ආසියානු කණ්ඩායම් මේසපන්දු ශූරතාවලියට ශ්‍රී ලංකාවත්

28th Asian Table Tennis Team Championship 2025

9

ජාත්‍යන්තර මේසපන්දු සංගමය සහ ආසියානු මේසපන්දු සංගමය එක් ව 28 වැනි වරටත් සංවිධානය කරන ආසියානු මේසපන්දු කණ්ඩායම් ශූරතාවලිය සඳහා සහභාගී වන කාන්තා සහ පිරිමි කණ්ඩායම් පසුගියදා ඉන්දියාව බලා පිටත් වුණා.  

තරගාවලිය සඳහා එක් වෙන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වය චමීර ගිනිගේ වෙත ද සහ කාන්තා කණ්ඩායමේ නායකත්වය බිමන්දි බණ්ඩාර වෙත ද හිමි ව තිබේ.  

2026 වසරේ පැවැත්වෙන ලෝක ශූරතා මේසපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 11 වැනිදා සිට 15 වැනිදා දක්වා ඉන්දියාවේ Bhubaneswar හි දී පැවැත්වේ. 

  • ශ්‍රී ලංකා මේසපන්දු පිරිමි කණ්ඩායම

චමීර ගිනිගේ (නායක), නිමේෂ් රංචාගොඩ, චනුල් දුල්සේන් සහ ශෆිඋල්ලා අක්‍රම්.  

  • ශ්‍රී ලංකා මේසපන්දු කාන්තා කණ්ඩායම

බිමන්දි බණ්ඩාර (නායිකාව), ටමාදි කාවින්ද්‍යා, ලෙසන්‍යා සෙතුම්දී සහ ශමල්ෂා දෙව්මි. 

  • නිලධාරීන්

බුද්ධික දික්කුඹුර (පුහුණුකරු), ඩබ්ලිව්. එම්. ඒ. විජේසිංහ (කළමණාකරු), ජේ. ඒ. එස්. රූපිකා (කාන්තා භාර නිලධාරිනී) 

මෙම තරගාවලියේ පිරිමි ඉසව්වන් සඳහා ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 21ක ක්‍රීඩකයෝ 91ක් දෙනෙක් ද කාන්තා ඉසව්වන් සඳහා ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 19ක ක්‍රීඩිකාවෝ 88 දෙනෙක් ද තරග බිමට එක් වීමට නියමිතයි.  

මෙවර තරගාවලියට එක් වෙන කණ්ඩායම් අතුරින් පිරිමි ඉසව්වන් සඳහා එක්වෙන කණ්ඩායම් අතුරින් චීනය පළමු ස්ථානයේ ද සහ කාන්තා ඉසව්වන් සඳහා සහභාගී වෙන කණ්ඩායම් අතුරින් ජපානය පළමු ස්ථානයේ සිටිමින් ද තරගාවලියට එක් වෙනවා.  

මෙම ශ්‍රේණිගත කිරීම් හී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම 15 වැනි ස්ථානය ද සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 16 වැනි ස්ථානය ද හිමි කර ගෙන සිටිනවා.   

තරගාවලිය සඳහා එක් වෙන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පළමු වටයේ දී කාණ්ඩ අංක 1 යටතේ තරගාවලියට එක් වෙන අතර ඒ සඳහා  ශ්‍රේණිගත අංක 7 සිටින කසකස්තානය සහ අංක 21 රැඳී සිටින කර්ගීස්තානය ද එක් වෙනවා.  

ඒ අනුව මේ මස 11 වැනිදා උදෑසන 10.00ට ශ්‍රී ලංකාව සහ කර්ගීස්තානය අතර තරගත් මේ මස 12 වැනිදා උදෑසන 10.00ට ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතරත් තරගත් පැවැත්වීමට නියමිතයි.  

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද මෙම තරගාවලියේ දී අංක 1 කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වී සිටින්නේ අංක 7න් ශ්‍රේණිගතව සිටින තායිලන්තය සහ අංක 15න් ශ්‍රේණිගතව සිටින මොංගෝලියාවයි.  

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මේ මස 11 වැනිදා දහවල් 12.00ට මොංගෝලියාව සමඟ ද සහ එදින ම සවස 6.00ට තායිලන්තය සමඟ ද තරග වැදීමට නියමිතයි.  

28 වැනි ආසියානු මේසපන්දු කණ්ඩායම් ශූරතාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<