කණ්ඩායම් 14ක ක්‍රීඩකයෝ 222කගේ දක්ෂතාවලින් සමන්විත වූ Major Clubs එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමා වෙනවා.
ප්‍රථම වරට අවසන් පූර්ව තරග වටයේ සිට දිවා/රාත්‍රී තරගය ලෙසින් පැවැති මෙවර තරගාවලියේ ශූරයන් බවට CCC කණ්ඩායම පත් වෙන අතර අනුශූරයන් බවට පත් වෙන්නෙ Police SC කණ්ඩායමයි.
තරග 45ක ඉනිම් 90කින් සමන්විත වූ මෙවර තරගාවලියේ සුවිශේෂී කඩඉම් පිළිබඳ ව තැබෙන සටහනකි මේ.
අවසන් මහා තරගයේ වීරයා – පවන් රත්නායක (CCC)
අවසන් මහා තරගයේ CCC කණ්ඩායමේ සුවිශේෂී ප්‍රහාරකයා බවට පත් වූ 22 හැවිරිදි වියේ පසුවෙන පවන් රත්නායක අවසන් මහා තරගයේ වීරයා ලෙසින් නම් කෙරෙනවා.
දකුණතින් පිත්ත හසුරුවන මැද පෙළින් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔහු අවසන් මහා තරගයේ දී පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 158ක් ලබා ගන්නා ලද අතර එය ඔහුගේ තරග 79ක පළමු පෙළ එක්දින තරගවල ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් කර ගන්නවා.
එම ඉනිමේ දී ඔහු නායක සොනාල් දිනූෂ සමඟින් 5 වැනි කඩුල්ලට පන්දු 126ක දී ලකුණු 190ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වෙනවා.
එම දක්ෂතාත් සමඟින් ඔහු මෙවර තරගාවලියේ දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් තරග 2ක ඉනිම් 2ක දී ලකුණු 221ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය දැක්වෙන්නේ ද 221.00ක් ලෙසයි.
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – මොවින් සුබසිංහ (BRC)
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වෙන්නේ BRC කණ්ඩායමේ 25 වැනි වියේ පසුවෙන මොවින් සුබසිංහ. දකුණතින් පිට දඟ පන්දු යවන මොවින් සුබසිංහ මෙවර තරගාවලියේ මෙම සම්මානයට හිමිකම් කියන්නේ පළමු වටය අවසන් වෙද්දී තරග 6ක දී කඩුලු 16ක් දවා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙනුයි.
එම කඩුලු අතරට Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව ලකුණු 19කට දවා ගත් කඩුලු 6 ඔහුගේ මෙම තරගාවලියේ ඉහළ ම දක්ෂතාව වන අතර මෙන් ම පළමු පෙළ එක්දින තරග 50ක ඉහළ ම දක්ෂතාවය බවට ද පත් වුණා.
දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් ද සැලකෙන මොවින් සුබසිංහ මෙවර තරගාවලියේ දී අර්ධ ශතයක් ද සමඟින් ලකුණු 168ක් ලබා ගන්නා ලද අතර ඒ අතර හයේ පහර 15ක් ද එල්ල කරමින් තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයන් අතර සම 2 වැනි ස්ථානයට ද පත් වෙනවා.
තරගාවලියේ දක්ෂතම පිතිකරු – සංගීත් කුරේ (Colts CC)
මෙවර තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනූ Colts කණ්ඩායමේ 30 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක වමත් පිතිකරු සංගීත් කුරේ තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවා ද වෙනවා.
ඔහු මෙවර තරගාවලියේ දී ඉනිම 7ක දී ලකුණු 408ක් ලබා ගනිමින් මෙම සම්මානයට හිමිකම් කියන අතර ඔහුගේ ලකුණු අතර Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව ලබා ගන්නා ලද ශතකයක් සහ CCC (51), Moors (88), Nugegoda (81) සහ Bloomfield (52) කණ්ඩායම්වලට එරෙහි ව ලබා ගත් අර්ධ ශතක 4ක් ද ඇතුලත්.
තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – තනුක දාබරේ (Chilaw Marians CC)
පිතිකරුවෙක් ලෙසින් තරග 6ක ඉනිම් 6ක දී ලකුණු 242ක් සහ කඩුලු 13ක් ලබා ගත් Chilaw Marians කණ්ඩායමේ 26 හැවිරිදි වියේ පසුවෙන වමතින් පිත්ත හසුරුවන, දකුණතින් පිට දඟ පන්දු යවන තනුක දාබරේ මෙවර තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලබනවා.
