ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය එළඹෙන 13 වැනි දා ජපානයේ ටෝකියෝ හිදි ආරම්භ වීමට නියමිත අතර, මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වීමට නියමිතයි.
මෙවර තරගාවලිය වෙනුවෙන් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කරමින් රුමේෂ් තරංග පතිරගේ සහ සුමේධ රණසිංහ සහභාගී වීමට නියමිත අතර, කාන්තා මීටර් 400 ඉසව්ව වෙනුවෙන් නදීශා රාමනායක සහභාගී වීමට සූදානමින් පසු වනවා.
මේ අතරින් රුමේෂ් සහ සුමේධ අදාළ ඉසව්වේ පරිසාධන මට්ටම් ඉක්මවා යමින් ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීම සුවිශේෂී කරුණක්.
රුමේෂ් තරංග
පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 1253ක් ලබමින් 12 වැනි ස්ථානයේ රැඳෙන රුමේෂ් මෙම වසර තුළ කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ලෝක මට්ටමට අභියෝග කිරීමට පවා තමන් සුදුසු බව ඉඟි කරමින් සිටියා.
මෙම වසරේ දී රුමේෂ්ගේ ඉහළම දක්ෂතාව ලෙස මීටර් 86.50ක් සටහන් වී ඇති අතර පසුගිය අගෝස්තු මස 10 වැනිදා ඔහු විසින් ඉන්දියාවේ දී මෙම දක්ෂතාව දැක්වූ අතර, එය හෙල්ල විසි කිරීම ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාව ලෙස ද සටහන් වී තිබෙනවා. රුමේෂ්ගේ මෙම දක්ෂතාව මෙම වසර වෙනුවෙන් ලොව වාර්තා වූ 14 වැනි හොඳම දක්ෂතාව ලෙස සටහන් වී ඇති අතර, මෙම වසරේ හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතා 60 අතරේ රුමේෂ්ගේ නම සිව් වරක් සටහන් වී තිබීමත් (මීටර් 86.50, මීටර් 85.41, මීටර් 84.34, මීටර් 83.71) විශේෂත්වයක්.
එමෙන්ම මෙම වසරේ හොඳම විසි කිරීම් සහිත ක්‍රීඩකයින් අතරේ රුමේෂ්ගේ මීටර් 86.50ක දක්ෂතාව හත් වැනි ස්ථානයේ රැඳී තිබෙන්නේ මෙවර ලෝක ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කමක පහස විඳීමට ඇති සම්භාවිතාව ඉහළ දමමිනුයි.
මේ වන විට 22 වැනි වියේ පසු වන රුමේෂ් විසින් මේ දක්වා එක් වරක් ජාතික ශූරතාව දිනා ගැනීමට සමත් වී ඇති අතර, ආසියානු ශූරතාවයේ මෙන්ම 20න් පහළ ලෝක ශූරතාවයේ දී ද හොඳම ක්‍රීඩකයින් 08 දෙනා අතරට පැමිණීමට සමත් වුනා.
රුමේෂ් සිය ක්‍රීඩා දිවියේ ඉහළම දක්ෂතා දැක්වීම පසුගිය වසරේ දී ආරම්භ කල අතර, එතැන් පටන් හෙල්ල විසි කිරීම ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ පෙර නොවූ විරූ ද්වන්ද සටනක් නිර්මාණය වුනා.
වසර ගණනකට පසුව ශ්‍රී ලංකාවෙන් ලෝක මට්ටමේ කැපී පෙනෙන දක්ෂතා දක්වමින්, ලෝක මට්ටමට අභියෝග කිරීමට සූදානමින් සිටිනා ක්‍රීඩකයකු ලෙසයි රුමේෂ්ව හඳුනා ගත හැක්කේ.
සුමේධ රණසිංහ
මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 30 වැනි ස්ථානයේ රැඳී සිටින සුමේධ විසින් මෙම වසරේ දී සිය හොඳම පෞද්ගලික දක්ෂතාව ලෙසින් මීටර් 85.78ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වුනා. රුමේෂ් විසින් මෙම වසරේ දී සිය හොඳම දක්ෂතාව ලෙස මීටර් 86.50ක දුරක් සලකුණු කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට පෙර එම ජාතික වාර්තාව සුමේධගේ මෙම දක්ෂතාවටයි වෙන් වී තිබුණේ.
