විසඳුමක් නැති සුනිල සංග්‍රාමයට වාර්තා රැසක්

57th Battle of the Blues

5

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර පැවැත්වෙන සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයට වාර්තා කිහිපයක් ම එක් කළ 57 වැනි තරගය විසඳුමකින් තොරව අවසන් වූවා. මෙම තරගය දෙවිදුහල් ඉතිහාසයට විසඳුමකින් තොරව එක් වූ 42 වැනි තරගයයි. 

මෙම තරගයේ දී, 2004 වසරේ දී උපුල් තරංග ලකුණු 169ක් ලබා ගනිමින් ඉනිමක වැඩිම ලකුණුලාභියා බවට පත් ව තිබූ වාර්තාව ලකුණු 205ක් ලබා ගත් ධර්මාශෝක විද්‍යාලයේ ම චන්දූප කවීෂ විසින් සතු කර ගැනීම ප්‍රමුඛ වාර්තාව බවට පත් වුණා. එය සුනිල සංග්‍රාම තරග ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ මංගල ද්විත්ව ශතකය ද වූවා.   

නිමා වූ මෙම තරගයේ දී චන්දූප කවීෂ පන්දු 192කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 11ක් සමඟින් ලකුණු 205ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඔහුගේ මෙම ඉනිම අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී වාර්තා වූ ඉනිම් අතර 2 වැනි වූයේ 2011 වසරේ දී ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ශාම් සුරංගකෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 207ක ඉනිමටයි. 

එමෙන් ම මෙම තරගයේ දී චන්දූප කවීෂ 5 වැනි කඩුල්ලට ඔමේග කරුණාරත්න හා සමඟ එක් ව ලකුණු 193ක සබඳතාවක් ගොඩ නගන අතර එය සුනිල සංග්‍රාම ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාව බවට ද පත් වූවා.   

ඊට අමතර ව මෙම තරගයේ දී ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ නිෂිත් තේජව ඉනිම් ද්විත්වයේ දී ම අර්ධ ශතක වාර්තා කරන ලද අතර ඔහු ගිය වර වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී ද අර්ධ ශතකයක් වාර්තා කරනවා. ඒ අනුව සුනිල සංග්‍රාම ඉතිහාසයට පිට පිට අර්ධ ශතක ත්‍රිත්වයක් වාර්තා කළ එක ම පිතිකරු බවට ඔහු පත් වෙනවා.  

ධර්මාශෝක විද්‍යාලය මෙම තරගයේ දී තම පළමු ඉනිමේ දී ලකුණු 366ක් වාර්තා කරන ලද අතර එය සුනිල සංග්‍රාම ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.  

ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ ධර්මාශෝක විද්‍යාලය විසින් 1981 වසරේ දී කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු 325ටයි.  

සුනිල සංග්‍රාමයට අම්බලන්ගොඩ සූදානම්

අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී දේවානන්ද විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 205ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ධර්මාශෝක විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 366ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවා ප්‍රතිවාදීන්ට නැවත පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කරනවා.  

ඒ අනුව ලකුණු 161ක් පිටුපස සිටිමින් පිටියට පිවිසි ඔවුන් තරගය අවසන් වන විට තම 2 වැනි ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 226ක් ලබා සිටියා.  

තරගය 2 වැනි දිනයට ආරම්භ වෙන්නේ තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටි ධර්මාශෝක විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු ලකුණු 128ක් ලබා සිටියදීයිතරගයේ දෙවැනි දිනයේ දිවා ආහාරය වෙද්දී ධර්මාශෝක විද්‍යාලයීය ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 4ක් දැවී ලකුණු 219ක් ලෙසයි. ඒ වෙද්දී පෙර දින නොදැවී ලකුණු 63ක් ලබා සිටි චන්දූප කවීෂ නොදැවී ලකුණු 106ක් ලබා සිටියා.  

