන් පෙරදැරිව ද තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායම යොවුන් ශිල්ප පෙරදැරිව ද සහෝදර තරග බිමට පිවිසීමට නියමිතයි.
- රත්-රන් සටනේ ජය කෝට්ටේ ජනාධිපතිවරුන්ට
- සිංහ ගැටුමේ ජය Colombo ජාත්‍යන්තර පාසලට
- රාජකීය විද්‍යාලය Mustangs කුසලානය දිනා ගනී
ඉසිපතන විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසෙන් තරගාවලියට පිවිසි ඉසිපතන විද්‍යාලය මෙවර තරග සමයේ දී තරග 8කට සහභාගී වෙමින් ඉන් මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහි ව කඩුලු 8ක ජයක් සහ කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමින් නිමා කරන අතර කොළඹ ආනන්ද විද්‍යාලය සමඟ තරගය නිමා වෙන්නේ විසඳුමකින් තොරවයි.
පැවැති අනෙක් තරගවල දී කුරුණෑගල මලියදේව විද්‍යාලය හමුවේ කඩුලු 9ක පරාජයකට සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය හමුවේ ඉනිමක සහ ලකුණු 96ක පරාජයකට මුහුණ දෙන ඔවුන් කඳාන ද මැසිනොද් විද්‍යාලය, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමඟ තරග අවසන් කරන්නේ පළමු ඉනිමේ වාසිය ප්‍රතිවාදීන් සතු වෙද්දීයි.
ඒ ලෙසින් අවසන් වූ එම තරග සමයේ කණ්ඩායමේ සිටින වඩාත් විශ්වසනීය පිතිකරු බවට පත් වෙන්නේ තවමත් 16 වැනි වියේ පසුවෙන තරුන් පෙරේරා. ඔහු අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 463ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
නායක මලීෂ සඳරුවන් ද ශතකයක් සමඟින් ලකුණු 400 සීමාව ආසන්නයේ සිටිමින් පිතිකරු ලැයිස්තුවේ විශ්වසනීය සටන් සගයෙක් බවට පත් ව සිටිනවා. ඊට අමතර ව නවිඳු උමෙත්, මලීෂ සඳරුවන්, යුවීන් ද සිල්වා සහ කවිඳු දෙව්සාන් පිතිකරුවන් ලෙසින් විශ්වාසය දිනා සිටිනවා.
පන්දු යවන්නන් අතුරින් කණ්ඩායමේ සිටින වඩාත් දක්ෂතා දැක් වූ පන්දු යවන්නා වෙන්නේ වමතින් දඟ පන්දු යවන් මෙනුල දඹකුඹුර. ඔහු මේ වෙද්දී කඩුලු 45ක් දවා ගනිමින් කණ්ඩායමේ විශ්වාසය දිනා සිටිනවා. ඊට අමතර ව මෙනුල සදෙව් සහ දසිත් හේමාල් ද දක්ෂ පන්දු යවන්නන් ලෙසින් වර්ගීකරණය වී තිබෙනවා.
ඉසිපතන විද්‍යාලයේ පුහුණුකරු ලෙසින් සාලින් ද උෂාන් මහතා කටයුතු කරන අතර සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අමේෂ් රාහුල්.
ඉසිපතන විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
මලීෂ සඳරුවන් (නායක), දසිත් පෙරේරා (උප නායක), සනිජ ගුණවර්ධන, මෙනුල දඹකුඹුර, කෙනෝන් ජිත්මින්, කුසල් නිර්මල, තරුන් පෙරේරා, යුවීන් ද සිල්වා, දිමුතු තාරුක, යෙශිඳු මනීෂ, නමිඳු ඉමේෂ්, ජනිඳු ඉඳුවර, කවිඳු දෙව්ශාන්, ජනිත් හේවගේ, හසිඳු කෙත්මිණ, නවිඳු උමෙත්, තරිඳු නවීන්, තාරුක පාදුක්කගේ, සවේන් යෙනුක, ආර්ශෙල් වල්ගමගේ, දිනෙත් හෙට්ටිආරච්චි, අකේන් අතපත්තු, අභිශේක් පෙරේරා, අනුහෂ් ඕෂිත, දිනුෂ සම්මාන, තිතිර සංසිර, උදයකුමාර අභිශේක්, උජිත් හෙට්ටිආරච්චි, අභිරු වල්පොළ, බුත්මාල් ධනතිස්ස,
- මොරටු – ශ්‍රී සුමංගල රන් සටනත් විසඳුමක් නෑ
- විසඳුමක් නැති සුනිල සංග්‍රාමයට වාර්තා රැසක්
- සාන්තුවරයන්ගේ සටන 69 වැනි වරටත් විසඳුමකින් තොර වෙයි
තර්ස්ටන් විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ Tier A කොටසේ තරගාවලියට සහභාගී වන තර්ස්ටන් විද්‍යාලය නිමා වූ තරග සමයේ දී තරග 12කට සහභාගී වෙන අතර ඒ අතුරින් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරමින් ද සහ එක් තරගයක් විසඳුමකින් තොරව ද අවසන් කරනවා.