මෙවර තරගාවලියේ ඔහුගේ පිතිකරු භූමිකාවේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ Police කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ලකුණු 73යි. ඊට අමතර ව ඔහු Tamil Union කණ්ඩායමට එරෙහිව ද ලකුණු 62ක් ලබා ගන්නවා.
පන්දු යවන්නෙක් ලෙසින් ඔහු මෙවර පෑ ඉහළ ම දක්ෂතාව වෙන්නේ Ace Capital කණ්ඩායමට එරෙහි ව ලකුණු 44කට දවා ගත් කඩුලු 5යි. ඊට අමතර ව ඔහු Tamil Union කණ්ඩායමට එරෙහි ව ද ලකුණු 47කට කඩුලු 4ක් දවා ගන්නවා.
තරගාවලියේ වීරයා – නිශාන් මදුශ්ක (CCC)
CCC කණ්ඩායම නියෝජනය කරන 25 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු නිශාන් මදුශ්ක මෙවර තරගාවලියේ වීරයා ලෙසින් අභිශේක ලබනවා. නිමා වූ තරගාවලියේ දී ඔහුගේ දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ තරග 5ක ඉනිම් 5ක දී ලකුණු 393ක් ලෙසයි.
ඒ අතර ඔහුගේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ Bloomfield කණ්ඩායමට එරෙහි ව පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් සමඟින් ලබා ගත් ලකුණු 174යි. මෙම ලකුණු සංඛයාව මෙවර තරගාවලියේ පිතිකරුවෙක් ඉනිමක දී රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.
එම ඉනිමට අමතර ව ඔහුගේ පිතිකරු ගිණුමේ Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 76ක් ද සහ අවසන් මහා තරගයේ දී Police කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ලකුණු 88ක් ද ඇතුලත් වෙනවා. .
එමෙන් ම ඔහු මෙවර තරගාවලියේ දී තම තරග 81ක් වන පළමු පෙළ එක්දින තරගවල දී ලකුණු 3000 සීමා ව පසු කිරීමට ද සමත් වෙනවා.
තරගාවලියේ සුවිශේෂී කඩඉම්
387/5 : අවසන් මහා තරගයේ දී CCC ක්‍රීඩකයෝ වාර්තා කරන ලද මෙම ඉනිම මෙවර තරගාවලියේ කණ්ඩායමක් විසින් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
67 : තරගාවලියේ අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම බවට පත් වෙන්නේ Kurunegala Youth කණ්ඩායමයි. ඔවුන් මෙම අවාසනාවන්ත ඉනිම ක්‍රීඩා කරන්නේ Colts කණ්ඩායම සමඟිනුයි.
633 : තරගාවලියේ තරගයක දී කණ්ඩායම් ද්විත්වය එක් ව ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ මෙයයි. එහි දී CCC කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 316ක් ලබා ගන්නා ලද අතර Moors ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 317ක් ලබා ගන්නවා.
249 : තරගාවලියේ වාර්තා වූ ඉහළ ම ජයග්‍රහණය වන්නේ Colts කණ්ඩායම විසින් ලත් මෙම ලකුණු ප්‍රමාණයකින් යුත් ජයග්‍රහණයයි. එහි ප්‍රතිවාදීන් වූයේ Kurunegala Youth කණ්ඩායමයි.
32 : Ace Capital සහ Chilaw Marians අතර පැවැති තරගයේ දී Ace Capital කණ්ඩායම 5b, 4lb, 21w සහ 2nb ලෙසින් ලබා දුන් මෙම අතිරේක ලකුණු ප්‍රමාණය තරගාවලියේ තරගයක දී වාර්තා වූ ඉහළ ම අතිරේක ලකුණු ප්‍රමාණයයි.
20 : මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත් වෙන්නේ Tamil Union කණ්ඩායමේ විජයකාන්ත් වියස්කාන්ත්. 23 හැවිරිදි වියේ පසුවෙමින් පා දඟ පන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දැක් වූ ඔහු තරග 7ක දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 20ක්.
- තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් 5 දෙනා
Player | Team | In | Ove | M | Runs | Wkts | Best | Ave | 4 | 5 | |
1 | විජයකාන්ත් වියස්කාන්ත් | Tamil | 7 | 69.0 | 2 | 267 | 20 | 4/21 | 13.35 | 2 | 0 |
2 | මොවින් සුබසිංහ | BRC | 6 | 51.0 | 4 | 192 | 16 | 6/19 | 12.00 | 0 | 1 |
3 | දිලුම් සුදීර | Police | 7 | 57.0 | 4 | 239 | 15 | 4/36 | 15.93 | 1 | 0 |
4 | හිවින් කෙනුල | Moors | 6 | 36.0 | 2 | 163 | 13 | 3/18 | 12.53 | 0 | 0 |
5 | ලසිත් ඇඹුල්දෙණිය | NCC | 6 | 56.0 | 4 | 212 | 13 | 3/28 | 16.30 | 0 | 0 |
6/19 : තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාවේ ගෞරවය හිමිකර ගන්නේ BRC කණ්ඩායමේ මොවින් සුබසිංහට. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Kurunegala Youth කණ්ඩායමට එරෙහිවයි.