දිවා විවේකයෙන් පසුව තවත් පන්දුවාර 11ක් පමණක් ක්‍රීඩා කරන ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ ඉනිම අත් හිටුවනවා. ඒ වෙද්දී චන්දූප කවීෂ ද්විත්ව ශතකයක් ලබා ගනිමින් ද සහ ඔමේග කරුණාරත්න අර්ධ ශතකයක් ලබා ගනිමින් ද තම ඉනිම් අවසන් කරගෙන සිටියා.  

ඔමේග කරුණාරත්න ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 73කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 69ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී සෙනුල වින්සර සහ සවිනු ගිහන්සිත් අතරේ කඩුලු ද්විත්වය බැගින් ද නිසිත් තේජව සහ බාෂිත මනෝද්‍ය අතරේ කඩුල්ල බැගින් ද බෙදී තිබුණා.   

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුල්ල ලකුණකට දැවී ගිය අතර 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක සබඳතාවක් ගොඩ නැගීමට සවීන් තියුණුවන් සහ තෙනුෂ වීරසිංහ සමත් වෙනවා.  

සවීන් තියුණුවන් 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා. ඉන් අනතුරු ව තවත් ලකුණු 13ක් නන්දියන්ස් ඉනිමට එක් වෙද්දී තෙනුෂ වීරසිංහ ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.  

අනතුරු ව නිෂිත් තේජව ශ්‍රී දේවානන්ද ඉනිමේ බර කරට ගනිමින් පන්දුවට පහර දෙන අතර ඔහු 4 වැනි කඩුල්ලට සවිනු ගිහන්සිත් හා එක් ව ලකුණු 52ක සබඳතාවක් ද 5 වැනි කඩුල්ලට දනිඳු ඉනෝෂ හා එක් ව ලකුණු 58ක සබඳතාවයක් ද සහ 6 වැනි කඩුල්ලට දැවී යද්දී මහීම් දේශායි හා එක් ව ලකුණු 44ක සබඳතාවක් ද එක් කරනවා.  

එහි දී සවිනු ගිහන්සිත් පන්දු පන්දු 66කට මුහුණ දෙමින් ලකුණු 13ක් ද, නායක දනිඳු ඉනෝෂ පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ද සහ මහීම් දේශායි තරගය විසඳුමකින් තොරව අවසන් වෙද්දී පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ද ලබා සිටියා. 

කඩුලු දවා ගැනීමේ දී කවීෂ සඳරුවන් ලකුණු 65කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව බිඟුන් ඉඳුමිණ සහ නායක ජිතිර සංසික කඩුල්ල බැගින් බෙදා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිමසියලුම දෙනා දැවී 205 (57.5) නිශිත් තේජව 75, දනිඳු ඉනෝෂ 25, සවිනු ගිහන්සිත් 52, බිඟුන් ඉඳුමින 2/40, රෙශිත රුවිශ්වක 3/37 
  • ධර්මාශෝකවිද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 128 (32.0) චන්දූප කවිශ 205, සුහස් ද සිල්වා 30, කවීෂ මතීෂ 38, ඔමේග කරුණාරත්න 69, සවිනු ගිහන්සිත් 2/68, සෙනුල වින්සර 2/67 
  • ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම- දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 226 (62.0) තෙනුශ වීරසිංහ 23, සවීන් තියුණුවන් 20, නිශිත් තේජව 91, දනිඳු ඉනෝෂ 28, මහිම් දේශායි නොදැවී 44, කවීෂ සඳරුවන් 3/65 

තරගයේ විසඳුමක් නෑ.  

  • තරගයේ දක්ෂත පන්දු රකින්නා – කවීෂ මතීෂ් (ධර්මාශෝක විද්‍යාලය) 
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – කවීෂ සඳරුවන් (ධර්මාශෝක විද්‍යාලය) 
  • තරගයේ දක්ෂතම පිතිකරු – නිශිත් තේජව (ශ්‍රී දේවානන්ද විද්‍යාලය) 
  • තරගයේ විරයා – චන්දූප කවීෂ (ධර්මාශෝක විද්‍යාලය) 

සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 31 වැනිදා අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.  

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<