අනෙකුත් තරගවල දී පළමු ඉනිමේ පරාජයන්වලට මුහුණ දෙන ඔවුන් වේල්ස් කුමාර විද්‍යාලය වෙතින් කඩුලු 8ක ලත් පරාජයක් ද සමඟිනුයි නිමා වූ තරග සමය අවසන් කරන්නේ.
කණ්ඩායමේ සිටින පිතිකරුවන් අතුරින් විශ්වසනීය ම පිතිකරු බවට පත් ව ඇත්තේ මැද පෙළින් පිටියට පිවිසෙන රචින්ත ද සිල්වා. ඔහු නිමා වූ තරගාවලියේ දී ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 610ක් ලබා සිටිමින් මෙම තරගය හා එක් වෙනවා.
ඔහුට අමතර ව අකේන් ද අල්විස්, ජනිත රුක්ෂාන්, යොහාන් සේනානායක, සෙත්රූ ප්‍රනාන්දු, උදර්ශ නිම්සර, හිරුෂ ඩයස් සහ නිතිෂ් කමලසූරිය තර්ස්ටන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවන පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලක් ව සිටිනවා.
පසුගිය වසරේ ජයග්‍රාහී තර්ස්ටන් විද්‍යාලයීය නායක තනුග පලිහවඩන ද මෙම කණ්ඩායමට ඇතුලත් අතර ඔහු නිමා වූ තරග සමයේ දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 300 සීමාව ආසනයේ ද සහ කඩුලු 40 සීමාව ඉක්මවා ද ලබා ගනිමින් මෙවර කණ්ඩායම හා එක් ව සිටිනවා.
එමෙන් ම කණ්ඩායමේ සිටින ප්‍රධාන පන්දු යවන්නා බවට පත් ව සිටින්නේ වමතින් පා දඟ පන්දු යවන නායක යොවුන් ශිල්ප. ඔහුට අමතර ව අකේන් ද අල්විස් සහ උප නායක සෙත්රූ ප්‍රනාන්දු දක්ෂ පන්දු යවන්නන් ලෙසින් වර්ගීකරණයට ලක් ව සිටිනවා.
තර්ස්ටන් විද්‍යාලයේ පුහුණුකරු ලෙසින් සුනෙත් ගුණතිලක මහතා කටයුතු කරන අතර සහාය පුහුණුකරුවන් ලෙසින් ඉමේෂ් ද සිල්වා සහ දිනාල් ඉඳුවර යන මහත්වරුන් කටයුතු කරනවා.
තර්ස්ටන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
යොවුන් ශිල්ප (නායක), සෙත්රූ ප්‍රනාන්දු (උප නායක), ඉනුප පුංචිහේවා, ජනිත රුක්ශාන්, රිසෝන් ජන්සෙන්, උදර්ශ නිම්සර, ජනුල් දම්හිරු, තනුග පලිහවඩන, ලෙසඳ හේවාපතිරණ, නිතිෂ් කමලසූරිය, යොහාන් සේනානායක, රචින්ත ද සිල්වා, සංවිඳු දිසානායක, තිසේන් වික්‍රමරත්න, හිරුශාන් ඩයස්, සචින් ප්‍රේමසිංහ සහ අකේන් ද අල්විස්
63 වැනි සහෝදරයන්ගේ සංග්‍රාමයට එක් වෙන තර්ස්ටන් – ඉසිපතන විද්‍යාලය සහෝදරයන්ට ThePapare හී උණුසුම් සුබ පැතුම්!
මෙම තරගය ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare අංක 2 නාලිකාව ඔස්සේ සජීවී ව Dialog Chanel අංක 62 සුසර කර ගැනීමෙන් නැරඹිය හැකි අතර Dialog ViU සහ ThePapare.com මඟින් ද නැරඹිය හැකියි.
වසර ගණනාවක් පුරා මෙරට වාර්ෂික මහා ක්‍රිකට් තරග අතර පළමුවෙන් ම පවත්වන්නට යෙදෙන සහෝදරයන්ගේ සංග්‍රාමය මෙවර මේ ආකාරයෙන් අප්‍රේල් මාසයේ පවත්වන්නට යෙදුණ ද සහෝදර සංග්‍රාමයට සමගාමී ව පැවැත්වෙන වාර්ෂික එක්දින සහ විස්සයි විස්ස තරග මීට පෙර පැවැතියා.
ඒ අනුව 46 වැනි වරටත් පැවැති වාර්ෂික එක්දින සීමිත පන්දුවාර තරගය කොළඹ P. Sara Oval පිටියේ දී පැවැති අතර එම තරගයෙන් තර්ස්ටන් විද්‍යාලය ලකුණු 59ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
දෙවිදුහල් අතර 19 වැනි වරටත් පැවැති වාර්ෂික විස්සයි විස්ස තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවැති අතර එම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් වෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
