සුමේධගේ මෙම දක්ෂතාව මෙම වසරේ ලොව හොඳම හෙල්ල විසි කිරීම් අතරේ 23 වැනි ස්ථානයේ රැඳී තිබෙනවා. එමෙන්ම මෙම වසරේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කර ඇති ක්‍රීඩකයින් අතුරින් සුමේධ මෙම දක්ෂතාව සමඟ එකොළොස් වැනි ස්ථානය දක්වා පැමිණීමට ද සමත් වී තිබෙනවා.
මේ වන විට 34 වැනි වියේ පසු වන සුමේධ විසින් 6 වරක් හෙල්ල විසි කිරීමේ ජාතික ශූරයා වීමට සමත් වී ඇති අතර, දෙවරක් ආසියානු ශූරතාවයේ හොඳම ක්‍රීඩකයින් අතරේ රැඳීමට ද සමත් වුනා. රුමේෂ් තරංග විසින් ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා පිටියට අවතීර්ණ වීමට ප්‍රථම සුමේධ කිසිඳු අභියෝගයකින් තොරවම මෙම ඉසව්වේ ශූරයා වෙමින් වැජඹුණා. කෙසේ වෙතත් රුමේෂ්ගේ පැමිණීමෙන් පසුව දෙදෙනා අතර තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර, ජාතික වාර්තාව ද පෙර නොවූ විරූ අයුරින් වරින් වර වෙනස් වීම ආරම්භ වුනා.
වසර 13ක් ඉක්මවා යන සුමේධගේ ක්‍රීඩා දිවියේ හොඳම වසර ලෙස මෙම වසර හඳුනා ගත හැකි. මේ නිසාම මෙවර ලෝක ශූරතාවලියේ දී රුමේෂ්ට පමණක් නොව ලොව නම් දැරූ අනෙක් ක්‍රීඩකයින්ට ද සුමේධගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වෙතැයි අනුමාන කළ හැකි.
- අඬන්නෙත්, දුවන්නෙත් රට වෙනුවෙන්
- 23 වසරකට පසු මී. 400 පෙරළිකාරිය “නදීෂා”
- ඉඩෝරයකට පසු පැමිණි ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ වසන්තය
- 90 දශකයේ කෙටිදුර රජුන් පසු කර දිවූ සුගත් තිලකරත්න
- අච්චුපොතේ පින්තූරෙන් බර එසවීමට සිත් ගත් CWG වීරයා
නදීශා රාමනායක
මෙවර ලෝක ශූරතාව වෙනුවෙන් සෘජු සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව රුමේෂ් සහ සුමේධට පමණක් හිමි වුනත්, පසුව ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවකට ද මෙවර තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව උරුම වුනා. මෙහි දී නදීශා රාමනායක සහ නදීශා ලේකම්ගේ යන ක්‍රීඩිකාවන් ඒ වෙනුවෙන් යෝජනා වූ අතර, අවසානයේ එම වටිනා අවස්ථාව නදීශා රාමනායකට සතු වුනා.
මේ වන විට 30 හැවිරිදි වියේ පසු වන නදීශා විසින් කාන්තා මීටර් 400 ඉසව්ව වෙනුවෙන් වාර්තා කර ඇති හොඳම ධාවන කාලය ලෙස තත්පර 52.61ක් සටහන් වී තිබෙනවා. මෙම වසරේ දී ඇයගේ හොඳම ධාවන කාලය ලෙස තත්පර 52.86ක කාලයක් සටහන් වී ඇති අතර, මෙවර තරගාවලියේ දී ඇයට සිය පෞද්ගලික හොඳම දක්ෂතා ඉහළ නංවා ගනිමින් ඉදිරියට පැමිණීමට වටිනා අවස්ථාවක් හිමි වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට ඇය කාන්තා මීටර් 400 ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 177 වැනි ස්ථානයෙයි රැඳෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග වේලාවන්
- නදීශා රාමනායක – සැප්තැම්බර් 14 ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.55ට කාන්තා මීටර් 400 මූලික වටයේ ඉසව් ආරම්භ වීමට නියමිතයි. 16 වැනි දා සවස 5.35ට මෙම ඉසව්වේ අවසන් පූර්ව තරග සහ 18 වැනි දා සවස 6.54ට ඉසව්වේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.
- සුමේධ රණසිංහ සහ රුමේෂ් තරංග – පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මූලික වටයේ තරග වට 17 වැනි දා සවස 3.40ට සහ 5.15ට ආරම්භ වීමට නියමිතයි. ඉසව්වේ අවසන් තරගය සැප්තැම්බර් 18 දා සවස 3.53ට ආරම්භ කිරීමට නියමිතයි.
මෙවර මලල ක්‍රීඩා ලෝක ශූරතාව පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානමින් පසු වනවා, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<