26 වැනි ආසියානු මලල ක්‍රීඩා උළෙල අද (27) උදෑසන දකුණු කොරියාවේ Gumi හිදි ආරම්භ වුනා.
තරගාවලියේ ආරම්භක දිනයේ දීම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම තරග බිමට පිවිසුණු අතර, ඉන් පිරිසක් බලාපොරොත්තු වූ අයුරින් ම දක්ෂතා අතරට පිවිසෙද්දී, තවත් පිරිසකගේ බලාපොරොත්තු බොඳ වීම් ද සිදු වුනා.
ලෙසඳු අවසන් තරගයට
දිනයේ මුල්ම ක්‍රීඩා ඉසව් අතරේ රැඳෙමින් පිරිමි උස පැනීමේ ඉසව්වේ මූලික වටයේ තරග අද උදෑසන ආරම්භ වූ අතර, එහි B කාණ්ඩය යටතේ තරග බිමට සම්බන්ධ වූ ලෙසඳු අර්තවිදු විසින් මීටර් 2.10ක උසක් ඉතා පහසුවෙන් තරණය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
අරුණ පසු බසිද්දී, කාලිංග ඉදිරියට ම
ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු අතර ඉහළින් ම රැඳෙන මීටර් 400 මූලික වටයේ තරග අද උදෑසන පැවැත්වුණු අතර, මෙහි දී පළමු මූලික වටයේ තරගයට සහභාගී වූ අරුණ දර්ශන තත්පර 48.10ක කාලයක් වාර්තා කරමින් හය වැනි ස්ථානයට පත් වුනා. මෙය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතා සමඟ සැසඳීමේ දී තරමක් දුර්වල ධාවනයක් ලෙස සැලකිය හැකි.
කෙසේ වෙතත් එම ඉසව්වේ තෙවැනි මූලික වටයේ තරගයට සහභාගී වූ කාලිංග කුමාරගේ තත්පර 46.59ක කාලයක් සමඟ දෙවැනි ස්ථානය හිමි කර ගනිමින් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
එතැනින් නතර නොවුණු කාලිංග විසින් අද දහවල් ඉසව්වේ දෙවැනි අවසන් පූර්ව වටයට සම්බන්ධ වෙමින් තත්පර 45.74ක තරග නිමි කාලයක් සමඟ දෙවැනි ස්ථානයට පැමිණීමට සමත් වුනා. ඒත් සමඟම අවසන් පූර්ව වටයේ දෙවැනි හොඳම ධාවන කාලය ද වාර්තා කර ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබ ගැනීමට කාලිංග අද සමත් වුනා.
නදීශා සුපුරුදු රිද්මයේ
මේ අතර කාන්තා මීටර් 400 පළමු මූලික වටයේ තරගයට සහභාගී වූ නිශේන්ද්‍රා ප්‍රනාන්දු විසින් තත්පර 53.81ක කාලයක් වාර්තා කරමින් සිව් වැනි ස්ථානයට පත් වුනා. ඇයට ඉසව්වේ අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි වුනත්, දෙවැනි මූලික වටයේ තරගයට සහභාගී වූ නදීශා රාමනායක තත්පර 53.77ක කාලයක් සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
නදීශා ලේකම්ගේගේ පදක්කම ගිලිහෙයි
කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් තරගය අද දහවල් ක්‍රියාත්මක වූ අතර, එම ඉසව්වට සහභාගී වූ නදීශා ලේකම්ගේ හය වැනි ස්ථානයට පත් වුනා.
ඇය විසින් අද දිනයේ දැක්වූ හොඳම දක්ෂතාව ලෙස මීටර් 55.53ක් වාර්තා වූ අතර, මීටර් 63.29ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වූ චීන ක්‍රීඩිකා Su Lingdan ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
චමෝද් අවසන් පූර්ව වටයට
මේ අතර ආසියාවේ වේගවත් ම ධාවකයා තෝරා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරග ද අද ක්‍රියාත්මක වූ අතර, එයට චමෝද් යෝධසිංහ සහභාගී වුනා. ඔහු විසින් එම ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගයේ පළමු වැනියා බවට පත් වීමට සමත් වුනේ තත්පර 10.40ක කාලයක් වාර්තා කරමිනුයි. ඒ අනුව චමෝද් මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
හෙට (28) දිනයේ බලාපොරොත්තු
හෙට දිනය තුළ කාන්තා සහ පිරිමි මීටර් 400×4 මිශ්‍ර මූලික වටයේ තරග ඉසව් පැවැත්වීමට නියමිත අතර, චමෝද් යෝධසිංහ සහභාගී වීමට නියමිත පිරිමි මීටර් 100 අවසන් පූර්ව තරගයත්, නදීශා රාමනායක සහභාගී වීමට නියමිත කාන්තා මීටර් 400 අවසන් තරගයත්, කාලිංග කුමාරගේ සහභාගී වීමට නියමිත පිරිමි මීටර් 400 අවසන් තරගයත්, මිශ්‍ර 400×4 අවසන් තරග මෙන්ම, මීටර් 100 අවසන් තරගත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම තරග ඉසව් පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<