2 : තරගාවලියේ ඉනිමක කඩුලු 4ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථාවන් නියෝජනය කළ ක්‍රීඩකයන් තිදෙනෙක් සිටිනවා. ඒ Colts කණ්ඩායමේ අකිල ධනංජය, Chilaw Marians කණ්ඩායමේ තනුක දාබරේ සහ Tamil Union කණ්ඩායමේ විජයකාන්ත් වියස්කාන්ත්.
11 : වැඩිම දවාලීම් ගණනකට සහභාගී වූ කඩුලු රකින්නා වෙන්නේ Bloomfield කණ්ඩායමේ තරිඳු හර්ෂණ. ඔහු උඩ පන්දු 9ක් සහ කඩුල්ල බිඳ දැමීම් 2ක් සිදු කරනවා.
7 : තරගාවලියේ වැඩිම උඩ පන්දු රැකගත් ක්‍රීඩකයන් වෙන්නේ Ace Capital කණ්ඩායමේ හිමාෂ ලියනගේ සහ CCC කණ්ඩායමේ සහන් කෝසල.
408 : තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ Colts කණ්ඩායමේ 30 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු සංගීත් කුරේ.
- තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා
Player | Team | M | I | NO | Runs | HS | Ave | 100 | 50 | 4s | 6s | |
1 | සංගීත් කුරේ | Colts | 7 | 7 | 0 | 408 | 100 | 58.28 | 1 | 4 | 33 | 7 |
2 | නිශාන් මදුශ්ක | CCC | 5 | 5 | 1 | 393 | 174 | 98.25 | 1 | 2 | 43 | 9 |
3 | රමේෂ් මෙන්ඩිස් | Moors | 6 | 6 | 2 | 296 | 73* | 74.00 | 0 | 3 | 15 | 4 |
4 | ඩිල්ශාන් ද සොයිසා | Baduraliya | 6 | 6 | 0 | 296 | 104 | 49.33 | 1 | 2 | 27 | 3 |
5 | සිතාර ගිම්හාන් | Moors | 6 | 6 | 1 | 278 | 158* | 55.60 | 1 | 1 | 20 | 13 |
174 : තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ නිශාන් මදුශ්ක. ඔහු මෙම දක්ෂතාව සිදු කිරීමේ දී පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් ඊට එක් කරනවා. ප්‍රතිවාදීන් වෙන්නේ Bloomfield කණ්ඩායමයි.
50s : තරගාවලියේ වැඩිම අර්ධ ශතකලාභියා බවට පත් වෙන්නේ Colts කණ්ඩායමේ සංගීත් කුරේ. ඔහු මෙවර තරගාවලියේ දී CCC (51), Moors (88), Nugegoda (81) සහ Bloomfield (52) ලෙසින් අර්ධ ශතක 4ක් රැස් කරනවා.
16x6s : තරගාවලියේ වැඩිම 6 පහර එල්ල කළ පිතිකරු බවට පත් වෙන්නේ Chilaw Marians කණ්ඩායමේ 24 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු රවිඳු රත්නායක.
43 x4s : තරගාවලියේ වැඩිම 4 පහර එල්ල කළ පිතිකරු බවට පත් වෙන්නේ CCC කණ්ඩායමේ 25 වැනි වියේ පසුවෙන දකුණත් පිතිකරු නිශාන් මදුශ්ක.
106 : තරගාවලියේ හයේ පහර සහ හතරේ පහර මඟින් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වන්නේ CCC කණ්ඩායමේ පවන් රත්නායක. ඔහු අවසන් මහා තරගයේ දී Police කණ්ඩායමට එරෙහි ව හතරේ පහර 13 සහ හයේ පහර 9ක් එල්ල කරමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙනවා.
228* : තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාව පිහිටුවන්නේ Moors කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් සහ සිතාර ගිම්හාන්. ඔවුන් දෙදෙනා මෙම දක්ෂතාව දක්වන්නේ CCC කණ්ඩායමට එරෙහි ව සිව් වැනි කඩුල්ල වෙනුවෙනුයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<