සුමේධ සහ රුමේෂ් විශිෂ්ට දස්කම් අතරට

26th Asian Athletics Championship 2025

17
26th Asian Athletics Championship 2025

26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ සිව්වැනි දිනය අද (30) ක්‍රියාත්මක වුනා.

අද දිනය තුළ ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම තරග බිමට පිවිසුණා.

සුමේධ සහ රුමේෂ් බලාපොරොත්තු දල්වයි

ශ්‍රී ලංකාවට මෙවර ඇති ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තු දෙකක් ලෙස හැඳින්විය හැකි පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කරන රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ අද සිය ඉසව්වේ මූලික වටයට සහභාගී වුනා.

එහි දී රුමේෂ් විසින් මීටර් 83.71ක දුරක් හෙල්ල විසි කරමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, සුමේධ රණසිංහ මීටර් 81.33ක දුරක් හෙල්ල විසි කරමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී ඉසව්වට සහභාගී වූ සමස්ත තරග කරුවන් අතරින් රුමේෂ් දෙවැනි ස්ථානයේ සහ සුමේධ සිව්වැනි ස්ථානයේ රැඳීම විශේෂත්වයක්.

මෙහි පළමු ස්ථානය මීටර් වත්මන් ඔලිම්පික් ශූර Arshad Nadeem හට හිමි වුනේ මීටර් 86.34ක දුරක් සමඟිනුයි.

කාලිංග මීටර් 200 මූලික වටය තරණය කරයි

මේ අතර පිරිමි මීටර් 200 මූලික වටයේ තරග ද අද පැවැත්වුණා. කාලිංග කුමාරගේ මෙහි තුන් වැනි තරගයට සහභාගී වෙමින් තත්පර 21.73ක තරග නිමි කාලයක් සමඟ දෙවැනි ස්ථානය හිමි කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් අද සවස පැවැත්වුණු අවසන් පූර්ව තරගයට කාලිංග සහභාගී වුනේ නැහැ.

100×4 දී යෂ්ටිය ගිලිහෙයි

එමෙන්ම අද උදෑසන පිරිමි 100×4 මූලික වටයේ තරග ද ක්‍රියාත්මක වුනා. මෙහි පළමු මූලික වටයේ තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චමෝත් දිසානායක, චමෝද් යෝධසිංහ, දිනෙත් ඉඳුවර සහ යුපුන් අබේකෝන් තරග බිමට පිවිසුණා.

කෙසේ වෙතත් තරගයේ තෙවැනි යෂ්ටි හුවමාරුව සාර්ථක කර ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය අවසන් කිරීමට නොහැකි වීම නිසා එම ඉසව්ව වෙනුවෙන් තැබූ පදක්කම් බලාපොරොත්තුව ද ගිලිහී ගියා.

යුපුන්ගෙන් නිවේදනයක්

මේ අතර මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ඉතාලියේ සිට දකුණු කොරියාව වෙත පැමිණි යුපුන් අබේකෝන් මෙවර පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගී නොවූ අතර, අද දිනයේ පැවැත්වූ මීටර් 200 ඉසව්වට ද සහභාගී වුනේ නැහැ.

පසුව මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහු සමාජ මාධ්‍ය වෙත ලිපියක් මුදා හැරි අතර, එහි සඳහන් පරිදි ඔහු කිසිදු ආබාධ තත්වයකින් නොපෙළන අතර, ඉතාලියේ සිට කොරියාවට පැමිණීමේ දී සිදු වූ නොවැළැක්විය හැකි ප්‍රමාදය නිසා ඔහු මීටර් 100 ඉසව්වට සහභාගී නොවූ බවත් සඳහන් කරනවා.

එමෙන්ම මීටර් 200 සහ 100×4 ඉසව් ද්විත්වයම එකම දිනයක යෙදී තිබීම නිසා පළමුව ඔහු මීටර් 200 ඉසව්වට සහභාගී වී, අතිරේක ක්‍රීඩකයකු 100×4 මූලික වටයට සහභාගී කරවීමට සූදානම්ව සිටියත්, එම අතිරේක ක්‍රීඩකයා ආබාධයකට ලක් වීම නිසා යුපුන් මීටර් 200 ඉසව්වට සහභාගී නොවී 100×4 මූලික වටයට සහභාගී වූ බවයි එහි සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස එහි දී සිදු වූ යෂ්ටි හුවමාරු දෝෂය නිසා ශ්‍රී ලංකාවට එම ඉසව්ව ද අහිමි ව ගියා.

Yupun Priyadarshana Abeykoon 

හෙට (31) දිනයේ බලාපොරොත්තු

හෙට ශූරතාවලියේ අවසන් දිනය වන අතර, හෙට පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් තරගය පැවැත්වීමට නියමිතයි. මීට අමතරව හෙට කාන්තා සහ පිරිමි මීටර් 100×4 ඇතුළු තවත් ඉසව් රැසක අවසන් තරග පැවැත්වෙනු ඇති.

මෙම තරග ඉසව් පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<